මන්මෝහන් සිංගේ සත් සූත්‍රය යළි සංවාදයට ගැනීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

milinda-prashna

30/07/2014 – ලංකාදීප – මිලින්ද මොරගොඩ

ඉන්දියාවේ හිටපු අගමැති මන්මෝහන් සිංගේ දසවසරක කාර්ය භාරය විවිධ පැති වලින් සාකච්ඡාවට ලක්වෙමින් තිබේ. එරට පළමු අග්රාමාත්ය නේරුගෙන් පසුව වැඩිම කාලයක් අඛණ්ඩව අගමැති ධුරය හොබවා ඇත්තේ මන්මෝහන්ය. දක්ෂ ආර්ථික විශේෂඥයෙකු වන හෙතෙම දේශපාලනයට සහ පසුව අගමැති ධුරයට පැමිණීම සිදුවූයේ අහම්බෙන් බව විචාරකයන්ගේ අදහසයි. ආර්ථික වශයෙන් අර්බුද ගණනාවකට මුහුණදුන් නරසිංහ රාවෝ අගමැතිවරයාගේ ආණ්ඩුව අලූත් මාවතකට කැ`දවූයේ මන්මෝහන්ය. හෙතෙම ආර්ථිකය එවකට පැවැති මුහුණුවරින් වෙනස් කර විවෘත කරන ලද අතර එය ඉන්දියාවේ පරිවර්තනයක පදනම වශයෙන් සනිටුහන් වෙයි.
දස වසරකට පසු ධුරයෙන් ඉවත්ව යන අවස්ථාවේදී හිටපු අගමැති මන්මෝහන් සිං කියා සිටියේ තම ජීවිතය සහ රාජකාරි කටයුතු මහජනතාවට විවෘතව දැකබලාගත හැකි එකක් වූබවය. තමන් අගමැති වශයෙන් ඉටුකරන ලද කාර්ය භාරය සහ එහි සාර්ථකත්වය මහජන විනිශ්චයට ලක්වියයුතු බව කියාසිටි හෙතෙම මෙයින් දස වසරකට කලින් තිබූ ඉන්දියාවට වඩා ඉහළ තැනක් අද රට අත්පත් කරගෙන ඇති අතර එහි සාර්ථකත්වය රට වැසි සියලූ දෙනාම බවද හෙතෙම ස`දහන් කළේය.

දූරදර්ශී පාලකයෙකු වශයෙන් මන්මෝහන් ඉන්දියාවට ඉදිරිපත් කළ සත් සූත්රය අදටත් අවධානයට ගැනේ. ආර්ථිකය ප්රධාන කලාප හතකට වෙන්කරන ලද හෙතෙම එම අංශ ඉහළ අවධානයක තබා ගනිමින් දීර්ඝකාලීන ප්රතිපත්ති සම්පාදනය කරන්නට සමත්විය. කෘෂිකර්මය එහි පළමු තැන අත් පත් කරගත්තේය. දෙවැන්න ජලයයි. අධ්යාපනය සහ සෞඛ්ය තුන්වැනි සහ හතරවැනි කාරණාය. පහ රැකියා උත්පාදනයයි. හයවැනි කරුණ නගර යළි සැලසුම්කර නවීකරණය කිරීමයි. හත්වැනි කරුණ බලශක්ති, මාර්ග සහ තවත් වැදගත් අංශ ඇතුලත් යටිතල පහසුකම් සංවර්ධනයයි.

අගමැති ධුරයටපත් දෙවැනි වකවානුවේ දී ඉන්දියාව තිරසාර සංවර්ධනයකට යොමු කරනන්ට නම්, මෙම කාරණා හත සත් සූත්රයක් ලෙස දක්වා ක්රීයාවට නැගීමට මන්මෝහන් බලවත් උනන්දුවක් දැක්වීය. කෘෂිකර්මය පළමු තැනට ගැනීමත්. ජලය, අධ්යාපනය සහ සෞඛ්ය වැනි අංශ ඉතාමත් වැදගත් අංශ අතරෙහි පවත්වා ගැනීමත් කාලානුරූප ඉතාමත් කදිම තීන්දු බවට වර්තමානයේ ප්රකාශවෙමින් තිබේ. ආහාර නිපැයුම, ජල කළමනාකරණය, කාලගුණ විපර්යාස හෙයින් ලෝකවාසීන්ට ආහාර සහ ජලය සපයා ගැනීමේ දී මතුවන අර්බුද සත් සූත්රය ඉදිරිපත් කළ එම වකවානුවට වඩා අද බෙහෙවින් අවධානයට ගැනෙයි. අධ්යාපනය සහ සෞඛ්ය වැනිඅංශ ද, සෑහෙන පරිවර්තනයකට ලක්ව තාක්ෂණයෙන් සහ සමාජ ගෝලීයකරණයේ වාසිදායක තත්ත්ව වලින් පොහොසත්ව තිබේ.

