වෛද්‍ය විද්‍යාවෙන් දිනා දෙන ජීවිතය

ප්‍රතිචාරයක් ලබාදෙන්න

milinda-prashna

2015/04/29 – ලංකාදීප -මිලින්ද මොරගොඩ

විද්‍යාව සහ තාක්ෂණය සොබා දහමට කරන අභියෝගය තව දුරටත් සංකීර්ණ වෙමින් තිබේ. ස්වභාව ධර්මය වෙනස්කිරීම අනිටු පල විපාක වලට හේතු වන බවට බලවත් සංවාදයක් ද තිබේ. නමුත් දිනපතා සිදුවන අලූත් සොයාගැනීම් ඔස්සේ ජන ජීවිතයත් විශ්වයේ පැවැත්මත් පාලනය කරන්නට හැකිවන තැනට විද්‍යාත්මක පර්යේෂණ යොමුවෙයි.

අලූත් තොරතුරු වලට අනුව මනුෂ්‍යයන්ට වැළ`දෙන ලෙඩ රෝග සෑහෙන ප‍්‍රමාණයකට ප‍්‍රත්‍යක්ෂ ප‍්‍රතිකාර ක‍්‍රම සොයා ගෙන තිබේ. බටහිර රටවල් කරන ලද මෙම සොයා ගැනීම් ඉදිරි දශකය තුළ ජීවත්වන සාමාන්‍ය වයස ඉක්මවා මිනිසුන් ගේ පණ නල ආරක්ෂා කිරීමට හේතුවනු ඇතැයි සැලකේ. එවිට මෙතෙක් කල් ඉන්ද්‍රිය අකී‍්‍රය වීමෙන් සිදුවූ මරණ සීමාසහිත වනු ඇති අතර තවමත් පරාජය කර ගන්නට නොහැකි වී ඇත්තේ මහලූවීම නොඑසේනම් වයසට යාම පමණක් බව අනාවරණය වෙයි.

සෞඛ්‍ය අංශයෙහි සිදුවන මෙම විප්ලවීය සොයා ගැනීම් දියුණු සහ ධනවත් සමාජවලට සීමා වීම ගැටලූවකි. එයින් නැවත වතාවක් සමාජය තුළ පරමායුෂ වි`දින්නට ඇති හැකියාව සහ ඒ වෙනුවෙන් ප‍්‍රතිකාර ගන්නට ධනය අහිමිවීම අනුව දුප්පත් පොහොසත් බේධය නිර්මාණය වෙමින් තිබේ.

ශ‍්‍රී ලංකාව වැනි දියුණු වෙමින් පවතින රටවල ජනතාවට නවීන වෛද්‍ය පහසුකම් ප‍්‍රයෝජනයට ගෙන අවුරුදු සියය හෝ දෙසීය ඉක්මවා ජීවත්වීමට ඉඩ ලැබේදැයි සැක සහිතය. ඒ වෙනුවෙන් වියදම් කරන්නට සිදුවන මුදල සහ රට තුළ එවැනි ප‍්‍රතිකාර ලබන්නට හැකි අංග සම්පූර්ණ රෝහල් විරලවීම එයට බලපාන එක ප‍්‍රධාන හේතුවකි. ආර්ථිකය පරිවර්තනය වෙමින් පවතින ආකාරය නිරීක්ෂණය කරන විට නූතන වෛද්‍ය විද්‍යාත්මක සොයා ගැනීම් වල ප‍්‍රතිකාර මෙරට ජනතාවට ප‍්‍රයෝජනයට ගැනීම ස`දහා ආයෝජනය කරන්නට නුදුරු කාලය තුළ ඉඩ ලැබෙන්නේ නැත. රාජ්‍ය අංශයට ඒ වෙනුවෙන් මුදල් වෙන්කර නඩත්තුව අපහසුවන අතර පුද්ගලික අංශයට පවා ජාත්‍යන්තර සහයෝගයකින් තොරව එවැනි ආයෝජනයක් කිරීම පහසු නැත.

