රටට වැඩක් කරන්නට දේශපාලනඥයකු වියයුතුදමද?

ප්‍රතිචාරයක් ලබාදෙන්න

milinda-prashna

2015/06/24 – ලංකාදීප

එකිනෙකට වෙනස් ක්ෂේත‍්‍රවල අනගිභවනීය විශිෂ්ටයෝ එදිනෙදා ජීවිතයේ දී අපට හමුවෙති. නළු නිලියන්ය. රංගධරයන්ය. නොඓස්නම් අති විශිෂ්ට දක්ෂතා පෙන්වන ක‍්‍රීඩක කි‍්‍රඩිකාවන්ය. අති දක්ෂ වෛද්‍යවරු නොඑසේනම් ලේඛකයන් හෝ නිවේදක නිවේදිකාවන්ය. නොඑසේනම් කර්මාන්ත හෝ ව්‍යාපාරික අංශවල දැවැන්තයන්ය. මෙම සියලූ අංශ වල පරිපූර්ණත්වයට පත්වූවෝ රට තුළ බලවත් පිළිගැනීමට ලක්ව සිටිති. රට තුළ පමණක් නොවේ ජාත්‍යන්තරව ද, ඇගයීමට ලක්වෙති.

සමාජයේ ඉහළ තැන් වලට ප‍්‍රවේශ වූ මෙම ජනකාන්ත අසිරිමත් මිනිසුන්ට සෙසු පොදු ජනතාව ගරු කරන්නේ ඇයි? එය අවධානයට ගත යුතු එකකි. එක් එක් ක්ෂේත‍්‍රවල මුදුනටම පැමිණි ඔවුන් තමන්ට කළ නොහැකි දෙයක් කරන්නට සමත් වූ දැවැන්තයන් ලෙස සලකන හෙයින් බව පිළිගත යුතුය. එලෙස ඉහළම තැනකට පැමිණ සමාජයේ තරු ලෙස බැබලෙන්නේ විශාල කැපවීමක ප‍්‍රතිඵලයක් වශයෙන්ය. එලෙස තාරකා බවට පත්වීම ජනප‍්‍රියත්වයයි. අත්පත් කරගත් ජනප‍්‍රියතාව තාවකාලික එකකි. සමාජ ගෞරවය දිනාගන්නට ජනපි‍්‍රයත්වය ඉක්මවා ගිය භාවිතාවකට ගමන් කළ යුතුව ඇත.

ශ‍්‍රී ලංකාවේ අතිශය ජනප‍්‍රිය චරිත එක්තරා අවස්ථාවක ක්ෂේත‍්‍රය වෙනස් කරයි. තම ජනප‍්‍රියතාව උපයෝගී කරගෙන දේශපාලනයට පැමිණෙයි. දේශපාලන පක්ෂවල ස්වභාවය සමාජ නායකයන් එකතු කරගෙන ඡුන්දය දිනා ගැනීමය. පවතින ක‍්‍රමය තුළ දේශපාලනය සහ දේශපාලනඥයා ගැන සමාජ ගරුත්වය හො`ද එකක් නොවේ. හො`ද නරක සියලූම දේශපාලනඥයන් ගැන සමාජය තුළ ඇත්තේ පොදු මිනුම් දණ්ඩකි. එවැනි පසුබිමක් තුළ පවා ජනප‍්‍රිය චරිත දේශපාලන වේදිකාවට එකතු වෙමින් සිටී. දේශපාලනය තුළින් රටට මෙහෙවරක් කළ හැකි යැයි මෙම චරිතවල පොදු අපේක්ෂාව බව පෙනේ. දේශපාලන ක්ෂේත‍්‍රය තුළ අවස්ථා පවතින අතර එම අවස්ථා යුක්ති සහගත ආකාරයට මෙහෙයවන්නට තමන් දායකවීම වගකීමක් යැයි විශ්වාස කරන බව නිරීක්ෂණය කළ හැකිය.

