milinda-prashna

2015/03/04 – ලංකාදීප – මිලින්ද මොරගොඩ

ප‍්‍රවාහන අංශයෙහි කාර්යක්ෂමතාවය සම්බන්ධයෙන් ලෝකයේ නොයෙක් තැන අලූත් අදහස් ඉදිරිපත් වෙමින් තිබේ. නවෝත්පාදන සංකල්ප ඉදිරිපත්කර ඒවා ප‍්‍රායෝගිකව තහවුරු කරන්නට සමත්කම් දැක්වූ එලොන් මස්ක් නමැති පර්යේෂකයා ගමනාගමනය අධිවේගී කරන්නට ඉදිරිපත් කර ඇති අදහස ක‍්‍රියාවට නැගෙන්නට පටන්ගෙන තිබේ. ඔහුට අනුව සිලින්ඩරයක් තුළ ස්ථාපිත කරන ප‍්‍රවාහන ඒකකය එම සිලින්ඩරයේ වායු පීඩනය වෙනස් කිරීම තුළින් අධික වේගයකින් ගමන් කිරීමට සැලැස්විය හැකිය. එය දැන් මහා මාර්ගයේ පවතින ධාවන වේගය ඉක්මවන කාර්යක්ෂම ක‍්‍රමවේදයකි.
එලොන් මස්ක් දකුණු අප‍්‍රිකාවේ උපත ලබා දැන් ඇමරිකාවේ ජීවත්වන අලූත් අදහස් ඇති අයෙකි. විදුලි වාහන නිපදවීම (Tesla Motor&amp) විද්‍යුත් කාඞ් ක‍්‍රමයට මුදල් ගනුදෙනු කිරීම (PayPal) ඇතුළු අදහස් ඉදිරිපත් කර ඒවා සාර්ථකව ලෝකයට හ`දුන්වා දී කීර්තියට පත්ව ඇති හෙතෙම මෙම සිලින්ඩරාකාර නලයක් තුළ කරන ප‍්‍රවාහනය ගැන අදහස මුලින් 2013 වසරේ දී ඉදිරිපත් කළේය.

පසුගිය දා එය ක‍්‍රියාවට නැගුන අතර ලොස් ඇන්ජලීස් සිට සැන් ප‍්‍රැන්සිස්කෝ දක්වා කිලෝ මීටර් 570 ක දුරක් පැයට කිලෝමීටර් 962 ක සාමාන්‍ය වේගයකින් ධාවනය කරවන්නට වැඩ අරඹා තිබේ. මේ අනුව මෙම දෙකෙළවර යා කරන්නට ගතවන්නේ විනාඩි තිස් පහක් පමණක් වන අතර උපරිම වේගයකින් එනම් පැයට කිලෝමීටර් 1,220 ක වේගයෙන් ගමන් කළහොත් ගතවන කාලය තවත් කෙටි වනු ඇති බව අනාවරණය වෙයි. මෙම අදහස සම්බන්ධ නිල පත‍්‍රිකාව මුලින් මහජනතාවගේ අදහස් ලබා ගැනීමට ඉදිරිපත් කර තිබූ අතර දැන් එය ක‍්‍රියාවට නැගීම වෙනුවෙන් ඇමරිකානු ඩොලර් බිලියන හයක ඉදිකිරීම් පිරිවැයක් දරන්නට සැලසුම් කර ඇත.

මෙම නගර දෙක අතර අධිවේගී මාර්ගයක පැයට කිලෝමිටර් එකසිය පනහකට අඩු සාමාන්‍ය වේගයකින් ගමන් කළ මගීන්ට නුදුරු දිනයක පැයට කිලෝ මීටර් දහසක වේගයකින් සහ වඩා ආරක්ෂාකාරී ආකාරයකට ගමන් කළ හැකි වුවහොත් ලෝකය පුරා සිදුවිය හැකි මගී සහ භාණ්ඩ ප‍්‍රවාහනයේ විප්ලවය කෙබ`දු මුහුණුවරක් ගනු ඇති දැයි විමසා බැලීම වැදගත්ය.සිලින්ඩරාකාර නලයක පීඩනය වෙනස් කිරීමෙන් අධිවේගයක් ඇති කරගෙන කරන මෙම ගමන ගැන අදහස ජාත්‍යන්තරයේ කතාබහට ලක්වී ඇති අවස්ථාවක ශ‍්‍රී ලංකාව තවමත් අධිවේගී මාර්ග සහ මොනෝ රේල් වැනි ව්‍යාපෘති ගැන තර්ක කරමින් සිටී.

අධික මාර්ග තදබදය සහ පවතින ප‍්‍රවාහන ක‍්‍රම සම්බන්ධව පැවැති බලවත් විවේචනය යම් පමණකින් දුරු වූයේ අධිවේගී මාර්ග කිහිපයක් රට තුළ ඉදි කිරීමෙන් අනතුරුවය. දිවයිනේ නොයෙක් පලාත් ආවරණය වන අධිවේගී මාර්ග ජාලයක් සැලසුම් කර ඇති අතර එය ක‍්‍රියාවට නැගෙන්නට වැය කළ යුතු මුදල ප‍්‍රශ්නයක් වන අතර ගත විය හැකි කාලය කොපමණ විය හැකි දැයි තක්සේරුවකට යා නොහැකිය. අධිවේගී මාර්ග ඔස්සේ නගර කරා වේගයෙන් පැමිණිය හැකි නමුත් නගරය තුළ මගී සහ භාණ්ඩ ප‍්‍රවාහනය අධික පිරිවැයක් දරන්නට සිදුවන සහ විශාල කාලයක් නාස්ති කරන ක‍්‍රියාවලියක් බවට පත්ව තිබේ. කාර්යක්ෂමතාව සහ ඵලදායීතාවය ගැන අවධානය යොමු කරන විට මෙම ප‍්‍රමාදය සහ අතිරේක වියදම ජන ජීවිතයට කරන හිරිහැරය බරපතල කාරණයකි.