අනතුරු අවමයට විකල්ප සොයමු

ප්‍රතිචාරයක් ලබාදෙන්න

milinda-prashna

2016/04/27 – ලංකාදීප

පසුගිය උත්සව සමය අනතුරු බහුල වකවානුවක් ඇති කරන ලද බව මාධ්‍ය තොරතුරු අනාවරණය කළේය. සතුටින් නෑ ගමන් යන්නට ගිය දරු පවුල් වලින් ඇතැමෙකු ගමන අවසන් කළේ දුක්මුසුව බව නිරීක්ෂණය කළ හැකිය. එයට හේතුව හදිස්සියයි. නිවී සැනසිල්ලේ යා යුතු ගමන මහා කලබලකාරී එකක් කරගැනීමයි. සුළු මොහොතක ප‍්‍රමාදය ජීවිත අවදානමට පත් කරන අතර එය වාහනයේ ගමන් කරන අය පමණක් නොව මහා මාර්ගය පරිහරණය කරන සෙසු අය ද අනාරක්ෂිත කරන්නකි.

වාහන අනතුරු අවම කරගැනීමට මහත් උත්සාහයක් දරමින් සිටී. නමුත් දිනෙන් දින වැඩිවෙනවා විනා අඩුවීමක් නැත. නීතිය පමණක් නොව විකල්ප ක‍්‍රියාමාර්ග කෙරෙහි යොමුවිය යුතු තීරණාත්මක තැනකට පත්ව ඇති බව පෙනේ. ඉකුත් උත්සව කාලයේ සැලකිය යුතු කොටසක් මාර්ග අනතුරු හෙයින් තුවාල ලැබූ අතර එවැනි සිදුවීම් පාලනය කර ගත නොහැකි තැනට පත්වන්නේ නම් එය බරපතලය. උත්සව කාලයට පමණක් නොව වසරේ සෑම දිනයකට රිය අනතුරු වලක්වා ගැනීමේ උදෙසා තද විනයක් තිබිය යුතුය. මාර්ග අනතුරු වලක්වා ගැනීම පමණක් නොව වාහන අනතුරු ගැන සමාජය ඉගෙනගත යුතු පාඩම ගැන ද අලූතින් හිතන්නට අවශ්‍යය.

ශ‍්‍රී ලංකාවේ මාර්ග අනතුරු වැඩිවීමට බලපා ඇති කාරණා ගණනාවකි. අධික වාහන තදබදය පමණක් නොව මාර්ග වල තත්ත්වය නොසලකා වාහන හැසිරවීමට රියැදුරන් ගන්නා උත්සාහය ද එයට යම් ප‍්‍රමාණයකට වගකිව යුතුය. අනතුරකට පසු සිද්ධිය වූ ස්ථානයට එකතුවන පිරිස ගේ උත්සාහය රිය පදවන ලද තැනැත්තාට අඩන්තේට්ටම් කිරීමටය. එය නුසුදුසු ක‍්‍රියාවකි. නීතිය ද කරන්නේ වරදකරු සොයා දඬුවම් කිරීමට බව පැහැදිලිව පෙනේ. නමුත් කරන ලද වරද සම්බන්ධයෙන් අවබෝධයක් ජනිත කර ආකල්ප වෙනසක් ඇතිකරන්නට යම් ප‍්‍රයත්නයක් ගැනීමට සුදුසු බව යෝජනා කළ යුතුය. වාහනය පදවන විට සැලකිල්ලකින් එය කරන්නට රියැදුරන් පොළඹවන්නට එය හේතුවක් විය හැකිය.