දේශපාලනඥයන් පොදුවේ නිග‍්‍රහයට ලක්වන නමුත් පවතින ක‍්‍රමය යහපත් තැනක් බවට පත්කරන්නට නම් ජනප‍්‍රිය එක් එක් ක්ෂේත‍්‍රවල නායකයන්ට වගකීමක් ඇති බව ඇත්තකි. නමුත් තමන් නියෝජනය කරමින් සිටි ක්ෂේත‍්‍රය වෙනුවට දේශපාලනය තෝරා ගත් අභිමානවත් පුරවැසියන්ට අත්පත්ව ඇති ඉරණම ගැන සාකච්ඡුා කිරීම අවශ්‍ය කාරණයකි. ක්ෂේත‍්‍රයේ විශිෂ්ටයෙකු ලෙස සමාජයට ලබාදුන් පූර්වාදර්ශ සහ ඒ සම්බන්ධයෙන් තිබූ පිළිගැනීම ක‍්‍රමයෙන් දුර්වල තැනකට පත්වීම ගැන විමසා බලන්නට ද අවශ්‍යය.

දේශපාලනඥයෙකු නොවී රට යහපත් තැනක් බවට පත්කරන බලවත් බලවේගයක් බවට පත් විය නොහැකිද? අප විමසා බැලිය යුතු පැත්ත එයයි. පවතින අසුබ දේ වෙනස් කරන්නට එක් එක් ක්ෂේත‍්‍රවල බැබලෙන තාරකා වලට අවස්ථා අප‍්‍රමාණව තිබේ. තමන් පැමිණි ගමන ගැන සහ එහිදී ලැබූ අත් දැකීම් සමාජයට බෙදා දෙන්නට දේශපාලන පක්ෂයකට සම්බන්ධවිය යුතුම නැති අතර පාර්ලිමේන්තුව ඒ වෙනුවෙන් ඇති එකම ස්ථානය ද නොවේ. සමාජයේ ඉහළම තැනට පැමිණි ක‍්‍රීඩකයෙකුට නවක ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් වෙනුවෙන් පුහුණු ක`දවුරක්, වෛද්‍ය විද්‍යාවෙන් ඉහළටම පැමිණි විද්වතෙකු තම දැනුම හා අත්දැකීම් උපයෝගී කරගෙන වෛද්‍ය සායනයක් පැවැත්විය හැකි නම් කොපමණ වැදගත්ද? නළු නිලියන්ට හෝ රංගධරයන්ට සමාජය දැනුවත් කරන අතර නිසි අභ්‍යාස ගැන දරුවන්ට කියා දිය හැකිය.

මෙවැනි දේ සිදු නොවන බවක් මෙයින් ප‍්‍රකාශ කරන්නේ නැත. යහපත් මිනිසුන් තමන්ගේ ක්ෂේත‍්‍රවල සිටිමින් දැනුම සහ අවබෝධය බෙදාදෙමින් ජනතා සිත් සතන් ධෛර්යවත් කරමින් සිටිති. මෙම සිදුවීම තවත් ඉදිරියට යා යුතුය. දේශපාලනයට පැමිණ එහි වේදිකාවක තර්ක කිරීමට වඩා රට වෙනුවෙන් කරන්නට කාර්ය භාරයක් ඇති බව දිදුලන තාරකා අතර පැතිර යා යුතු අදහසකි.දේශපාලනයට පැමිණ දේශපාලන වේදිකාව තුළ බලවත් විවේචනයට ලක්වීමට වඩා අලූත් මගක් සොයා යන සමාජයේ ඉහලින් බැබලෙන තාරකා වලට මාධ්‍ය ඇගයීම ද ප‍්‍රමාණවත් ආකාරයට තිබිය යුතුය. දේශපාලනඥයන්ගේ සරු නැති අදහස් වලට වැඩි ඉඩක් දී දේශපාලනඥයන් නඩත්තු කිරීමට වඩා එපිට ලෝකයක් ඇති බව දකින්නට කැමැති විශාල ජන කොටසකට සිදුවන අගතිය ගැන සාකච්ඡා කළ යුතුය.