රට තුළට අලූත් දැනුම සහ අලූත් වෛද්‍ය විද්‍යාත්මක පර්යේෂණ ඇතුළු වන්නට නම් සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ ප‍්‍රතිපත්ති සම්බන්ධව පුලූල් වෙනසක් සිදුවිය යුතුය. වෛද්‍ය ප‍්‍රතිකාර රට වැසියන්ට පමණක් නොව ශ‍්‍රී ලංකාවේ රෝහලක සේවාව ලෝකයේ  ඕනෑම රෝගියෙකුට ලබාගත හැකි ආකාරයට දාර්ශනික වෙනසක් ඇතිකළ යුතුය. ආකල්ප සම්බන්ධයෙන් සම්පූර්ණ පරිවර්තනයක් කළ යුතුය. සිංගප්පූරුව එවැනි ආකල්ප ඇතිව ක‍්‍රියාත්මක වූ රටකි. එහෙයින් එරට වෛද්‍ය පහසුකම් ලොව සුපතලය. ඉන්දියාවේ චෙන්නයි සහ තායිලන්තයේ බැංකොක් යන නගර ද එවැනි තත්ත්වයකට පත්වෙමින් සිටි. එහි දී සිදුවන්නේ ලෝකයේ දියුණුම වෛද්‍ය විද්‍යාත්මක තාක්ෂණය සහිත අංග සම්පූර්ණ රෝහල් පිහිටුවීමට සුපිරි ආයෝජකයන්ට රට තුළ අවස්ථාව සැපයීමයි.

ශ‍්‍රී ලකාවට ද එවැනි තීන්දුවකට යා හැකිය. සංචාරකයන්ගේ පැමිණීම ඉහළ ගොස් තිබේ. රටට එන සංචාරකයන්ගේ ආදායම් මට්ටම් ඉහළ නැත. නමුත් ඉතා ධනවත් සංචාරකයන් රටට ගෙන්වන්නට නම් පරිසරය, ආගම සහ සංස්කෘතියට අමතරව සෞඛ්‍ය ක්ෂේත‍්‍රය වැනි අලූත් පැති ගැන හිතන්නට අවශ්‍යය. දියුණු වෛද්‍ය පහසුකම් ඇතිකළහොත් එහි ප‍්‍රතිකාර ලැබීමට ලොව ධන කුවේරයන් පැමිණෙන්නට ඉඩ තිබේ.  යම් පමණකට දේශීය සෞඛ්‍ය ක්ෂේත‍්‍රයට ද එහි වාසි පැතිරෙනු ඇත. ලාංකේය සමාජයේ යම් කොටසක් වෛද්‍ය ප‍්‍රතිකාර පතා විදේශ රටවලට යාම නතර වනු ඇත. ප‍්‍රතිකාර පතා විදේශ ගත වන්නේ ධනය ඇති ඉසුරුමත් ජීවිත ගත කරන පොහොසතුන් පමණක් නොවේ. ප‍්‍රතිකාර පතා ඉන්දියාවට හෝ සිංගප්පූරුවට යා යුතු බව කියා ආධාර ඉල්ලන දැන්වීම් කොපමණ ප‍්‍රමාණයක් මාධ්‍ය වල දිනපතා පළවෙමින් තිබේද? තමන්ගේ සේසතම වියදම් කර පමණක් නොව කොතැනකින් හෝ ආධාර ලබා ගෙන තම රෝගියා ජීවත් කරන්නට අප‍්‍රමාණ ප‍්‍රයත්නයක් දරන පිරිසක් රට තුළ සිටින බව මෙයින් පැහැදිලිය. එම පිරිසට මෙරටදීම ප‍්‍රතිකාර ලැබිය හැකි ආකාරයට රෝහල් ක්ෂේත‍්‍රයේ ආයෝජනය කරන්නේ නම් රෝගියාගේ ප‍්‍රතිකාරය පමණක් නොව විදේශ ගමන නතරවීම සහ ඥාතීන්ගේ වියදම් යනාදී වශයෙන් විශාල මුදලක් ඉතිරිකර ගත හැකිවනු ඇත.

විදේශිකයන්ගේ අවධානය ගැනීමට පමණක් නොව දේශීය වශයෙන් ප‍්‍රයෝජන අත්පත් කරගනු ස`දහා මෙරට සෞඛ්‍ය අංශය තුළ අලූත් පරිවර්තනයක් කරන්නට අවශ්‍යය. එම පරිවර්තනය එස්සේ ජාත්‍යන්තරය අත් හදා බලමින් සිටින පරමායුෂ ලැබිමේ ප‍්‍රතිකාර ක‍්‍රම වල සිට දැන් සමාජය අත් වි`දිමින් සිටින දහසකුත් එකක් රෝගාබාධ වලට රට තුළ දීම ප‍්‍රතිකාර ගත හැකි පහසුකම් වැඩිදියුණු වනු ඇත. මේවා වරප‍්‍රසාද පැලැන්තියට පමණක් ප‍්‍රයෝජනවත්වනු ඇත යන පටු ආකල්පයෙහි නොසිට ජාත්‍යන්තර කීර්තිමත් රෝහල් වලට රට තුළ ආයෝජනය කරන්නට ඉඩ දීම පොදු ජනතාවගේ යහපතට හේතුවන වැදගත් තීන්දුවකි.