අනතුරක් කරන ලද වාහනය පදවන ලද රියැදුරු නීතියෙන් වරදකරු කරන අතරතුර කරන ලද වරද ගැන අවබෝධයක් ඇති කරන පසුබිමක් ඇති කිරීම වැදගත්ය. එය දඬුවමට වෙනස් එකකි. වාහන අනතුරක වරදකරුවෙකු  හදිසි අනතුරු වාට්ටුවක කිසියම් කාලයක් ස්වේච්ඡාවෙන් සේවය කරන්නට නියම කළ යුතුය. එසේ කිරීමෙන් අන් කෙනෙකුගේ වේදනාව තේරුම්ගත හැකිවනු ඇත. එයින් ඇතිවන අවබෝධය මෙරට වාහන පදවන රියැදුරන් යම් ප‍්‍රමාණයකට යහපත් පුද්ගලයන් බවට පත්කරන්නට ඉඩ සැලසේ. අධිකරණයේ දී සුළු වරදකරුවන් වන අය අතරින් කොටසක් ප‍්‍රජා සේවා සඳහා යොමු කිරීම අලූත් දෙයක් නොවේ. යම් වරදක දී ප‍්‍රජා සේවයට නියම වූ විට එය ඔවුන්ගේ චරිත ශෝධනයට ද ඉවහල් වන බව ජාත්‍යන්තරයේ පවා පිළිගැනීමයි. මෙරට අධිකරණ වල දී ද, බරපතල නොවන වැරදි වලට දඬුවමක් වශයෙන් ප‍්‍රජා සේවාව නියම කරන්නේ අවබෝධය ඇති කරගන්නට පහසුවන මගක් වශයෙනි.

අනතුර කෙබඳු සහ කාගේ වරදකින් සිදුවුවත් අවසානයේ දී රෝහල්ගත වෙන්නේ රෝගියෙකි. මුහුණ දුන් අනතුරේ ස්වභාවය අනුව අවයව බිඳී, බරපතල ශල්‍යකර්ම වලට මුහුණ දී සෑහෙන කාලයක් රෝහල් ගතව සිටින්නට සිදුවෙයි. එය ඉතා වේදනාකාරී එකකි. වාහන පදවන රියැදුරන් අනතුර ගැන දන්නා බව තේරුම්ගත හැකි නමුත් රෝහලක වේදනාවෙන් පසුවෙන රෝගියෙකුගේ ස්වභාවය හොඳාකාරවම දන්නා බවක් පෙනෙන්නේ නැත. වාහන අනතුරක දී දඬුවම් ලබන රියැදුරන් රජයේ රෝහල්වල රෝගී සත්කාරක කාර්යය වෙනුවෙන් යොමු කළ යුතුය. ඒ සඳහා නීති වෙනස් කළ හැකිය. අධිකරණයෙන් නියම කරන ලද කාලය තුළ අනතුරු වලට මුහුණ පෑ රෝගීන් ඇසුරෙහි ජීවත්වන විට ජීවිතයක වටිනාකම ගැන අවබෝධය ඇතිවන අතර වාහනයක් පදවන සෑම අවස්ථාවක දීම එය අමතක නොවන අත්දැකීමක් විය හැකිය.

 

 

 

වැඩ කරන රටක්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

milinda-prashna

2016/04/20 – ලංකාදීප

ශ‍්‍රී ලංකාව ලෝක සිතියමේ කුඩා රටකි. ඉසුරු පිරි දිවයිනක් ලෙස ජාත්‍යන්තර අවධානයට ලක්ව ඇති බව සඳහන් කිරීම අවශ්‍යය. ස්වභාවික විපත් නැති ආගන්තුක සත්කාරයට කැමැති මිනිසුන් සිටින දුපතකි. සොබා සොඳුරු බවින් අනූන, සශ‍්‍රීක රටක් වශයෙන් ලෝක වාසීහු  දකිති. නමුත් ගත වූ කාලය තුළ ශ‍්‍රී ලංකාවේ ජන සමාජය පරිවර්තනයකට මුහුණ දුන්නේය. එය ආර්ථික සහ සමාජ වශයෙන් බලවත් අපහසුතා ඇති කරන ලද අතර අද ගමන් කරමින් සිටින්නේ අලූත් යුගයක් වෙත බව සඳහන් කළ යුතුය.අලූත් අවුරුද්දේ නිවාඩු දින කිහිපය අවසන් කරන්නේ අලූත් ප‍්‍රාර්ථනා සමගය. ජය සතුට සපිරේවා යැයි හැම දෙනාම සුබපතා ගන්තේ අදිටනක් ඇති කරගන්නටය. නමුත් මේ උදා වී ඇත්තේ ද ගෙවී ගිය කාලය හා සමාන යුගයකටද?