රටක සාර්ථකත්වයට හේතුවන මෙවැනි කාරණා ජාත්යන්තර පසුබිම සලකා කලින් කල සමාලෝචනයට ලක්කළ යුතුය. මන්මෝහන් සිංගේ සත් සූත්රය අනුව ආර්ථික වර්ධනය සිදුවන්නේ ජනතා සහභාගීත්වය ඇතිවය. රැකියා වෙළ`ද පොළට ගැලපෙන අධ්යාපන ක්රමය සහ රැකියා සපයන්නේ ආණ්ඩුවම නොව පුද්ගලික අංශයේ සහභාගීත්වය ඇතිවය යන්න එහි ස`දහන්වූ කදිම පාඩමකි. මූලික අවශ්යතා වෙනුවෙන් ජාතික සැලසුම් යෝජනාවිය යුතුය. ආණ්ඩුව කළ යුතු රටට දර්ශනයක් ඉදිරිපත් කිරීමයි. රට වැසියන්ට අවස්ථා සම්පාදනයයි. ආණ්ඩුව පමණක් මෙහෙයැවීමට වඩා ප්රයෝගිකව සාර්ථකත්වයක් උදාකරගත හැකි වන්නේ සහභාගීත්වයෙන් ඉදිරියට ගමන් කිරීමෙන් පමණකි. අනාගතය සම්බන්ධයෙන් ශ්රී ලංකාවේ ඉලක්ක අනාවරණය සහ ඒ වෙනුවෙන් රට සූදානම් කිරීම වැදගත්ය.

තරුණ ජවය සමග අලුත් පරමාර්ථ

ප්‍රතිචාරයක් ලබාදෙන්න

milinda-prashna

23/07/2014 – ලංකාදීප

බ්‍රිතාන්‍ය කැබිනට් මණ්ඩලය සංශෝධනය කර තිබේ. එය තද තීන්දුවකි. බලයේ සිටින කොන්සවටිව් පක්ෂය තමන්ට ලැබෙන ප්‍රතිචාර වලින් ජනප්‍රිය බව ක්‍රමයෙන් පිරිහෙන බව අවබෝධ කරගෙන තිබේ. එයට පිළිතුරක් ලෙස පක්ෂයේ ඉදිරියෙන් සිටින මුහුණු පසුපෙළට ගෙනැවිත් ඒ වෙනුවට අලූත් ප්‍රභාවත් චරිත ජනතාව හමුවට කැ`දවා ඇත. එයින් සිදුවිය හැකි පෙරළිය කුමක්ද? මෙහි පසුබිම සාකච්ඡාවට ගැනීම වැදගත්ය.

වර්තමානයේ පවතින ජනමාධ්‍ය ප්‍රවනතා හෙයින් තරු ඉක්මනින් පායා ඉක්මනින් බැස යයි. එයට හේතුව නායකයන් පොදු ජනතාවට බෙහෙවින් සමීප වීම බව විද්වත් මතයයි. මෙයින් දශක කිහිපයකට කලින් නායකත්ව චරිත ජනතාවගෙන් දුරස්ථය. එය වෙනස් වී ඇත්තේ ජනමාධ්‍යයේ ප්‍රබලබව සමගය. මාධ්‍ය මගින් ඕනෑම ක්ෂේත්‍රයක නායකයෙකු හැසිරෙන, කියන, කරන දේ සියල්ල ජනතාව හමුවට පමණුවයි. එයින් සිදුවන්නේ මෙම නායකයන් ද සාමාන්‍ය චරිත බව ඒත්තු ගැනීමයි. මාධ්‍ය මගින් පළකරන නොයෙක් තොරතුරු හෙයින් නායකයන්ගේ ජනකාන්ත භාවය ඉතාමත් ඉක්මනින් පිරිහෙන්නට හේතු වෙයි. මාධ්‍ය මගින්ම ඇතිකරන දැවැන්ත ප්‍රතිරූප මාධ්‍ය භාවිතාව හෙයින්ම සමාජයේ සාමාන්‍ය චරිත බවට පත්කරන ආකාරය මෑත කාලයේ දී නිරීක්ෂණය කළ හැකි විය. 2010 වසරේ දී බලයට පත් බ්‍රිතාන්‍ය අගමැතිවරයා සිය ධුරකාලයේ යම් ස්ථානයක දී බ්‍රිතාන්‍ය පුරවැසියන් නිතර දකින ලද තම කැබිනට් මණ්ඩලයේ මුහුණු අලූත් කිරීම අනාගතයට වැඩදායක බව තීරණය කර ඇත.