පිපෙන මලක් දෙස බලා විනයක් ඇති කරගැනීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

milinda-prashna

2015/04/22 – ලංකාදීප – මිලින්ද මොරගොඩ

භාග්‍යවන්ත මාසය ගෙවී යමින් තිබේ. උදාවෙමින් තිබෙන්නේ වෙසක් මාසයයි. බෞද්ධ ජනතාව ආගමික නැඹුරුවක් ඇතිකරන්නේ එළැඹෙන මැයි මාසයේ දීය. අස්වනු නෙලා එහි සතුට සහිතව අලූත් අවුරුද්දකට සූදානම් වන්නේ යම් සේ ද එහි ඇත්තේ මෙලොව සතුටයි. වෙසක් මාසය සමග බොදුනු ජනතාව සියලූ දුක නැති කර පරම සුවය අත්පත් කරගැනීම ගැන අවධානය යොමු කරන්නේය. බෞද්ධ ජනතාවට ආගමික දර්ශනය පෙන්වා දුන් බුදු රජාණන් වහන්සේ ගේ උපත, බුදුබව ලැබීම සහ පිරිනිවීම සිහිපත් කරමින් මලින් සුව`දින් පුදන්නේය. ප‍්‍රතිපත්ති අනුගමනය කිරීමෙන් නිවන් මග පසක් කරගැනීමට කැපවන්නේය.

වසන්තය එළැඹෙන විට ගහකොල මලින් සහ ඵලයෙන් පිරී ජීවිත සතුටින් සුන්දරව තබන්නාක් මෙන්ම එයින් ඉනික්බිතිව එළැඹෙන කාලයෙහි දී බැතිබරව මල් පුදා පරලොව ජීවිතය ගැන සිතන්නට පරිසරය සකස්වීම සොබාදහමයි.දේශගුණ කලාපය අනුව සෘතු වෙනස්කම් විශාල ප‍්‍රශ්න ඇති කරන්නේ නැති ශ‍්‍රී ලංකාවට දීර්ඝ නිය`ගය හෝ අධික හිම පතන බලපාන්නේ නැත. කාලගුණයෙන් බරපතල වෙනස්කම් ඇතිනොකරන හෙයින් අපට ගිම්හානයේ සහ සිසිර සෘතු ගැන අත්දැකීම නැති තරම්ය. වැවක පිපෙන නෙලූම් හෝ මානෙල් හැමදාමත් රටට සුන්දරත්වය ඇති කරයි. සමන් පිච්ච, ඉද්ද, වතු සුද්ද මල් යායක් දැකිය නොහැකි ගමක් හෝ නගරයක් ඉතාමත් විරලය.

මල. මලක පිවිතුරු බව සහ මල් යායක ඇති සුන්දරත්වය අප රටට අලූත් දෙයක් නොවේ.නමුත් එක කාලයකට අධික ශීතලෙන් පීඩා වි`දින ජන කොටස් සිටින රටක් එක මෙහොතකින් මල් පිපී ගස් පුරා සුන්දරත්වය පැතිරෙන විට එය මහා සතුටක් ඇති කරන උත්සවයක් බවට පත් කරගනිති. සකුරා මල් පිපෙන කාලයට ජපානය උත්සවයෙන් ඇළලෙන්නේ එහෙයින්ය. සකුරා මල් පදනම් කරගෙන සංස්කෘතික පැවැත්මකට අනුගත වන්නේ ද එහි ඇති සුවිශේෂීබව හේතුවෙන්ය.