සමාජයේ අභිමතාර්ථය අලූතින් පටන් ගන්නට බව පැහැදිලිව පෙනේ. අලූත් එකමුතුවක් අපේක්ෂාවය. එකමුතුව වෙනුවෙන් සමාජ සංහිඳියාවක් ගොඩනගන්නට වෑයම් කරන අතර පාලන ව්‍යුහය වෙනුවෙන් ව්‍යවස්ථාවක් සහ ජීවනය උදෙසා අලූත් ආර්ථිකයක් සකස් කරගන්නට සූදානම් වෙමින් සිටී. පරිවර්තනයකින් තොරව අලූත් යුගයක් ඇති කරන්නට හැකියාවක් නැත.  පවතින ස්වභාවය විනිවිද දැක එහි නොයෙක් පැති සම්බන්ධව කරන සමබර විචාරයක් තුළින් නවතම යුගයක් කරා ගමන් කරන්නට සමාජයට උවමනාවක් තිබේ. එකී තත්ත්වය දකින්නට සමාජ නායකයන්ට හැකියාවක් තිබේද? අලූත් තීරණ ගෙන රට තුළ වෙනසක් ඇති කරන්නට ආත්ම ශක්තිය ඇති කරගත හැකිද?

බක් සහ වෙසක් යන මාස දෙක ශ‍්‍රී ලාංකිකයන්ට ඉතාම වැදගත් මාස දෙකකි. මෙම මාස දෙක තුළ පමණක් දින විසි තුනක නිවාඩු කාලයක් ගත කරන්නට සමාජය සූදානම්ය. ඉරිදා සෙනසුරාදා දින පමණක් නොව විශේෂිත දින වල ලැබෙන නිවාඩු ද සමග එකතුකරන විට ලැබෙන මෙම උත්තරය අනුව මාස දෙක තුළ වැඩ කරන්නේ එක මාසයක් බව තේරුම් ගැනීම අපහසු නැත. ආගමික සහ සංස්කෘතික කාරණා වෙනුවෙන් නිවාඩු අවශ්‍යය. විවේකය තිබිය යුතු යැයි නියම කරගෙන ඇත්තේ වැඩ කරන ජනතාව වෙනුවෙන්ය. නමුත් ඉලක්කයකට වැඩ කරන අතරතුර විවේකය සහ විනෝදය වැදගත් බව ස‍ඳහන් කිරීම අවශ්‍යය.

ලෝකයේ රටවල් දියුණුවෙන් දියුණුවට පත්වන්නේ වැඩ කිරිමෙන්ය. නොනැවතී, එක දිගට මහන්සියෙන් ක‍්‍රියාත්මක වීමෙන්ය.දශක තුනක් රටට පීඩා අත්පත් කර දුන් ත‍්‍රස්තවාදය පරාජය කරන්නේ නොපසුබස්නා ධෛර්යයෙන් යුතුව නිවාඩු පවා නොගෙන වෙහෙසීමේ ප‍්‍රතිඵලයක් වශයෙන්ය. එය අමතක කළ යුතු නැත. කාලය, වෙහෙස නොතැකුවා පමණක් නොව කණ්ඩායමක් වශයෙන් එකට එකතු වී බලවත් පරිශ‍්‍රමයකින් යුද බිමට ගිය සොල්දාදුවෝ රටට ඉස්පාසුව ඇති කර දුන් ආකාරයට ම වෙහෙස නොබලා අලූත් ආර්ථිකයක් ඇති කරන මාවත කරා අවතීර්ණවීම වැදගත්ය. එය කළ හැකි වන්නේ පහසුවෙන් සහ විවේකයෙන් නොවේ. වැඩියෙන් වැඩ කර වැඩිපුර නිපදවීමෙන්ය.