බ්‍රිතාන්‍ය කැබිනට් මණ්ඩලයේ ඉතාම ‍‍ජ්‍යෙෂ්ඨ චරිත කැබිනට් මන්ඩලයෙන් ඉවත් කර අලූත් මුහුණු ගෙන ඒම බ්‍රිතාන්‍යයේ ආන්දොලනාත්මක තීන්දුගත් මාග්‍රට් තැචර් ගේ දැඩි භාවයට සමාන කරන්නට ඇතැම් මාධ්‍ය උත්සුක වී තිබේ. නමුත් අගමැතිවරයාට අනුව යල් පැනගිය මුහුණු වෙනුවට තරුණ ජවය එරටට අවශ්‍යතාවයකි. කාන්තා නියෝජනය ඉහළ නැංවිය යුතු වෙයි. තරුණන් ද, කාන්තා නියෝජනය ද රහිතව ඉදිරි මැතිවරණයක දී ජනතාව හමුවට ගොස් අලූත් දෙයක් කියන්නට ඉඩක් නැති බව කැමරන් අගමැතිවරයා විශ්වාස කරයි.කොන්සවටිව් පක්ෂයේ නායකයාව සිටි විලියම් හේග් පක්ෂය ජයග්‍රහණය කරන්නට අසමත්වීම පදනමක් කරගෙන පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්විය. පක්ෂය මෙහෙයවූ නායකයින් දෙදෙනෙකුට පසුව පක්ෂය භාරගත් කැමරන් එරට ආණ්ඩු බලය ලබාගත් අතර ඔහු තම ‍ජ්‍යෙෂ්ඨ නායකයාට පිරිනමන ලද්දේ විදේශ අමාත්‍යංශයයි.

මෙවර කැබිනට් සංශෝධනයෙන් ඔහු කැබිනට් මණ්ඩලයේ දෙවැනි ධුරය දක්වා කැ`දවා ඇතත් එය නිල බලය රහිත සම්ප්‍රදායික තනතුරකි. ඉහළම තැනෙක සිටිමින් කැබිනට්ටුවේ අධ්‍යාපන ලේකම් ධුරය ඉසිලූ මිහායිල් ගොව්ද පසු පෙළට කැ`දවා තිබේ. විලියම් හේග් ඉදිරි මැතිවරණයක දී තර`ග කරන අදහස අත්හැර දමා ඇති අතර වත්මන් ආණ්ඩුවට උපදෙස් දෙමින් පාලනයට සම්බන්ධ වූ හෙතෙම දේශපාලනය හැර තවත් මාර්ග වලින් මහජනතාව අතරට යා හැකි බව දක්වමින් ග්‍රන්ථකරණයට යොමු වන බව අ`ගවා තිබේ. දැනටමත් ඔහු කෘති ගණනාවක් සම්පාදනය කර මහජන අවධානය දිනා තිබේ. මෙම සංශෝධන ගැන බ්‍රිතාන්‍ය මාධ්‍ය හ`දුන්වා තිබුණේ කුඩා භූමි කම්පාවක් වශයෙනි. නමුත් මේ මගින් විශාල වෙනසක් බ්‍රිතාන්‍ය කොන්සවටිව් පක්ෂය ඉලක්ක කරයි.