පැවැදිව ථෙරවාද ශාසනික ජීවිතයට ඇතුළු වූ පසු අනුගමනය කළ යුතු විනයානුකූල බවක් තිබේ. ගහක කොළයක් කඩා දැමීම විනය උල්ලංඝනයකි. බුදු හිමියන් පුදන්නට මලක් නෙලන්නට නිවන් මග අවබෝධකරගත් උතුමන්ට අකැපය. මල් ආසනයක මල් තබන්නට ද විනයානුකූල පිළිවෙතක් තිබේ. එළැඹෙන වෙසක් මාසයේ දී මල් නෙලා එකතු කර ලක්ෂ සංඛ්‍යාත ප‍්‍රමාණ වලින් බුදුන් පුදන පමණක් නොව බුදු හිමියන් ව`දින්නට යන බැතිමතුන් වෙනුවෙන් මල් දන්සල් පවත්වන විට ද එය විනයක් සහ ගරුත්වයක් ඇතිව කරන්නට අපට වගකීමක් තිබේ.

මලින් බර, සුන්දරත්වයෙන් අනූන රටක අප‍්‍රමාණව ඇති මල් නෙලා ඒ සියල්ල ස්වකීය ආගමික ශාස්තෘවරයානන් ඉදිරියේ තබා ව`දින පුදන බැතිබර සියලූම දෙනාට මලක අසිරිය, එහි පැවැත්ම සහ මලකින් කියාදෙන ජීවිතාවබෝධය ඉතාම වැදගත් කාරණයකි. සකුරා මල් පිපෙන කාලයට සොබා දහමේ චමත්කාරය සමග එකතු වන ජපන් වැසියන් මලක් පූජා කරන විට එය විනයක් අනුව කරන්නට ඉකෙබනා යනුවෙන් කලාත්මක ආකාරයක් ලෝකයට හ`දුන්වා දුන්නේය. ඉකෙබනා මල් කලාව ඇරඹෙන්නේ හුදෙක් මලක් නෙලා එය වි`දින පමණක් නොව ඒ තුළින් එක්තරා ආකාරයකට භාවනාවක් නැතිනම් විනයක් ජීවිතය තුළ ඇති කරන පදනමක් ඇති කරමින්ය. චීනයෙන් බොන්සායි ක‍්‍රමය ඇති වන්නේ ද ගහක් හැදෙන හැටි බලා දීර්ඝ කාලයක් එක අරමුණක පවතින්නටය.

ඉකෙබනා හුදෙක් මලක් නෙලා එය පිදීමක් පමණක් නොවේ. මල් ජීවත්වන බව ඔප්පු කර පෙන්වීමකි. නෙලාගත් මලකට තවත් ජීවයක් එකතු කර ජීවිතය දෙස අලූත් ආකාරයකට බලන්නට ඒ මල දෙස බලන  ඕනෑම කෙනෙකුට ඉඩ හසර වෙන්කර දෙන කලාවකි. එය ඇරඹෙන්නේ ජපානයේ බෞද්ධයන් සහ ස්වාමීන් වහන්සේලා ඇසුරෙහිය. හය වැනි සියවසේ පමණ ඉකෙබනා යනුවෙන් නෙලාගත් මලක් විහාරයකට පූජා කරන කලාව නිර්මාණය කරගත් බව ප‍්‍රකාශ වෙයි. පසුව ඉකෙබනා මල් සැකැස්ම ව්‍යාප්ත වන්නේය. අද වන විට එය හුදෙක් පූජා කිරීමක් පමණක් නොව ජීවන දර්ශනය ගැන දනවන සහ ජීවිතය වි`දින්නට ඉඩ සලස්වන අපූරු මල් සැකැස්මක් ලෙස ලෝකය පුරා ව්‍යාප්තව තිබේ.

එය හදාරන්නට එහි ඇති ශිල්පීය ක‍්‍රම අධ්‍යයනය කරන්නට කුඩා දරුවන්ගේ සිට වැඩි මහල්ලන් දක්වා අති විශාල ප‍්‍රමාණයක් නිරතුරුව උනන්දුවක් දක්වති. සරල සහ කුඩා ප‍්‍රමාණයෙන් කරන සහ එයින් අ`ගවන දෙය කෙරෙහි දකින්නාගේ අර්ථකතනය මෙහි දී ඉතාමත් සිත්ගන්නේය.බුදු පුදට, කෝවිලේ දෙවියන්ට සහ පල්ලියේ අල්තාරයට පමණක් නොව  ඕනෑම ආගමක පූජාවක දී මලකට ඇති ගෞරවය අප‍්‍රමාණය. මලක් නෙලා එය පූජා කරන්නට පමණක් නොව එය පුදන ආකාරය සහ එහි විනය ගැන හිතන්නට ජීවිතයෙන් මෙහොතක් වෙන් කිරීම සුදුසු යැයි සිතමි. එයින් සිතෙහි ඇතිකරවන භාවනාව ජීවිතාවබෝධයකි.