සියලූම දෙනා නිෂ්පාදන ආර්ථිකයෙහි කොටස්කරුවන් බවට පත්වීමෙන්ය. වැඩ කරන්නට සූදානම් වන සමාජයට ඒ සඳහා අවශ්‍ය පසුබිම සකස් කිරීම ආණ්ඩුවේ වගකීමක් වන අතර හැකි උපරිම ආකාරයෙන් සියලූම දෙනා කැපවීමෙන් වැඩ කරන රටක් බවට ශ‍්‍රී ලංකාව පත් කර ගැනීම ඉතාම වැදගත් අවශ්‍යතාවයකි. අලූත් අවුරුද්දේ නිවාඩුවෙන් පසු වැඩට යන අප සියලූ දෙනාටම අලූතින් හිතන්නට කාරණයක් තිබේ. නිවාඩු අවශ්‍ය වැඩ කරන්නට ද? නැතිනම් වැඩ කරන රටකට මේ තරමට නිවාඩු අවශ්‍යද?

 

 

අලූතෙන් පටන්ගනිමු

ප්‍රතිචාරයක් ලබාදෙන්න

milinda-prashna

2016/04/13 – ලංකාදීප

අලූත් අවුරුදු උත්සවය සංස්කෘතික එකකි. එහි නිමිත්ත සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට පැමිණීමය. නමුත් අවුරුදු උත්සවය තුළ දර්ශනයක් තිබේ. අස්වනු සරුසාර වී අටුකොටු පුරවා ගැනීමෙන් පසු ලැබෙන විවේකයේ දී ප‍්‍රිතියෙන් ගත කිරීමය. වැඩ කරන ජන කොටසට අලූත් අවුරුද්ද අලූතින් හිතන්නට, එහි අවස්ථාවක් තිබේ.  නිති පතා වෙහෙස මහන්සි වෙන සහ නොනවත්වා වැඩ කරන පිරිස දවසක් දෙකක් නිවී සැනසිල්ලේ ගත කරන වකවානුවකි.

අවුරුදු නැකැත් අනුව නොනගතය සියලූ වැඩ අත් හරින කාලයකි. අලූතින් පටන් ගැනීමට පේ වෙන නිදහස් අවකාශයකි. නැකැත් නැති හෙයින් පුණ්‍ය කටයුතු වල නිරතවීම මැනවි, යනුවෙන් නැකැත් චාරිත‍්‍රවල සඳහන් වෙයි. ආගමික කටයුතු වල නිරතවීම පමණක් මෙයින් අදහස් කරන්නේ දැයි විමසා බැලීම සුදුසුය. වසරකට වතාවක් පවුලේ සියලූ දෙනා එකතුවී අලූත් අවුරුදු ආශ්වාදයෙන් ගත කරන කාලය කළඑළි නොඑසේනම් අලූත් පිළිවෙලක් ගැන හිතන්නට වෙන් කිරීම ද වැඩදායකය.

ආර්ථික ද්‍රෘෂ්ඨි කෝණයකින් බලන විට අලූත් අවුරුද්ද තුළ නිෂ්පාදනය, ඵලදායීතාවය සහ කාර්යක්ෂමතාව සම්බන්ධ සියලූ ගුණාංග එකතු වී තිබේ. පරම්පරාවෙන් පරම්පරාවට අනුගමනය කරන සංස්කෘතික දායාද ආරක්ෂා කරන අතරතුර මතු පරපුර වෙනුවෙන් තහවුරු කිරීම සම්බන්ධව අලූතින් හිතන්නට සූදානම් වීම සුදුසුය. කලින් පරම්පරාව අලූත් අවුරුද්ද සමරන්නේ එක කන්නයක අස්වනු ගෙට ගෙන ඉදිරි කන්නයට ද, ගොවිතැන් කිරීමෙන් අනතුරුවය. එදා සිට මෙදා දක්වා ගොවැතැන් කරන ජන කොටස ජනගහනයේ සිමිත එකක් බවට පත්ව තිබේ. ගොවිතැනෙන් යැපුන පරම්පරාවේ දරුවන් අද ගොවි බිමේ නැත. දරුවන්ට එයින් උපයන දේ ප‍්‍රමාණවත් නැත. වැඩිපුර උපයන්නට නම් අලූත් කර්මාන්ත සහ සේවා අංශ වලට නැඹුරු වෙන්නට ඔවුන්ට සිදුවී ඇත. ආදායම වැඩි, ඉහළ ආදායමක් පහසුවෙන් උපයාගෙන උසස් ජීවන මට්ටමක් පවත්වාගෙන යන අපේක්ෂා සහිත නව පරපුර ගොවිපොලෙන්  නික්ම පැමිණ ඇත්තේ කොතැනකටද?