කෙසේ වෙතත් මෙය ජනමතය සම්බන්ධව තීරණාත්මක අවස්ථාවක පක්ෂයක් වශයෙන් ගන්නා තීරණ හමුවේ පොදු ප්‍රතිපත්ති සහ සාමූහික වගකීම සම්බන්ධව ජාත්‍යන්තරයට මත විදහා දක්වන කාරණයකි. ජනතාව අතර පක්ෂය සහ පක්ෂයේ ප්‍රතිපත්ති පිරිහෙන බව පෙන්නුම් කරන විට ජ්‍යෙෂ්ඨත්වය හෝ පක්ෂයට ඉටු කරන ලද මෙහෙවර තක්සේරු කරමින් කල්මැරීම වැදගත් නැත. තනතුරු හොබවන පුද්ගලයන් පක්ෂයේ උදාරත්වය ආරක්ෂා කරන තෙක් ඔවුන්ට පක්ෂයේ ඉදිරි පෙළ ආරක්ෂා සහිත බව බ්‍රිතාන්‍ය කැබිනට් සංශෝධනය දක්වයි. අලූත් අදහස් සහ අලූත් පරමාර්ථ සහිතව තරුණ ජවය සහ කාන්තා සහභාගීත්වය සහිතව අලූත් ආරම්භයක් ගැනීමට බ්‍රිතාන්‍ය කොන්සවටිව් පක්ෂය තීරණය කර තිබේ. මෙය එරට දේශපාලනයේ තීරණාත්මක සංධිස්ථානයක් වන අතර එයට බ්‍රිතාන්‍යයේ සංකීර්ණ අදහස් ඇති මිශ්‍ර සමාජය දක්වන අපේක්ෂා සහගත තීරණය කෙබ`දු දැයි ඉදිරියේදී අනාවරණය වනු ඇත

තෙල් වෙළ`දාමේ ගැටලු නිරාකරණය කරගනිමු

ප්‍රතිචාරයක් ලබාදෙන්න

milinda-prashna

2014/07/16 – ලංකාදීප

ඛනිජ තෙල් වෙළ`දාම සම්බන්ධයෙන් රටට කීර්තිමත් ඉතිහාසයක් නැත. ආනයන මත සම්පූර්ණයෙන් යැපෙන මෙරට ඛනිජතෙල් පරිභෝජනය නොයෙක්වර ගැටලූ සහගත තත්ත්ව ඇතිකර තිබේ. එහි අවාසිය සිදුවන්නේ රටට සහ මහජනතාවට බව පැහැදිලිව තක්සේරු කළ හැකිය. ක්ෂේත‍්‍රය සම්බන්ධයෙන් සමස්ථයක් වශයෙන් සලකා ප‍්‍රතිව්‍යුහ කරණයකට යායුතුව ඇත.

ඛනිජතෙල් සංස්ථාව ආණ්ඩුවේ ව්‍යවසායයකි. එයට ආයෝජනයකර ඇත්තේ මහජන මුදල්ය. ඉතිහාසයේ පටන්ම ආණ්ඩුවේ ඛනිජතෙල් වෙළ`දාම පාඩු ලබන ව්‍යාපාරයකි. ඉන්ධන ගෙන්වා මෙරට අළෙවි කරනවිට එයට කරන වියදම සහ උපයාගන්නා ආදායම ගැන නිසි අවධානයක් යොමු නොකිරීමෙන් පාඩු ලබයි. මෙම පාඩුව වෙනුවෙන් බැංකු වලින් ගෙන ඇති ණය නිසා මෙරට බැංකු පොලී අනුපාත වලට ගැටලූ ඇතිවි තිබේ. අකාර්යක්ෂමතාව සහ වංචා එකතු වූ විට අලාභය තවත් වැඩිවෙයි. මේ සියල්ල මහජනතාවගේ බදුවලින් පියවන විට මතුපිටින් නොපෙනෙන මෙම වෙළ`දාමේ හැබෑ පිරිවැය දරන්නේ පොදු ජනතාවයි.

මෙරට ආනයන වියදමෙන් විශාලම කොටස වැය කරන්නේ ඉන්ධන ආනයනයටය. එය මෙරට විදේශ විනිමය අනුපාතිකයට ද පීඩනයක් ඇතිකරයි. බොරතෙල් ඇනවුම් කිරීම, වරායට පැමිණි පසු ගොඩබිමට පොම්ප කිරීම, පිරිපහදුව සහ රට පුරා බෙදාහැරීම වියදම් සහගත සංකීර්ණ කාර්යභාරයකි. අතරමැදියන් සෑහෙන පිරිසක් සම්බන්ධවෙයි. ආරක්ෂාව සහ රක්ෂණය වැනි අතිරේක පිරිවැය ද දරන්නට සිදුවෙයි. තීරණ ගැනීමේ දී ප‍්‍රමාද වුවහොත් මෙම ඛනිජතෙල් වෙළ`දාම අතින් වියදම් කර රටපුරා නිකම් බෙදාහරින තත්ත්වයට පත්වීම වැලැක්විය නොහැකිය.