ජන මතයක් ඇති කිරීම සහ නැති කිරීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

milinda-prashna

2015/04/08 – ලංකාදීප – මිලින්ද මොරගොඩ

වර්තමාන ජන සමාජය ඉතා සංකීර්ණ ස්වභාවයකය. මෙයින් දශකයකට දෙකකට කලින් ජන මතයක් ඇති කරන්නට කරන ලද මාධ්‍ය භාවිතාව සීමිත ව්‍යුහයක් පමණකි. නමුත් වර්තමානයේ සන්නිවේදන කෘත්‍ය ඉතාම පුලූල් සහ ඒ හා සමානවම සියුම් බලපෑමක් කරන ආකාරයකට පරිවර්තනය වී තිබේ. එය බලවත් වෙනසකි. ඒ තුළ ජන මතයක් ඇතිකිරීම පහසු කාර්යයක් නොවේ.

මෑතක් වනතුරු යම් පණිවුඩයක් නිෂ්පාදනය කරන්නට සහ එය සමාජ ගතකරන්නට භාවිතා වූ සන්නිවේදන මෙවලම් අතර පෝස්ටර් සහ කටවුට් වැනි අංග වලට ඉහළ භාවිතාවක් තිබිණ. ජනතාව නිතර ගැවසෙන තැන්වල පෝස්ටර් ප‍්‍රදර්ශනය කිරීමෙන් සහ කටවුට් වැනි එල්ලන පුවරු තැබීමෙන් ඒවා දකින, එහි පණිවුඩය කියවන ජනතාව හරහා යම් සන්නිවේදනයක් සිදුවිය. යම් සේවාවක් ගැන දැනුම් දීමේ සිට භාණ්ඩයක් විකිීණීම දක්වා නොයෙක් පරාසයන් දක්වා විහිදුන මෙම උපක‍්‍රමය පලාත් පාලන ආයතන වලට අතිරේක ආදායමක් උපයා දෙන මාර්ගයක් බවට ද පරිවර්තනය විය.

පසුගිය දශකය තුළ සන්නිවේදනය හුදෙක් පෝස්ටර් සහ කටවුට් වැනි අංග අභිබවා යම් වෙනසකට ලක්වන්නේය. භාණ්ඩයක් විකිනීමේ සිට දේශපාලනඥයන්ගේ ප‍්‍රචාරණය පවා ජන මතය ගොඩනගන සන්නිවේදනයේ පැති තොරතුරු තාක්ෂණය සමග සම්බන්ධවෙයි. වර්තමාන තොරතුරු සන්නිවේදන යුගයේ දී ජනමතය ගොඩනැගෙන්නේ පෝස්ටරයෙන් හෝ කටවුට් වලින් පමණක්ම නොවේ. ජනතාව ගේ අත ඇති ජංගම දුරකථනය, ෆේස්බුක් සහ ට්ව්ටර් වැනි සමාජ වෙබ් ජාලා තොරතුර හුවමාරු කරන අතර එයින් මතයක් ගොඩනගයි. නූතන ජනමතය ගොඩනැගෙන්නේ සම්ප‍්‍රදායික බිල්බෝඞ් සහ කටවුට් මගින් කරන පෙළැඹවීමට වෙනස් සූක්ෂම ආකාරයට බව අවබෝධ කරගත යුතුව ඇත.

ගැටලූව මෙම ස්වභාවය විනිශ්චයකට නොගැනීමයි.  ඕනෑම නගරයක කටවුට් සහ පෝස්ටර් බහුලය. නොයෙක් තැන අති විශාල පුවරු ද ප‍්‍රදර්ශනාත්මක ආකාරයට ඉදිකර තිබේ. නොයෙක් උත්සව සහ දේශපාලන ව්‍යාපෘති වෙනුවෙන් සකස් කරන ලද දැවැන්ත ප‍්‍රචාරක පුවරු ප‍්‍රමාණය සුළු නැත. පරීක්ෂාවෙන් නිරීක්ෂණය කළහොත් ප‍්‍රචාරණ ඉලක්කයක් වෙනුවෙන් සකස් කරන ලද මෙම අංග එම දින වකවානු අවසන්ව මාස ගණනකට පසුව ද ඉවත් කර නැති බව පැහැදිලිව පෙනේ. ජනතාවට පණිවුඩයක් දෙන්නට උනන්දුවන පෝස්ටර්, කටවුට් සහ බිල්බෝඞ් නියමිත කාර්යයෙන් පසු ඉවත් නොකරන්නේ මන්ද යන්න ගැටලූවකි.