වාහනයක අයිතියක් නැති ලොව විශාලතම ටැක්සි සේවය

ප්‍රතිචාරයක් ලබාදෙන්න

milinda-prashna

2015/06/17 – ලංකාදීප
ලෝකය බිහිවී එහි මනුෂ්‍යවාසය ඇරඹුන දා සිට අද දක්වා කාලය පැය විසි හතරක් යැයි උප කල්පනය කළහොත් අන්තර් ජාලය බිහිවී ගතවී ඇත්තේ තත්ත්පරයකින් ද කුඩා පංගුවක් විය හැකිය. නමුත් මෙම ඉතා කුඩා ක්ෂණික කාලය මනුෂ්‍ය සංහතියට කර ඇති බලපෑම සුළු කොට තැකිය නොහැකිය. එය සන්නිවේදන විප්ලවයයි. උපතේ සිට මරණය දක්වා ඉතාමත් වැදගත් ආකාරයට බලපාන මෙවලමක් බවට තොරතුරු තාක්ෂණය, පත්ව තිබේ. එදිනෙදා ජීවිතය හසුරුවන්නට පමණක් නොව ජීවිතය කාර්යක්ෂම කර පහසු කරන්නට ද අන්තර්ජාලය සහ තොරතුරු තාක්ෂණය පිටුවහලක්ව ඇති ආකාරය අවධානයට ගැනීම වටී.

මෙම තාක්ෂණ යුගයේ, තොරතුරු සන්නිවේදනයේ දී හුවමාරු වන දත්ත අලූත් ආර්ථික සහ සමාජයීය අවස්ථා ඇති කරමින් සිටී. එය සමාජ ගෝලීයකරණයේ අලූත් පැත්තක් අනාවරණය කරයි. නවතම තොරතුරු වලට අනුව අන්තර්ජාලය උපයෝගී කරගෙන ලෝකයේ විශාලතම ටැක්සි සේවාව ආරම්භ වී ඇත. නමුත් මෙම සේවාව වෙනුවෙන් ආයතනයක් නැත. කාර්ය මණ්ඩලයක් මෙහෙයවන්නේ ද නැත. ලෝකයේ කිසිම රටක සමාගමක් ලෙස නොපවතින අතර ටැක්සි සේවය සතුව එකම කුලී වාහනයක් ද නැත. අන්තර් ජාලය ඔස්සේ සියලූම වාහන පරිහරණය කරන්නන් ටැක්සිකරුවන් බවට පත් කර තිබේ. එයට අනුව තමන් ගමනක් සැලසුම් කරන විට තම වාහනයේ ඉඩකඩ අතිරේකව තිබේනම් ඒ ගැන තොරතුරු අන්තර්ජාලයට මුදා හැරේ. එම තොරතුරු දැනගන්නා කොතැනක හෝ සිටින නොදන්නා මගියෙකු මිල ගෙවා තමන් යම් තැනක සිට තවත් තැනකට ගෙන යන ලෙස ඉල්ලීමක් කරයි. දෙදෙනා ආතර සම්බන්ධතාවය හදන්නේ අන්තර්ජාල මෘදුකාංගයකි. මෙම මෘදුකාංගය පරිහරණය කරන්නන්ට ගමනක් යන්නට වාහනයක් හොයා ගැනීමත් තමන්ගේම වාහනයක ගමන් කරන්නේ නම් එම දිසාවටම යන තවත් කිහිපදෙනෙකු කැටුව ගොස් යම් ආදායමක් උපයා ගන්නටත් ඉඩකඩ ලැබේ. ගනුදෙනු කිරීම සහ ආරක්ෂාව සම්බන්ධව යම් ගැටලූ ඇතත් ඒවා ද නිරාකරණය කරගැනීමට මෙම මෘදුකාංගය වැඩිදියුණු වෙම්න් පවතින අතර නුදුරු කාලය තුළ එය ලොව පුරා ව්‍යාප්ත වුවහොත් නිල ටැක්සි සේවා අවලංගු විය හැකි අතර ගමනාගමනයේ පිරිවැය බරපතල වෙනසකට ලක්වීමෙන් විශාල ආර්ථික ප‍්‍රතිලාභ ඇති වන බව නිසැකය.

ටැක්සි සේවය සම්බන්ධව මෙම තොරතුරු අනාවරණය වන පසුබිම තුළ සිංගප්පූරුවේ මගී ප‍්‍රවාහනය ද තොරතුරු තාක්ෂණයේ දත්ත උපයෝගී කරගෙන පොදු මගී ප‍්‍රවාහනය සම්පූර්ණ පරිවර්තනයකට ලක් කර ඇත. එය සාමාන්‍ය ජනතාවගේ සිත් ගන්නා තීරණයකි. මගීන් ගැවසෙන ආකාරය සහ මගී බස් රථවල ඉඩකඩ ගැන නිරීක්ෂණය කරන බස් ධාවන කළමණාකරණය කරන මධ්‍යස්ථාන ඒ මොහොතේ දී මගීන් වැඩි බස් සහිත මාර්ග වලට ඒ අසලින් යන හිස් බස් රථ වහාම යොමු කරන්නට පියවර ගනී. එය මෙතෙක් පැවැති බස් මගී කාල සටහන් ක‍්‍රමය අභිබවා තීරණ ගැනීමකි. කාල සටහන් ක‍්‍රමය අනුව බස් රථය ධාවනය වන වේලාව බලා පාරට එන්නට මගීන්ට සිදුවෙයි. නමුත් මෙම ක‍්‍රමය අනුව මගියා වැදගත් බවට පත්වෙයි. බස් රථයක යන්නට පාරට එන පොදු ජනතාව වෙනුවෙන් ඉක්මනින් බස් යොමු කරන්නට පාලකයන්ට හැකියාව ලැබේ.