විදේශ විනිමය පීඩනය තුනීකරන, ඛනිජතෙල් ආනයනයේ ගැටලූ නිරාකරණය කරන සහ තර`ගකාරී මිලකට මහජනතාවට ඉන්ධන සැපයෙන ක‍්‍රමවේදයකට වහා යායුතුව තිබේ. එය කළ හැක්කේ තර`ගකාරී ආයෝජකයන් කිහිපදෙනෙකුට ඉඩ දීමෙන් පමණකි.
ඉන්දියන් ඔයිල් සමාගමට මෙරට ආයෝජනයට ඉඩදීමෙන් ඛනිජතෙල් වෙළ`දාම තර`ගකාරීත්වයට ලක්කරන පළමු අත්හදාබැලීම කර ඇත. ඉන්දීයන් සමාගම කළ ආයෝජනයෙන් රට තුළ බෙදාහැරීමේ මධ්‍යස්ථාන කළඑළිවූ නමුත් පූර්ණ තර`ගකාරීත්වයක් ඇතිකර නැත. දැන් අවශ්‍යව ඇත්තේ නැව් ප‍්‍රමාදය, නල මාර්ග ක‍්‍රියාවිරහිතවීම හෝ වෙනත් කාරණා ගැන විවාද කරමින් කාලය අපතේහැරීම නොවේ. රටට සහ මහජනතාවට හිතකර ආකාරයට ඛනිජතෙල් වෙළ`දාම පරිවර්තනයකට ලක්කළ හැකි ආකාරය සොයාබැලීමයි. ආණ්ඩුවේ නියාමනයට යටත් කරන අතර තර`ගකාරීව සැපයීම අරමුණු කරගෙන තවත් පාර්ශව වලට ඉඩදීමෙන් එය කළ හැකිය. රටට අවශ්‍ය ඉන්ධන ප‍්‍රමාණය සැපයීමේ වගකීම පමණක් නොව මහජනතාවට දරාගත හැකි මිලකට සැපයීමේ තර`ගකාරීත්වයද එයින් ඇතිකළ හැකිය.

සිංගප්පූරුවේ ඛනිජතෙල් ව්‍යාපාරය එයට දැක්වියහැකි ආදර්ශයකි. සිංගප්පූරුවේ බොරතෙල් නැත. ලෝකයේ දැවැන්ත පිරිපහදු සමාගම් සිංගප්පූරුවට අවශ්‍ය ඉන්ධන ආනයනයකර වීන තාක්ෂණය යටතේ පිරිපහදු කරමින් අතිරික්තය අපනයනය කරයි. එය සිංගප්පූරුවට විනිමය උපයාදෙන ප‍්‍රධාන ආදායම් මාර්ගයක් වී තිබේ.
ඛනිජ තෙල් කර්මාන්තය සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාවේ දැක්ම පුලූල් කරන්නට අවශ්‍යය. මෙරට පොදු ජනතාවට ලෝක වෙළ`දපොළේ පවතින මිලට ඉන්ධන සැපයීමට හැකි ආකාරයට ප‍්‍රතිපත්ති තීරණ ගැනීම සුදුසුය. එය කළහැකි වන්නේ කර්මාන්තය තර`ගකාරීකර අලූත් තාක්ෂණික ආයෝජනය දිරිමත් කිරීමෙන් පමණකි. මෙරටින් බොර තෙල් නිධි සොයාගතහොත් බොරතෙල් පිරිසිදුකර රටට බෙදාහරින්නට හැකිවන ආකාරයට දුර දිග බලා අලූත් ආයෝජන කැ`දවීම අද ඇති බලවත් අවශ්‍යතාවයකි.