ආර්ථික අවස්ථා සොයා නගරයට පැමිණ ඇති තරුණ පෙළ නතරවී සිටින්නේ කොතැනද? අලූත් අවුරුදු උත්සව අවසානයේ නැවත රැකී රක්ෂා සදහා පිටත්ව යන විට අවධානයට යොමු කළ යුතු කාරණය එයයි.වී ගොවිතැන කන්න දෙකකි. කන්න දෙක තුළ ද වැඩ කරන දින ගණන සීමිතය. බිම සකස්කර වී වැපිරිමෙන් පසු ගොවියා කරන්නේ වගා බිම රැක බලා ගැනීම පමණකි. එම කාලය තුළ තදින් වෙහෙස වෙන්නට උවමනාවක් නැත. මෙම කාලයේ දී තවත් නිෂ්පාදන කාර්යයක නිරත වුවහොත් ගොවිතැන පාඩු එකක් නොවේ. ගොවිතැන පාඩු බව කියන අතරතුර අද තරුණන් ගේ උත්සාහය ජිවත් වෙන්නට ත‍්‍රීවිලර් එකක් මිල දී ගැනීමය. ගොවිතැනෙහි නිරත පිරිස සමස්ථ ජනගහනයම නොවන ආකාරයට ම ත‍්‍රීවිලර් රස්සාවෙන් ජීවත්වන්නට අරමුණු කරන තරුණ පිරිස ද සියලූම දෙනා නොවේ. නමුත් වත්මන් ආර්ථිකය තුළ මෙම අංශ දෙකම සැලකිය යුතු කොටසකි.

ගොවිතැන සම්පූර්ණයෙන් පැය ගණන යොදවන එකක් නොවන ආකාරයට ත‍්‍රීවලර් එකකින් කුලී ධාවනය ද දවස පුරා වැඩ කරන එකක් නොවේ. අවුරුදු නොනගතය තුළ අවධානය යොමු කළ යුතු අලූත් දෙයක් ගැනය. ගොවිතැන පමණක් නොව එයින් නික්ම තී‍්‍රවිලර් හන්දියට පැමිණ ඇති තරුණ පෙළ මෙරට ආර්ථිකයේ බලවත් සාධකයක් බවට පත් කළ හැක්කේ කෙසේද? තරුණ ජවය ඇති ශක්තිමත්ම කොටස ත‍්‍රීවිලර් වෘත්තියකට සීමා විය යුතුද?සෞභාග්‍ය ඇත්තේ අලූතින් ඒ ගැන හිතන ආකාරය අනුවය. නොනැවතී වැඩ කරන, වැඩ කරන ප‍්‍රමාණය තුළින් අත් විශාල නිෂ්පාදනයක් කරන සහ ඒවා වෙළඳ පොළට ඉදිරිපත් කරන සමාජය ඉදිරියෙන් ඉදිරියට පැමිණ තිබේ. ජාත්‍යන්තරය තුළ දියුණු රටවල් අතරට පැමිණ ඇති සමාජ දෙස බලන විට එම රටවල පුරවැසියන් වැඩ කරන ආකාරය හා ආකල්ප අධ්‍යයනය කරන්නට අවශ්‍යය. අලූත් අවුරුද්දට පසු  අලූත් යුගයක් වෙනුවෙන් ආකල්ප වෙනස් කරගත යුතුය.