ජනතාවට යමක් සන්නිවේදනය කරන්නට සහ එයින් ජනමතයක් ගොඩනගන්නට උපයෝගී කරගන්නා මෙම අංග යල් පැනගිය ඒවා බවට පත්ව ඇති අන්දම පමණක් නොව ඒවා නිසි ආකාරයට මෙහෙයවන්නේ නැති හෙයින් අපකීර්තිමත් ප‍්‍රචාරයක් ගොඩනගන බව ද ස`දහන් කළ යුතුව ඇත. එය අනපේක්ෂිත දුර්මත සමාජය තුළ තහවුරු කරන්නට ද හේතු වී ඇත. විශේෂයෙන් මැතිවරණ ප‍්‍රචාරණය වෙනුවෙන් සකස් වූ කල් ඉකුත්ව ගිය කටවුට් සහ බිල්බෝඞ් තවමත් දැකගත හැකිය. ගස් ගල් වල පවා ලියන ලද පලාත් පාලන මැතිවරණ ප‍්‍රචාරක වැකි සහ මනාප අංක පවා අදටත් නොයෙක් තැන දැකිය හැකි සුලබ ඒවාය. රට ගොඩනගන්නට පරිසරය ආරක්ෂා කරන්නට සහ සන්නිවේදනය ඉතාම යහපත් කරන්නට අපේ්ක්ෂාවෙන් බලය ඉල්ලන දේශපාලනඥයන් ගේ සන්නිවේදනය ද එවැනි එකක් වී ඇති පසුබිමක ව්‍යාපාරික අරමුණු සහිතව මග දෙපස කටවුට් සහ ගස් ගල් පවා සන්නිවේදනයට භාවිතා කිරීම නතර කරන්නේ කෙසේ ද යන්න ගැටලූවක් වී තිබේ.

ශ‍්‍රී ලංකාව ගමන් කරමින් සිටින්නේ අලූත් යුගයකටය. තොරතුරු තාක්ෂණය කරා ජන සමාජය ඉතාම ඉක්මනින් අනුගත වෙමින් සිටී. විශේෂයෙන් තරුණ පරපුර සම්ප‍්‍රදායික සන්නිවේදනයෙන් ආකර්ශනය කර ගත නොහැකි තරමට වෙනස්වෙමින් සිටියි. ඒ අනුව ඉදිරි වසර පහ හය ඇතුලත පරිසරය ගහ කොල ගැන සිතන අලූත් පරම්පරාව පවතින කටවුට් සහ බිල්බෝඞ් පුවරු වලින් කරන සන්නිවේදන කෘත්‍ය දෙස චෝදනා ස්වරූපයකින් බලනු නොඅනුමානය.

ප‍්‍රචාරණයේ සහ මත ගොඩනැගීමේ දී නොගැලපෙන පැති නිවැරදි කරගැනීමට සූදානමක් අප සියලූ දෙනාටම තිබිය යුතුය. නගරයක ප‍්‍රදර්ශනය කළ හැකි පුවරු ප‍්‍රමාණය හෝ ඒවා සම්බන්ධ වගකීමක් ඇති අය ක‍්‍රියා කළ යුතු ආකාරය ගැන ප‍්‍රතිපත්ති තීන්දු ගැනීමට කාලය උදා වී තිබේ. සන්නිවේදනයේ නූතන ආක‍්‍රමණය සහ එය කෙරෙහි අනවබෝධයෙන් සිදුවන ප‍්‍රචාරණය තුළින් ඇති කරන දුර්මත කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම ද වැදගත්ය.