ජාත්‍යන්තරය තුළ එවැනි පරිවර්තනයක් සිදුවන කාල වකවානුවක ශ‍්‍රී ලංකාවේ පොදු ප‍්‍රවාහනය සහ ටැක්සි සේවා සම්බන්ධව විමර්ෂණාත්මකව අවධානය යොමු කරන්නට අපට සිදුවී ඇත. බස් ධාවන කාල සටහන වෙනස් කර අලූත් බස් රථයක් ධාවනයට යෙදවුවහොත් බස් හිමියන් වර්ජනය කරන රටකි. බස් රථ ගමනා ගමනය සම්බන්ධ නීති හා විධිවිධාන පනවා මගීන් ගැන හිතන්නට ඉඩ නොදෙන මහජන සේවාවකි. ටැක්සි සේවය ද, එයටත් වඩා ප‍්‍රචලිත තී‍්‍රවිලර් ටැක්සි ක‍්‍රමය ද පවත්වාගෙන යන්නේ මගීන්ගේ යහපත ගැන සිතමින් නොවේ. ඒවායේ විනය ගාස්තු අය කරගැනීමේ ක‍්‍රමය සම්බන්ධයෙන් ගමන් ගන්නා මගීන්ට කිසිදු විශ්වාසයක් නැත.

තාක්ෂණයෙන් පොහොසත් රටක් වන්නේ පරිගණක යහමින් ඇති බව අනුව නොවේ. ශ‍්‍රී ලංකාවේ පරිගණක හිමිකාරීත්වය සහ අන්තර්ජාල භාවිතාව ඉතාම වේගයෙන් වර්ධනය වෙමින් තිබේ. මෙම තාක්ෂණය තුළ ජන ජීවිතය පහසු කරන්නේ කෙසේදැයි විමසා බලන්නට මෙම ටැක්සි සේවා සහ සිංගප්පූරුවේ පොදු ප‍්‍රවාහනය ගැන තොරතුර සියලූ පාර්ශව වල අවධානයට ලක්විය යුතුය.

ආහාර නාස්තිය

ප්‍රතිචාරයක් ලබාදෙන්න

milinda-prashna

2015/06/10 – ලංකාදීප

නිවසට අමුත්තෙකු පැමිණි විට බත් කටක් දී ආපසු යැවීම ශ‍්‍රී ලාංකේය ජන සංස්කෘතියේ වැදගත් ලක්ෂණයකි. පහුගිය පරම්පරාව හාල් ලිප තබා බතක් උයන්නේ නිවැසියන්ටම පමණක් ප‍්‍රයෝජනයට ගන්නා පර්මාර්ථයෙන් නොවේ. කොතැනකින් හෝ අමුත්තෙකු කඩුල්ල පැන පැමිණ වේලක් කා බී සතුටු වී යනු ඇතැයි අවධානයෙන් සිටි පරපුරේ වැඩිහිටියෝ අදටත් මෙරට හි`ග නැත. අමුත්තෙක් නොපැමිණිය ද පිසූ ආහාර ඉවත දමන්නේ නොසතුටෙන් නොවේ. සතෙක් සීපාවෙක් හෝ අනුභව කරනු ඇතැයි අපේක්ෂාවෙන්ය. කන බොන දැයෙන් අඩුවක් නැතිව සිටි රටට ආහාර පරිභෝජනය පමණක් නොව අරපරෙස්සම ගැන ද හිතන්නට සිදුව තිබේ.