තරුණ ශ්‍රම බලකාය අයාලේ යැවීම.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

milinda-prashna

09/07/2014 – ලංකාදිප

කොරියාවේ රැකියා අවස්ථා සොයන ශ්‍රමිකයන් ගැන තොරතුරු මාධය වාර්තා කරයි. කොරියන් භාෂාව ඉගැනීමට තරුණ පෙළ දක්වන්නේ විශාල උනන්දුවකි. කොරියාවට පැනගතහොත් ජීවිතය ජයගත හැකි යැයි අලූත් අදහසක් මෑතක සිට පවතී. ඇමරිකාවට, බ්‍රිතාන්‍යයට, ජපානයට හා ඔස්ට්‍රෙිලියාවට පසු අද වන විට විදේශ ගතවන කැමැත්තෙන් සිටින තරුණයන්ගේ වැඩිම අවධානයට ලක්ව ඇති රට දකුණු කොරියාවයි.

කොරියානු රැකියා ඉල්ලූම් පත්‍රයක් ලබාගන්නට දහස් ගණනින් කොළඹ නගරයේ රැස්වූ තරුණයන් වෙනුවට අද අමාත්යංශ ඉදිරිපිටත්, කාර්යාල අසලත් විරෝධතා දක්වන තරුණන් තමන් රවටා ඇති බව ප්‍රසිද්ධියේ කියන්නට පටන්ගෙනඇත. එය ඇත්තකි. තම හැකියාව සහ එයට ඉඩක් ඇති තැන ගැන පූර්ව විනිශ්චයකට පැමිණිය නොහැකි සමාජය රැවටිල්ලකට ගොදුරු වෙනවා විනා සාර්ථකත්වය අත්වි`දින්නේ නැත.

දකුණු කොරියාව දුගීදුප්පත් තැනක සිට සාර්ථකත්වයට පත් රටකි. පාලනයේ තද නීති අනුව, එරට සමාජය කළ විශාල කැපකිරීම අවසානයේ දකුණු කොරියාව දියුණුවට පත්විය. එරටට අවශ්ය අතිරේක සීමිත ශ්‍රමය ලෝකයේ අනෙක් රටවලින් ගෙන්වා ගනී. දුෂ්කරතා මැද රැකියාව කරන්නට ශ්‍රී ලාංකිකයන්ට හැකියාව ඇතැයි දකුණු කොරියානු බලධාරීහු විශ්වාස කරන්නේ නැත. ඔවුන්ට අනුව මෙරට තරුණන්ට වඩා වෙනත් ආසියානු රටවල වැසියන් වැඩ කරන්නට දක්ෂය. දකුණු කොරියානු ආණ්ඩුව ආර්ථික අතින් දියුණුවක් ලබන්නේ මෙම ශ්‍රමයට නොවටිනා අඩු වැටුපක් ගෙවීමෙන් වාසියක් ලබා ගැනීම බව වටහා ගත යුතුය. තමන්ට ලාභ ලැබෙන ආකාරයේ අඩු වැටුපකට, වැඩියෙන් වැඩ කරන්නට කැමැති රටක තරුණ ශ්‍රමිකයන් විනා වෙනත් රටකින් ශ්‍රමිකයන් ගන්නට දකුණු කොරියාව පමණක් නොව ලොව වෙනත් ධනවත් රටවල් ද අකැමැතිය. මෙහි තවත් පැත්තක් ද තිබේ.

ආයෝජන මණ්ඩලයට අයත් කර්මාන්ත වල දසදහස් ගණනින් රැකියා අවස්ථා ඇත. මෙරට තරුණ පෙළ එම රැකියාවලට කැමැති නැතිබව අනාවරණයවෙයි. මෑත කාලය තුළ, ශ්‍රී ලංකාවේ මහාමාර්ග, වරාය, ගුවන්තොටුපොළ සහ තොරතුරු තාක්ෂණය ආශ්‍රීතව යටිතල පහසුකම් වේගයෙන් වැඩිදියුණු විය. කොළඹ මුහුද ගොඩකර අලූතින් නගරයක් බිහිවන අතර ඉදිරි වසර දෙක තුළ සංචාරකයන් ලක්ෂ විසිපහක් රටට පැමිණෙනුඇතැයි ගණන් බලා තිබේ. විදේශ රැකියා අංශය පිරිහෙමින් සහ මිනිස් ශ්‍රමය අඩුකර හැකිතාක් යන්ත්‍ර උපයෝගී කරගෙන කාර්ය කරගන්නා ආකාරයට ලෝකය පරිවර්තනය වෙමින් ඇති අවස්ථාවක රට තුළ සිදුවන නව පිබිදීම නිරීක්ෂණය කළ යුතුය. දැනට පැමිණෙන සංචාරකයන් ප්‍රමාණය දෙතුන් ගුණයකින් වැඩි වන විට ඔවුන්ට අවශ්‍යවන සත්කාරක සේවා අංශයේ විශාල හි`ගයක් ඇති වන බව සැලකේ. මෙම තත්ත්වයට අනුරූප වන ආකාරයට මෙරට ශ්‍රම බලකාය හැසිරවීමට නොහැකි වී ඇත්තේ මන්ද?