ජනප‍්‍රිය නොවී ගරුත්වය දිනාගත් ලී ක්වාන් යූ

ප්‍රතිචාරයක් ලබාදෙන්න

milinda-prashna

2015/04/01 – මිලින්ද මොරගොඩ
ඉලක්කය කරා වෙහෙස නොබලා බලවත් කැපවිමකින් ගමන් කරන නායකයෝ ජන සමාජය තුළ පරිවර්තනයක් කරන්නට සමත්වෙති. එම පරිවර්තනය අවසානයේ දී ජනතා ගෞරවයට පාත‍්‍රවන්නේය. දේශපාලනඥයන්ට තමන් අනුගමනය කරන වැඩ පිළිවෙල හෙයින් ජනප‍්‍රියත්වයට පත්විය හැකිය නමුත් ජනතා ගෞරවයට පාත‍්‍රවිය නොහැකිය.නවීන සිංගප්පූරුවේ නිර්මාතෘවරයා ලෙස සිය ජීවිතයෙන් සමුගත් ලී ක්වාන් යූ එරට පමණක් නොව මුලූ ලෝකයේම බලවත් ප‍්‍රසාදය අත්පත් කරගත් පුලූල් දර්ශනයක් තිබූ නායකයෙකි. සිය අභාවයේ දී පවා කුඩා රටක් වෙත ලෝකයේ හිටපු සහ දැනට සිටින බලවත්ම රාජ්‍ය නායකයන් කැ`දවන්නට සමත්වූවෙකි.

අවසාන කාලයේ දී ඔහු තමන්ගේ අත්දැකීම් සමග ජාත්‍යන්තර තලය තුළ සිදුවෙමින් පැවැති වෙනස්කම් සාකච්ඡා කරන්නේය. බටහිරට වඩා නැගෙනහිර කලාපයේ රටවල් වල සංවර්ධනයට කොන්ෆියුස් දර්ශනයේ වටිනාකම් බලපාන බවට මතයක් ගොඩනගන්නේය.ඔහුට අනුව බටහිර රටවල් පෞද්ගලික හැකියාව, ලිබරල් අදහස් සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලක්ෂණ වලට මුල් තැනක් ලබා දෙයි. නමුත් ආසියාව එයට වෙනස්ය. ආසියානු පැවැත්මේ දී විනය වැදගත් තැනක් ගනී. පිළිවෙල, අධ්‍යාපනයට ඇති නැඹුරුව සහ නායකත්වයට ගරු කිරීම වැනි ලක්ෂණ ඉහළින් සලකා බලන බව ලී ක්වාන් යූ ගේ අදහස විය. ආසියාවට වඩා ගැලපෙන්නේ කොන්ෆියුස් දර්ශනයට පදනම් වූ අනන්‍යතාවය බව හෙතෙම අවධාරණය කරන්නේය.

කුඩා රටක් වූ සිංගප්පූරුව තුළ සිදුවූයේ කුමක්දැයි නිරීක්ෂණය කරන්නට ඉන්දියාවට උවමනා විය. චීනය ඒ දෙස බලා සිටියේය. බටහිර රටවල් බලවත් උවමනාවකින් සිංගප්පූරුවේ ගමන නිරීක්ෂණය කළේය. සියළුම සංවර්ධන උපාය මාර්ග තිබූ රටවල් අභිබවා සිංගප්පූරුව ලෝක ආර්ථිකයේ සහ සමාජ සමෘද්ධියේ ඉහළම තැනකට පත්වන්නේය. දිගු කාලයකින් නොවේ. පරම්පරාවක් තුළය. එදා ඇමරිකානු ඩොලර් හාරසියයකට අඩු ඒක පුද්ගල ආදායමක් ලැබූ කටුක ධීවර පැවැත්මක සිටි පුරවැසියන් මේ තවමත් සිංගප්පූරුවේ ජීවත්වෙති. දැන් ඔවුහු ඇමරිකානු ඩොලර් හැට දහසකට ආසන්න ඒක පුද්ගල ආදායමක් ලබන රටක පුරවැසියන්ය.

ලී ක්වාන් යූ ඉපැදෙන්නේ යටත් විජිතයක දරුවෙකු හැටියටය. බි‍්‍රතාන්‍යයේ දී වැඩිදුර අධ්‍යාපනය ලැබ මවුබිමට පැමිණෙන හෙතෙම නිදහස් අරගලයට දායක වන අතර පීපල්ස් ඇක්ෂන් පක්ෂයේ ප‍්‍රබල නිදහස් මතධාරියෙකු වශයෙන් දේශපාලනයට පිවිසෙයි. 1959 දී බි‍්‍රතාන්‍යයෙන් නිදහස ලබාගන්නා විට පක්ෂයේ නායකයා ව සිටි හෙතෙම එරට අග‍්‍රාමාත්‍ය ධුරයට පත්වන අතර අවුරුදු තිස් එකක් එම ධුරය හොබවා විශ‍්‍රාම ලබන්නේ තව දුරටත් රටට උපදේශක සේවා සපයන විද්වතෙකු වශයෙන්ය.