 

 

අලූත් අවුරුද්ද

ප්‍රතිචාරයක් ලබාදෙන්න

milinda-prashna

2016/04/06 – ලංකාදීප

අලූත් අවුරුද්ද සංස්කෘතික උත්සවයකි. සෞභාග්‍යය එහි ඉතාම වැදගත් කාරණාවයි. අස්වැන්න ලබා ගැනීමෙන් පසු අටු කොටු පුරවා ගන්නා පුරවැසියෝ තෘප්තියෙන් පසුවෙති. නැවත ගොවි බිම් අස්වද්දන අතර හිත් සතුටින් ජීවත්වන ඔවුන්ට සූර්යයා ගේ ගමන සැලකිය යුතු කාරණාවකි. මීන රාශියෙන් මේෂ රාශියට සංක‍්‍රමණය වන අවස්ථාව වැදගත් එකකි. ජන ජීවිතය අලූතින් පටන් ගන්නට පමණක් නොව නැවුම් ආකාරයකින් අලූත් ආරම්භයක් සඳහා භාග්‍යවන්ත මාසය පසුබිම සකස් කරයි.

විමර්ශණශීලීව බලන විට අවුරුදු කාල සිමාව අවුරුදු උදාව තුළ කළමණාකරනය තිබේ. එය ඉතාම වැදගත් සංකල්පයකි. නැකැත සහ  චාරිත‍්‍ර වාරිත‍්‍ර මගින් අනාවරණය කරන්නේ කණ්ඩායම් හැඟීමයි. පිළිවෙලකට අනුගතවීම තුළ සුවිශේෂී ආකාරයකට දක්වන්නේ තවත් අවුරුද්දක් සැලසුම් කරන අන්දමය.

එවැනි ප‍්‍රවේශයක් අධ්‍යයනය කළ හැකි වකවානුවක තවත් සිංහල සහ දෙමල අලූත් අවුරුද්දක් උදා වෙමින් තිබේ. නමුත් මෙකල පරිසරය වියලිය. කොහා ගේ සුපුරුදු නාදය ඇහෙන්නේ වියලි සුළඟ තුළ දැවටෙමින්ය. එසේ තිබිය දී නගරයේ සීත කාමරවල සිට ස්වකීය ශ‍්‍රාවකයන්ට ලෙන්ගතුව කතා කරන ගුවන් විදුලි නාලිකා වල කොහාගේ නාදය ඉතා ප‍්‍රාණවත්ය. රූපවාහිනී ජාල තුළ සශ‍්‍රීක පක්ෂියෙකු වශයෙන් කොහා සිය නාදය ඉදිරිපත් කරන්නේ වර්ණවත් තිරයකය. එය සුමුදු, මනමෝහණීය  පණිවුඩයකි. අවුරුදු සම්ප‍්‍රාප්තිය ගැන එම සන්නිවේදනය පටන් ගත්තේ බක් මාසය උදා වෙන්නටත් කලින්ය.

තොරතුරු සන්නිවේදන ජාලා අවුරුද්ද ගැන කතා කරන්නේ සංස්කෘතික අනන්‍යතාවයක් වශයෙන් නොවේ. ව්‍යාපාරික ප‍්‍රජාව ඉලක්ක කරන පිරිවැටුම සාක්ෂාත් කරදෙන්නට අත් උදවු දෙන ව්‍යුහයක් වශයෙනි. අවුරුදු සමරන්නට සූදානම් වන ජනතාවට මිල දී ගත හැකි දේ පමණක් නොව හීනයෙන් වත් මිලදී ගත හැකියැයි හිතන්නට නොහැකි දේ පවා නිවසටම ගෙනැවිත් අළෙවිකරන්නට මෙම වානිජ ප‍්‍රවාහය ඉත සිතින් සූදානම්ය. මිල දී ගන්නට ධනය ඇති ප‍්‍රජාව සහ ඒවා පරිභෝජනය කරන්නට වත්කමක් ඇති පිරිස එයින් සතුටු වෙති. නගරයෙන් ගමට යන පිරිස හැකිතාක් දේ එකතු කරගෙන අතර ඒ වෙනුවෙන් විශාල පිරිවැයක් දරයි. අප‍්‍රියෙල් මාසය යනු ලබාගැනීමට නොහැකි පිරිස ණය වී තැවෙන කාල වකවානුවකි. ව්‍යාපාරික අංශ තමන්ගේ ලාභ තර කරගන්නට අවස්ථාව උදා කරගන්නා සමයකි.