ආහාර රටාව වෙනස් කළ යුතු වන ලෙස ශක්තිය වැය කිරීම වෙනස්වී ඇති බව සලකා බැලිය යුතු එක පැත්තකි. මෙයින් දශක කිහිපයකට කලින් ඇ`ග පත වෙහෙසවා වැඩ කරන ලද පුරවැසියන්ගෙන් බහුතරය අද වායු සමනය කරන ලද කාර්යාලයක හෝ වැඩිපුර වෙහෙසෙන්නේ නැති සේවාවක නිරතය. විශාල ප‍්‍රමාණයක් ආහාර ගෙන ඒවා දහනය වන ආකාරයට වැඩ නොකර සිටින සිරුරු අධික තරබාරු පමණක් නොව නොයෙක් ලෙඩ දුක් වලට ද ගොදුරු වන්නට පටන් ගෙන ඇත. කාබෝහයිඩ්‍රේට් ආහාර අඩු කර එලවලූ වැඩිපුර ආහාරයට ගැනීම සුදුසු බව වෛද්‍ය නිර්දේශයයි. බත් වැඩිපුර ආහාරයට නොගැනීම සහ හැකිතාක් තන්තු බහුල ආහාර ගැනීම සුදුසු බව ද වෛද්‍යවරු පෙන්වා දෙති. අනෙක් පැත්ත ලෝකය පුරා ආහාර හි`ගයක් සහ නිෂ්පාදන පිරිවැය ඉහළ යාම හෙයින් මතුව ඇති ගැටලූ හෙයින් අපතේ නොයවා පරිභෝජනය වැදගත් එකක් බවට පත්වීමය. රට තුළ සහල්, එලවලූ සහ පලතුරු නිපදවීමේ දී විශාල ප‍්‍රමාණයක් අපතේ යන බව ගණන් බලා ඇති අතර භෝජනාගාර වල දී පිසූ ආහාර අපතේ යාම තවත් ගැටලූවක් බව නිරීක්ෂණය කළ හැකිය. අහාර නිෂ්පාදනයේ සිට පරිභෝජනය දක්වා අලූත් ආකාරයකට හිතන්නට අපට සිදුවන බව අවබෝධ කරගැනීම වැදගත්ය.

නොබෝදා ප‍්‍රංශ පාර්ලිමේන්තුව ආහාර අපතේ හැරීම සම්බන්ධයෙන් අවධානය යොමු කළේය. එහි සම්මත කරන ලද නීතිය අනුව සුපිරි වෙළ`ද සැල්වල ආහාර අපතේ යවන ආකාරයට කටයුතු කිරීම වරදකි. මෙම නීතිය සම්මත වන වකවානුව වන විට ද සුපිරි වෙළ`ද සැල් සිය පිසූ ආහාර වර්ග යම් කාලයකට පසු ඉවත් කරන්නට කලින් දුප්පතුන් සහ වෙනත් ප‍්‍රයෝජනයට ගත හැකි තැන් වලට යොමු කරන ලද බව ස`දහන් වන නමුත් එසේ තිබිය දී පවා අපතේ යන ආහාර ප‍්‍රමාණය සැලකිය යුතු තරම් බව නිරීක්ෂණය කර ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානය ගණන් බලා ඇති ආකාරයට නිපදවන ආහාර වලින් තුනෙන් එකක් ප‍්‍රයෝජනයට නොගෙන අපතේ යන්නේය. එය ඒවා නිපදවන්නට වියදම් කරන ලද බලශක්තිය හා ශ‍්‍රමයට පමණක් නොව පරිසරයට ද බලවත් හානියක් බව ස`දහන් කරයි.

කුස පුරවා ගන්නට ඇති තරම් ආහාර ඇති ඉසුරුවන්ත මිනිසුන් සේ ම විශාල ජන කොටසක් දිනපතා තමන්ගේ දෛනික අවශ්‍යතාවය සපුරා ගන්නට ආහාර නැති කමින් බලවත් දුක් වි`දින වකවානුවක් උදා වී තිබේ. එවැනි තත්ත්වයකට ලෝකය පත්වන්නේ ඉකුත් වසර හැට තුළ ජනගහනය අධික ලෙස වර්ධනය වීම සමගය. මෙම ජනගහනයට ප‍්‍රමාණවත් ආකාරයට ආහාර නිපදවා ගැනීම ප‍්‍රශ්නයක් වන තත්ත්වයකය.
ශ‍්‍රී ලංකාවේ සමාජ පසුබිම අනුව ආහාර වේලක් යනු බරපතල ප‍්‍රශ්නයක් නොවේ. ලෝකයේ වෙනත් රටවල මෙන් දස දහස් ගණනින් වැසියන් කුස ගින්නේ දුක් වි`දින්නේ නැත. එහෙම නමුත් ආහාර මිල ගණන් වැඩිවීම සහ පරිභෝජනය කරන ආකාරය සම්බන්ධ ගැටලූ තිබේ.

