ලබන අවුරුද්දේ අලූතින් හිතන්න

ප්‍රතිචාරයක් ලබාදෙන්න

milinda-prashna

2016/12/28 – ලංකාදීප

අලූත් අවුරුද්දක් උදා වෙයි. දින ගනින්නේ නව වසර එළැඹෙන තෙක්ය. අවුරුද්ද අලූත් නමුත් අභියෝග වෙනස් නොවෙන බව පැහැදිලිය. දේශපාලන, ආර්ථික, සමාජ සහ පාරිසරික ගැටළු එකිනෙක පරයා ඉදිරියට පැමිණෙමින් තිබේ. ජාත්‍යන්තර ප‍්‍රවාහය තුළ දේශපාලනයෙහි තියුණු පරිවර්තන පවතී. ආර්ථිකය සංකීර්ණය. සමාජ විෂමතා ගැන අවධානය යොමු වී තිබේ. මෙකී පසුබිම තුළ පරිසර ගැටළු කෙරෙහි ඉතාම පුළුල් අවධානයක් පවතින බව නිරීක්ෂණය කළ හැකිය. මෙම තත්ත්වය හමුවේ ශ‍්‍රී ලංකාවේ අභියෝග, සැලසුම් සහ තීරණ ගැනීමේ ක‍්‍රියාවලිය ලෙහෙසි එකක් වෙන්නට ඉඩක් නැත.

මානව සංහතිය කෘෂි, කාර්මික සහ සේවා යුග පසුකර තාක්ෂණික යුගයට ප‍්‍රවේශ වී සිටී. කෘෂි සහ කර්මාන්ත පරිච්ජේද පසු කරන්නට සියවස් ගණන් වැය කරන ලද සංහතිකය, තාක්ෂණික යුගයේ වේගවත් වෙනස්කම් වෙනුවෙන් වැය කර ඇත්තේ සුළු කාල පරිච්ජේදයකි. මෙකල සන්නිවේදනය වේගවත් බව පමණක් නොව ජීවත්වීම සඳහා තාක්ෂණය උපයෝගී කරගන්නා තරම අන් කවර බලයකට හෝ සමාන කළ නොහැකි තරමට ප‍්‍රබල වී තිබේ. මිනිසුන්ගේ අපේක්ෂා, තීරණ ගැනීම හා පැවැත්ම සහමුලින්ම තාක්ෂණය මගින් පාලනය කරන තරමට එය බලවත්ය. එහි ප‍්‍රතිඵලය වී ඇත්තේ කුමක්ද? මෙයින් සියවස් දෙක තුනකට කලින් ලෝකයේ පවතින අර්බුද නොදැන ජීවත් වූ සමාජයක් අද ජීවත් වෙන්නේ පවතින අර්බුද ගැන අවබෝධයක් ඇතිවය. නොදන්නා සමාජයක සිට හොදින් දන්නා සමාජයක ජීවත්වන මිනිසුන් තෙක් වෙනස්වූවන් වශයෙන් පවතින තත්ත්වය දෙස දැනුවත්ව ක‍්‍රියාකරමින් සිටී. ශ‍්‍රී ලාංකිකයන්ට ද එය වලංගුය.

උදා වෙන 2017 වසරේ කාලගුණය එපමණ හොඳ නැති බව දැනට අනාවරණයවී තිබේ. ජනගහනය වැඩි වනු ඇති අතර ආහාර සහ ජල අවශ්‍යතා සපුරා ගැනීම ජනගහනයේ යම් කොටසකට දුෂ්කර වනු නිසැකය. දිළිදුබව තීරණය කරන මිණුම් වෙනස් වෙන්නට ඉඩකඩ ඇත. දැනට හොද ආහාර සහ හොඳ ජල පහසුකම් ඇති ජන කොටසක් ඉතා ඉක්මනින් ඒවා පරිහරණය දුෂ්කර වන තැනට පත්වුවහොත් මතුවන අපහසුතා තේරුම් ගැනීම වැදගත්ය. නිෂ්පාදන සාධක කාලගුණය මත තීරණයවනු ඇත. බලශක්ති හා සේවා පහසුකම් බලගැන්වීම හමුවේ පරිසර සාධකය තීරණාත්මකය. තාක්ෂණය කොපමණ වේගයේ හා ජන ජීවිතයට සියුම් බලපෑමක් කරනු ඇති නමුත් ස්වභාවික පාරිසරික වෙනස්කම් හමුවේ එහි බලය නොවටිනා එකක් වෙන්නට ඉඩ තිබේ.