අවුරුදු දින දෙක තුළ අති විශාල වෙළඳාමක් සිදුවෙයි. ඇඳුම්, එලවලූ, පලතුරු, රස කැවිලි, මස් මාලූ සහ මත් පැන් යනා දී වශයෙන් ඒවා අතරින් සමහරක් නම් කරන්නට හැකියාවක් තිබේ. සාමාන්‍යයෙන් නිවෙසකට මිල දී ගන්නා ප‍්‍රමාණය මෙන් දෙතුන් ගුණයක් මිල දී ගන්නට ජනතාව පෙළැඹෙති. එවැනි ප‍්‍රවේශයකට අවතීර්ණ වෙන්නේ අත ඇති ධනයෙන් පමණක් නොවේ. ඉදිරි මාස ගණන තුළ ජීවත් වෙන්නට ලැබෙන ආදායමෙන් කොටසක් ණය වශයෙන් ලබා ගෙන බව සඳහන් කළ යුතුව තිබේ. එවැනි මිල දී ගැනීමක් කරන්නේ පවුලේ පරිභෝජනය වෙනුවෙන් පමණක් නොවේ. අවුරුද්දට නැගම් එන හිත මිතුරන් ඥාතීන් සලකා බලමින්ය.

අවුරුද්දට නෑගම් යන සෑම නිවෙසකම කෑම මේසය එකම ආකාරයේ ආහාර පාන වලින් පොහොසත්ය තෙල්, සීනි බහුල ආහාර පමණක් නොව මත් පැන්, දුම් වැටි යනාදී වශයෙන් ද නරක දේ දෙන්නේ සතුටින්, ප‍්‍රමෝදයෙන්ය. ඒවා අනුභව කරන්නට පොළඹවන අතර නොකා නොබී ගැලවෙන්නට නම් කිසිම හැකියාවක් නැත.

අවුරුදු සමරන සෑම නිවෙසකම අත ඇති සියලූම දේ එකතු කර මිල දී ගන්නා දේ අවුරුදු අවසන් වන විට ඉතිරි වෙයි. පරිභෝජනය කරන්නට නොහැකි සේ නරක් වී ඉවත දමන්නට සිදුවෙයි. කැවුම් කෙසෙල් වල සිට බත් මාලූ පිණි දක්වා දේ මෙසේ ඉවතට හැලේ. අවුරුදු සතුට දින දෙක තුනකින් අවසන් වන විට කොහා ගේ නාදය වැළපීමක් වන අතර එතෙක් අවුරුද්ද ගැන උද්දාමයෙන් සිටි මාධ්‍ය නාලිකා වෙසක් මාසය උත්කර්ශවත් කරන්නට සූදානම් වෙයි.

අලූත් අවුරුද්දේ අර්ථය හඳුනාගන්නට අවශ්‍යය. අවුරුදු අසිරිය සැනසිල්ලෙන් භුක්ති විඳින්නට සූදානමක් තිබිය යුතුය. අවසානයේ දී අප සියලූම දෙනාට අවුරුද්ද කළමණාකරණය කරගන්නට හැකියාවක් තිබීම වැදගත්ය. දරු පවුලට තමන්ගේ ආර්ථිකය සහ උවමනාව අනුව අවුරුදු සමරන්නට හැකියාව තිබේනම් සහ එය ඵලදායී ආකාරයකට කළහැකි නම් අලූත් අවුරුද්ද තුළ පැවතිය යුතු දර්ශනය එයයි.  අලූත් අවුරුද්දට සූදානම් වන අප සියලූම දෙනාට අවුරුද්දට කලින් මෙම කාරණා ගැන අවධානය යොමු කරන්නට හැකිනම් වැදගත්ය. වානිජ සමාජය තුළ අවුරුද්ද සරල එකක් බවට පත්කරගන්නේ කෙසේද?