ආහාර සුරක්ෂිතතාවය ගැන නොසලකා හැරීම සහ ප‍්‍රයෝජනයට ගත හැකි ආහාර විශාල ප‍්‍රමාණයෙන් විනාශ කිරීම අලූතින් අවධානයට ගත යුතු පැත්තකි. ප‍්‍රංශයේ හෝ වෙනත් රටක මෙන් නීති පනවා පුරවැසියන්ගේ ආහාර වේල පාලනය කරන මට්ටමට ආණ්ඩුවක් පත් කරන්නට කලින් සමාජය තුළ අලූත් ආකාරයට ආකල්ප හැඩගසා ගැනීම සුදුසුය.කුස පුරවන තරමට විශාල ආහාර ප‍්‍රමාණයක් ගැනීමට වඩා ශරීරයට ඔරොත්තු දෙන ආහාර ගැන විශේෂයෙන් සැලකිල්ලක් දැක්විය යුතුය. ගන්නා ආහාර ස්වකීය සෞඛ්‍ය සහ ශරීර ස්වස්ථතාවයට බලපාන්නේ කෙසේදැයි විමසීම වටී. වැදගත්ම කාරණය වන්නේ අපතේ යැවීම වලක්වා ගැනීමයි. ආහාර අපතේ නොයන ආකාරයට පරිභෝජනය ශ‍්‍රී ලංකාවේ වැදගත් චාරිත‍්‍රයක් බවට පත් කරගත යුතුය.

අලුත් පොසොන් ස`ද උදාවන තෙක්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

milinda-prashna

2015/06/03 – ලංකාදීප – මිලින්ද මොරගොඩ

පොසොන් පොහොය යෙදී තිබුණේ ඊයේ දිනයටය. බොදුනු ජනතාවට පොසොන් පොහොය ඉතාමත් වැදගත් දිනයකි. රටට අලුත් දර්ශනයක්, අලූත් විනයක් ඇති කරන ලද මිහි`දු මහ රහතන් වහන්සේගේ වැඩමවීම සිදුවන්නේ පොසොන් පොහොය දිනයකය. තෙවරක් බුදු රජාණන් වහන්සේ වැඩම කළ ලංකාද්වීපයෙහි පාලකයන් ද, රට වැසියන් ද ධර්මයෙහි පිහිටුවන සුවිශේෂී සන්ධිස්ථානය මහින්දාගමනයයි.

ධර්මාවබෝධයට තාර්කික ඥාණය අවශ්‍යය. දේශනා කරන අලුත් දර්ශනය පිළිගැනීමකට ලක්වන්නේ එය අවබෝධකරගත හැකි පසුබිමක් ඇත්නම් පමණකි. මිහි`දු රහතන් වහන්සේ එය තහවුරු කරගත යුතුය. දඩ කෙළියෙහි නිරතව සිටි දේවානම් පියතිස්ස රජු ගේ අවධානය ගන්නට විමසන ප‍්‍රශ්න මාලාවෙන් එවැනි උවමනාවක් තිබූ බව පැහැදිලි වෙයි. පාලකයා අවබෝධයෙන් යුතු නම් පුර වැසියන් ද යමක් වටහා ගත හැකි යම් තාර්කිකත්වයක පිහිටි පිරිසක් බව මිහි`දු රහතන් වහන්සේ ඇතුළු දුත කණ්ඩායම තේරුම් ගන්නට ඇත.