සැලසුම් සකස් කරන විට රටට අවශ්‍යම වන ශ්‍රම බලකාය පුහුණු කරන්නට මෙරට වෘත්තීය අධ්‍යාපන අංශය සමත් විය යුතුය. රට තුළ බලපවත්වන රැකියා හි`ගය කෙබ`දුද යන්න පෙන්වා දී ,මවුබිමට සේවයකර රට, ඉහළ ආර්ථිකයක් කරා කැ`දවන ආකල්පය තරුණ සිත් තුළ ජනිත කරන්නට වැඩ පිළිවෙලක් අවශ්‍යය කොරියාවට හෝ ඕස්‍ට්‍රේලියාවට යන අවස්ථා දෙන ලෙස විරෝධතා පළකිරීමෙන් පුද්ගලිකව ජය අත්පත් කරගතහැකි නමුත් සමස්ථයක් වශයෙන් රටට ප්‍රයෝජනයක් අත්පත් වන්නේ නැත. කාර්මික සහ තාක්ෂණික අංශ වල ශ්‍රමය හි`ග අවස්ථා වලදී පිටරටින් ශ්‍රමිකයන් ගෙන්විය යුතු බවට කර්මාන්ත සහ ව්යාපාරික අංශ දැනටමත් බල කරමින් සිටී.

මහ මග විරෝධතා කරන තරුණන් රටට අවශ්‍ය ශ්‍රම සම්පත බවට පත්කරගත යුතුය. එසේ නොවන ඉදිරි වකවානුවක ශ්‍රී ලංකාවේ රැකියා කරන්නට පිටරටින් ශ්‍රමිකයන් පැමිණිය හැකි අතර එය රටට බලපාන තවත් ගැටලූ ගණනාවක ආරම්භයක් විය හැකිය.

අනුන් යටපත් කර තමන් ඉස්මතු වීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

milinda-prashna

2014.07.02 – ලංකාදීප -මිලින්ද මොරගොඩ

සමාජවාදී ක‍්‍රමයට විකල්පයක් සෙවීමේ බටහිර උවමනාවට විකල්ප ප‍්‍රකාශයක් වූ ඇමරිකානු දාර්ශනික අදහසක් තිබේ. සමාජයේ ජීවත් වන ඉහළ පැලැන්තිය පහලට ඇද දමා සාමාන්‍ය පැලැන්තියට උදව් කරන්නට බැරිබව එහි දැක්වෙන පළමු කරුණයි. ශක්තිමත් අය දුර්වල කිරීමෙන් දුබලයන් ශක්තිමත් නොවන අතර යමක් එනම් වැටුපක් වැනි දෙයක් ගෙවන ආයතනය අඩාල කර වැටුප හෝ තමන්ගේ ආදායම වැඩි කරගැනීමට නොහැකිබව ද එහි දක්වාඇති තවත් වගන්තියකි.

මෙම දර්ශනය ඇතුලත් සංකල්පය ඇමරිකානු හිටපු ජනාධිපති ඒබ‍්‍රහම් ලින්කන් අනාවරණය කරන ලද බව එරටෙහිම හිටපු ජනාධිපතිවරයෙකු වූ රොනල්ඞ් රේගන් ස`දහන්කර ඇත. නමුත් මෙම දර්ශනය ලින්කන් මහතාගෙන් ප‍්‍රකාශවූ බවට පැහැදිලි සාක්ෂියක් හමුවී නැත. සංකල්පය ජනනයවූ මූලාශ‍්‍රය පැහැදිලි නැති නමුත් ලෝකයේ සමාජවාදී ක‍්‍රමයට විකල්පයක් වශයෙන් මෙම අදහස් ඇමරිකානු ආධ්‍යාත්මය තුළ ගැඹුරට විහිදී පැතිරී තිබේ.