ශ‍්‍රී ලංකාව ඉදිරි වසර කිහිපය තුළ රැකී රක්ෂා උත්පාදනයේ දී ප‍්‍රවේසම් වෙන්නට අවශ්‍යය. නිෂ්පාදනය හා අළෙවිය ගැන අවබෝධයකින් ක‍්‍රියා කළ යුතුය. රට වැසි ජනගහනය හා ඔවුන්ගේ අධ්‍යාපන, සෞඛ්‍ය, ප‍්‍රවාහන හා සෙසු සම්පූර්ණ අවශ්‍යතා වෙනුවෙන් අදට වඩා ප‍්‍රවේශයකට ගමන් කරන්නට සිදුවිය හැකිය. ඉඩම් පරිහරණය සහ එය ප‍්‍රයෝජනයට ගැනීම හා එයින් කරන නිෂ්පාදනය කෙරෙහි ඉතාම වැඩි සැලකිල්ලකින් ක‍්‍රියා කළ යුතු බව පැහැදිලිව පෙනේ. ස්වභාවිත සම්පත් උපයෝගී කරගැනීමේ දී, නිෂ්පාදනයේදී හා බෙදාහැරිමේදී ඵලදායීතාව හා කාර්යක්ෂමතාව ගැන අවධානය යොමු නොකළහොත් දරුණු පීඩනයක් ඇතිවීම වැලැක්විය නොහැකිය.

අලූත් අවුරුද්ද යන නව්‍ය සංකල්පයෙන් යුතුව අපේක්ෂා සහගත නමුත් මෙම අපේක්ෂා සාක්ෂාත් කරගන්නට නම් සංවිධානය විය යුතු තරම ඉතා වැදගත් කාරණයකි. ආණ්ඩුව, ප‍්‍රතිපත්ති සම්පාදකයන් පමණක් නොව සියළු ජනී ජනයා වගකීමක් ඇතිව ජීවත් විය යුතු බව නොරහසකි. දැනුම්වත් සමාජයක් නමුත් පවතින අභියෝග කෙරෙහි සැලකිල්ලක් ඇතිව ක‍්‍රියා කරන බවක් වත්මනෙහි නොපෙනේ. එය දුබලතාවයකි. පරිවර්තනය ආරම්භ කරන්නේ කොතැනින්ද? අලූත් අවුරුද් අලූත් ආකල්ප ඇතිව ආරම්භ කරන්නට සූදානම් විය යුතුය. ජන සමාජය ස්ථාවර වෙන්නේ එතැනින්ය.

 

 

සිංගප්පූරුවේ වචන තුනක රහස

ප්‍රතිචාරයක් ලබාදෙන්න

milinda-prashna

2016/12/21 – ලංකාදීප

සිංගප්පූරුව ලෝකයේ වඩා සාර්ථක සමාජය බවට පත්වන්නේ ඇයි? නොබෝදා එරට  රාජ්‍ය ප‍්‍රතිපත්ති සම්බන්ධ ලී ක්වාන් යූ අධ්‍යයන විද්‍යාලයේ ප‍්‍රධානී විශේෂ ලිපියක් ලියමින් ජාත්‍යන්තරයෙන් ප‍්‍රශ්න කළේය. රටේ සාර්ථකත්වයට හේතුවූයේ විශිෂ්ඨ නායකත්වය යැයි කියන ඔහු එය ළඟා කරගත්තේ කෙසේද යන්න රහසක් බව කියා සිටී. රහස හෙළි කරන අතර එය කරුණු තුනකින් සමන්විත උත්තරයකි. කරුණු තුනක් සඳහන් කරන හෙතෙම උද්දාමයෙන් කියන්නේ මානව වංශ ඉතිහාසය තුළ සාර්ථකම සමාජය සිංගප්පූරුව බවය.

කෙටියෙන් දක්වතොත්, ‘හැකියාව අනුව තැන’,  ‘ප‍්‍රායෝගික තීරණ’ සහ ‘අවංක බව’ එම කරුණු තුන බව සඳහන්ය. වැදගත්කමක් ඇතැයි වහා අවබෝධ කරගන්නට අපහසු මෙම සරල වචන තුන කුඩා රටක්, සාර්ථකත්වයෙන් දැවැන්ත රාජ්‍යයක් බවට පත් කර තිබේ. තේරුම් ගත යුතු බරසාර කතාවක් වචන තුනකින් කියන්නේ කෙසේද? හිතන්නට අවශ්‍යය.

මැලේසියාව සිංගප්පූරුව තම භාරයෙන් අත් හරින්නේ 1965 අවුරුද්දේය. ඒ වන විට ඇමරිකානු ඩොලර් 500 ක ඒක පුද්ගල ආදායම් මටට්මක සිටි එරට අද ඒක පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 55,000 කි. සියයට තුන් දහස් හත්සියයක වර්ධනයක් වන අතර ලෝකයේ  ඕනෑම රටකට වඩා යහපත් තත්ත්වයකි. ආහාර, නිවාස, සෞඛ්‍ය, අධ්‍යාපනය හා රැකීරක්ෂා යන කරුණු වලින් ප‍්‍රශස්ථ මට්ටමකය.