මහින්දාගමනයෙන් සියවස් ගණනක් නොයෙක් පරිවර්තනවලට ලක් වූ සමාජය වර්තමානයට එළැඹ තිබේ. රජවරුන් යටතේ පාලනය වූ රට පසුව යටත් විජිතයක් බවට පත්විය. ඉතිහාසයට අනුව සොලී ආක‍්‍රමණ වල සිට මෑත දක්වා පාලකයන්ට විදේශ ආක‍්‍රමණ වලින් ගැලවෙන්නට තැනින් තැනට යමින් රාජධානිය පිහිටුවා ගන්නට සිදුවිය. නිදහස අත් පත් කරගත්තේය. නිදහස තවත් අර්ථවත් කරන ප‍්‍රජාතන්ත‍්‍රීය ගුණාංග සමාජයට ඇතුළු වෙමින් තිබේ. පොසොන් සමරන රටට, සන්සුන් සැනසිලිදායක තැනක් බවට පත්ව ඇතැයි ප‍්‍රකාශ කරන්නට හැකියාව තිබේද?
සමාජය තුළ ගැටුම් සහ වියැවුල්ය. අතෘප්තිය සහ විකෘතිය බහුලය. එදා පැවැති අධ්‍යාපනය හා දැනුම උපයා ගත් ආකාරයට හාත්පසින්ම වෙනස් දියුණු යැයි කියන පසුබිමක් අද රට තුළ තිබේ. ආගමෙන් සහ අධ්‍යාපනයෙන් අවබෝධය ඇති කරන නමුත් සමාජය ක‍්‍ර‍්‍රියාකරන්නේ තාර්කික ආකාරයක නොවේ. එය බරපතල ප‍්‍රශ්නයකි.

බුදු දහම ප‍්‍රශ්න ඇති කරන ආගමක් නොවේ. අනෙක් ආගම් වලින් ද එකිනෙකා අතර නොසන්සුන්කම සහ ගැටලූ ඇතිකරන්නේ නැත. සියලූම ආගම් මගින් ආදරය, කරුණාව සහ සැනසිල්ල ඇති කරන මග පෙන්වයි. රට තුළ වෙසෙන වැඩිම පිරිසක් බොදුනුවන් වන හෙයින් බුදු දහමෙහි පමණක් නොව පොසොන් සමයෙහි අරමුණ ද නොදන්නවා විය නොහැකිය.
නමුත් සමාජය බෙදී තිබේ. ජාති ආගම් කුල සහ දේශපාලන වශයෙන් එකිනෙකා වෙන් වී ඇත. එකමුතුව රට ගොඩනගන්නට කැපවෙන පණිවුඩය සාකච්ඡා කරන්නේ ද බෙදුනු කණ්ඩායම් හැටියටය. කන්ඩායම් අතර ඇත්තේ වෛරයයි. දේශපාලනය ඉහළම සම්බන්ධතා ගොඩනගන ආකෘතිය බවට පත්ව තිබේ. දේශපාලනයෙහි නිරත නායකයන් හැසිරෙන්නේ බලය උදෙසාය. බලය ආරක්ෂා කරගන්නටය. රටත්, සමාජයත් ඉදිරියට ගෙන යන සාධනීය සංවාදයකට සූදානමක් නැත. සමගිව රැුස්වන්න. සමගිව සාකච්ඡා කරන්න. සමගිව විසිර යන්න යන පණිවුඩය දෙන්නේ බුදු දහමයි.

අප ජීවත්වන්නේ බුදු දහම එම පණිවුඩය දෙන කාල පරිච්ඡේදයට වඩා පොහොසත් සමයකය. එදා සිටි තත්ත්වයට වඩා ඉහලින් සිටින්නට සමත්කම දියුණුවයි. රට දියුණු වී ඇති නමුත් ආධයාත්මිකව දියුණු වී ඇතැයි තෘප්තිමත්විය හැකිද? පවතින ස්වභාවය සම්බන්ධව ප‍්‍රශ්න කළ යුතු අප විසින්මය.
රටට අලූත් පොසොන් ස`දක් උදාවිය යුතුය. මෝහාන්ධකාරය වෙනුවට යථාවබෝධය ඇති කර ගත යුතුය. රට තුළ ඇති නොසන්සුන් අකාරුණික බෙදුනු බව නැති කරගත යුතු අප විසින්මය. රටට එපිටින් වෙනත් තැනකින් නායකයන් පැමිණ එය ඉටු කරන්නේ නැත. අලුත් අනුබුදු හිමිනමක පැමිණ අලුත් දහමක් මිහින්තලාවෙන් අනාවරණය කරන්නේ ද නැත. පවතින තත්ත්වය වටහාගෙන බලය සහ බලය තහවුරු කරගන්නට නායකයන් ඇති කරන තර`ගය තුළින් සමාජය පත්ව ඇති ව්‍යසනය තේරුම් ගන්නට පොසොන් ස`ද පැහැපත් ආලෝකයකි.