තද නීති වලින් රට තුළ උසස් විනයක් ගොඩනැගූ හෙතෙම ලෝකයේ ඕනැම ව්‍යවසායකයෙකුට එරටට පැමිණ ආයෝජනය කරන්නට ඉඩ දුන්නේය. එයින් අවස්ථා අත්පත් කරගත්තේ එරට වැසියන්ය. එක සංකල්පයකට කොටු නොවී ක‍්‍රියා කළ හෙතෙම ගැටලූවක් පැන නැගෙන විට එයට මුහුණ දුන්නේ ප‍්‍රායෝගිකවය. ලිබරල් ද නැති ඒකාධිපතියෙකු ද නොවූ හෙතෙම පැවැත්ම ගැන විනා අන් යමක් ගැන විශ්වාසයක් තබන්නේ නැත. මාධ්‍ය පාලනය කළේය. දේශපාලන පක්ෂ මැඩ පැවැත්වීය. මාධ්‍යවේදීන් සහ ප‍්‍රතිවිරුද්ධ අදහස් ඉදිරිපත් කර ගැටුමකට ගෙන ගිය දේශපාලනඥයන් ද පාලනය කරන්නට අධිකරණය උපයෝගී කරගත්තේය. මේ හෙයින් ඔහු ජනපි‍්‍රය නායකයෙක් බවට පත්වූයේ නැත. තමන් ජනප‍්‍රියත්වය අපේක්ෂා නොකරන අතර මහජනතාවගේ ගෞරවය ප‍්‍රමාණවත් බව ප‍්‍රසිද්ධියේ කියා සිටියේය. එය යථාර්ථවාදී අදහසක් බව සනාථවන්නේ ඔහු ජීවිතයත් මරණයත් අතර සිටින අවසන් අවස්ථාවේ දී සමස්ථ ලෝකයම ඔහු දෙස අවධානය යොමු කළ ආකාරය අනුවය. ඉතාම විශිෂ්ඨ නායකයෙකු ලෙස ජීවිතයෙන් සමුගත් හෙයින්ය.

දේශපාලන ප‍්‍රතිපත්ති සහ වැඩ පිළිවෙල ගැන උවමනාවටත් වඩා හිතන නායකයන්ට ඔහු පණිවුඩයක් ඉතිරි කර තිබේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ ලිබරල් පාලනය ඇතුළු නොයෙක් සම්ප‍්‍රදාය අභියෝගයට ලක් කර ඇත. මානව හිමිකම්, මාධ්‍ය නිදහස පමණක් නොව අඩුම තරමින් මිනිසුන්ගේ චුයිංගම් භාවිතය පවා තහනම් කරන්නේය.

ලී ක්වාන් යූ නොසිටියානම් සිංගප්පූරුව තවමත් දුප්පත් ධීවර රටකි. ඔහුගේ බලවත් නායකත්වය කුඩා රටක පැවැත්ම බලවත් ආකාරයකට පරිවර්තනය කරන්නේය. කුඩා රටක් සිය අභිවෘද්ධිය වෙනුවෙන් ලෝකයේ සෙසු රටවල් කරා සරණ පතා ගමන් කරනු වෙනුවට ලෝකයේ සියලූම බලවත් රටවල් තමන් වෙත කැ`දවා ඔවුන්ගේ ශක්තිය සිංගප්පූරුවේ ජනතාවගේ අභිවෘද්ධියට යොදවන්නේය. දේශපාලන නායකයන් මෙතැන් සිට අලූතින් සිතන්නට පටන්ගත යුතුය. ඔහුගේ ජීවිතයේ නිර්භීත කැපවීම වෙනුවෙන් මුලූ දේශයම හිස නමන අතර සිංගප්පූරු පුරවැසියන්ට ඒ වෙනුවෙන් ආපසු ගෙවන්නට හැකියාවක් නැති අතර කළ හැකි ගරු කිරීම පමණක් බව එතුමා ගේ අභාවය වෙනුවෙන් සිංගප්පූරුවේ ප‍්‍රකාශය විය.