පොහොසතා විනාශකර දුප්පතා ගොඩනගන්නට නොහැකියැයි එහි දැක්වෙයි. ආදායමට වඩා වියදම් කිරීමෙන් අපහසුවට පත්නොවී සිටිය නොහැකි බව ද, ණයට ගෙන ආරක්ෂාව තහවුරු කරගත නොහැකිබව ද එහි දැක්වෙන තවත් කරුණුය. සමාජය තුළ පන්ති වෛරය ඇති කිරීමෙන් සහෝදරත්වය ගොඩනගන්නට හැකියාවක් නැති බව ද මෙම දර්ශනයෙහි ප‍්‍රකාශවෙයි. ස්වාධීනත්වය සහ ස්වෝත්සාහය නැති කර ධෛර්යය සහ චරිතය ගොඩනැගිය නොහැකි බවද මෙහි දැක්වෙයි.

මිනිසුන්ට තනියම නැගිටින්නට ඉඩදෙනවා විනා පවතින සදාකාලික විස`දුම් දෙන්නට කිසිවෙකුට හැකියාවක් නැති බව ද එහි දැක්වෙන කරුණකි.
මෙවැනි අදහස් ඇමරිකානු ජන සමාජය තුළ තහවුරු කරන්නේ විශ්වාසය ජනිත කරන අදහසින්ය. සමාන අයිතිය සහ මනුෂ්‍යයන් අතර ආත්මශක්තිය ඇති කරනු පිණිසය. මෙ තුළින් අලූත් අදහස් පැනනැගී සංවාදයක් ඇතිවෙයි. පවතින දෙයට විකල්පය සොයන්නට පටන් ගනී. සමාජයක පරිවර්තනයක් සිදුවන්නේ එවිටය.

ලෝක සමාජවාදී න්‍යායට වෙනස් දෙයක් සමාජයට ඉදිරිපත් කරන අදහසින් ඉදිරිපත් කරන ලද නමුත් මෙම දර්ශනයෙහි ඇතුලත් කරුණු ඕනෑම සමාජ ක‍්‍රමයක සහමුලින්ම ප‍්‍රතික්ෂේප කළ නොහැකිය. එවැනි පසුබිමක් තුළ, කවර ආකාරයෙකින් හෝ අනෙකා පරාජය කර තමන්ට ජය පැන් පානය කළ හැකි යැයි සිතන පුද්ගලයන් සිටින සමාජයකට අනාගතයක් නැත.

සාවධානව ප‍්‍රශ්න කරන විට ශ‍්‍රී ලංකාවේ ජන සමාජය අතීතයේ පැවැති උතුම් ගුණාංග වලින් බැහැර වෙමින් තිබේ. මේවා බටහිරෙන් පැමිණි දෙයින් සිදුවූ විනාශයක් යැයි සමාජයේ පොදු මතයක් ඇත. පෙනෙන ආකාරයට පෙරදිගෙන් පමණක් නොව බටහිරෙන්ද සමාජ ක‍්‍රමයට කුලවද්දා ගනිමින් සිටින්නේ යහපත් පැති නොව අයහපත්ම කරුණුය. ඇමරිකානු සමාජය තුළ පැවැති, ලෝකයේ සමාජවාදී ක‍්‍රමයට විකල්පව මතුවූ යම් යම් අදහස් දෙස බලන විට එහි ඇති ගුණාංග ප‍්‍රතික්ෂේප කළ නොහැකිය.

මුලින් ස`දහන් කළ කරුණු නැවත කියවා අපගේ පැවැත්මද සස`දන්න. වාහනයක් පදවන්නේ නලා ශබ්ධකර අනෙකා මානසිකව පෙරලා දමා හෝ තමන්ගේ ගමන යන අරමුණෙන්ය. තමන්ගේ වාරය එන තෙක් ඉවසිල්ලෙන් නොසිටින්නේ පවතින තර`ගයෙන් ම`ගහැරුනොත් මහා විනාශයක් සිදුවියහැකිය යන අදහසින්ය. තර`ගයක් දිනන්නට තැත්කරන්නේ අනෙකා යටපත් කර තමන් පමණක් නැගිටින ආකල්ප යෙන්ය. මේ අනුව සලකන විට බලය ඇත්තන්ට තම බලයෙහි සීමාව ගැන අවබෝධයක් ඇති කරගැනීම අවශ්‍යය. බලය නැත්තන් බලය ඇති තැන බලහත්කාරයෙන් පාලනය කර තමන්ගේ බලය වඩවා ගතහැකියැයි කල්පනා කිරීමද බරපතල අනුවනකමකි.