මෙම පරිවර්තනයට පදනම් වන පළමු කරුණ පුරවැසියන්ට හැකියාව හා දක්ෂතාවය අනුව තැන ලැබීමයි. එරට  ඕනෑම කාරණයක දී ධනය හෝ බලය බලපාන්නේ නැත. දේශපාලන හෝ නිලධාරී දැන හැදුනුම්කම් ප‍්‍රයෝජනවත් නොවේ. දක්ෂයන් සුදුසු තැන් වලට පත්වන විට සාධාරණ අවස්ථා, හොඳම ඵලදායීතාව සහ උපරිම කාර්යක්ෂමතාව එකට එකතු වෙයි. දෙවනුව ප‍්‍රයෝගික තීරණ යනුවෙන් සඳහන් කරන්නේ තවත් වැදගත් පැත්තකි. සිංගප්පූරුව අලූත් දේ වෙනුවෙන් පර්යේෂණ කරමින් ඉන්නේ නැත. ලෝකයේ වෙනත් රටක සාර්ථක වූ ක‍්‍රම රටට ගැලපෙන පරිදි සකස්කරගෙන ක‍්‍රියාත්මක කරයි. තෙවනුව අවංක භාවයයි. එහි දුෂණ වංචා හෝ අක‍්‍රමිකතා වලට ඉඩ නැත. තද නීති තිබේ. ඉහළ සිට පහලටම සියළු නිලධාරීන් හෝ පුරවැසියන්ට බලපාන්නේ එකම නීතියකි. එය රටේ අවංක බව තහවුරු කරන්නට හේතු වී තිබේ. සංවර්ධනය වෙමින් පවතින රටකට මුහුණපාන්නට අමාරුම දේ දුෂණයයි. සිංගප්පූරුව තද නීති පනවා අකුරටම ක‍්‍රියාවට නගන විට, එය සංවර්ධනයට බාධාවක් වූයේ නැති බව මෙම අනාවරණය හෙළිදරව් කරයි.

දියුණු වන රටකට මෙම පාඩම ඉතාම වැදගත්ය. තමන් දන්නා විශ්වාසනීය පුද්ගලයන් පාලනට නතුකරගෙන ඉදිරියට යන්නට හැකිබව හිතන සහ තමන්ගේම ක‍්‍රමයක් එයට උපයෝගී කරගත යුතුයැයි හිතන සහ දියුණුවන විට සිදුවන දුෂණ හෝ වංචා නොවැලැක්විය හැකියැයි සිතන සමාජයකට මෙම වචන තුන කදිම ආදර්ශයකි.

සිංගප්පූරුව නිදහසක් නැති, ප‍්‍රජාතන්ත‍්‍රවාදය අඩු රටක් සේ කෙරෙන විවේචනයට ද ලී ක්වාන් යූ අධ්‍යයන විද්‍යාලයේ ප‍්‍රධානියා උත්තර දී තිබේ. නිදහස් ගමන් බලපත‍්‍ර හිමි,  ඕනෑම රටකට යන්නට බාධාවක් නැති පුරවැසියන් මෙම රට නුසුදුසු තැනක් නම් මෙතැනින් පලා නොයන්නේ මන්ද? හෙතෙම ප‍්‍රශ්න කරයි. අනෙක් අතට බටහිර මාධ්‍ය සිංගප්පූරුවේ ක‍්‍රමය එක්තරා ආකාරයකට විවේචනය කරන බව ඔහු පෙන්වා  දී ඇත. නමුත්  ඕනෑම ජාත්‍යන්තර දර්ශකයක් කියන්නේ සිංගප්පූරුව ජීවත් වෙන්නට සුදුසුම තැනක් සහ ආර්ථික සහ සමාජ නිදහස අතින් ඉහළම ශ්‍රේණිගත කිරීමක් පවතින බවය. දියුණු සිංගප්පූරුවට හිමි අනන්‍යතාවය එය බව ඉතාමත් පැහැදිලි කාරණයක් යැයි මෙයින් පෙන්වා දී තිබේ.

ලෝකයේ නොයෙක් රටවල් සිංගප්පූරුව ආදර්ශයට ගෙන ඉදිරියට එන්නට සූදානම්ය. එරට තීරණ අධ්‍යයනය කර ඒවා තමන්ගේ සැලසුම් වලට සමපාත කරගන්නට කැමැතිය. නමුත් හෙළිදරව් කර ඇති  වචන තුනක රහස අනුව තීරණ ගන්නට සූදානම් ද?

 

 

පොළොන්නරුවේ බෞද්ධ ප‍්‍රබෝධය

ප්‍රතිචාරයක් ලබාදෙන්න

milinda-prashna

2016/12/14 – ලංකාදීප

පොළොන්නරුව පෞරාණික නගරයකි. යුනෙස්කෝ සංවිධානය ලෝක උරුම නගරයක් සේ නම් කර තිබේ. මෙරට ඉතිහාසයට අනුව අනුරාධපුර රාජධානියට පසු පොළොන්නරු යුගය බිහිවෙයි. පළමුවැනි විජයබාහු රජු පොළොන්රුව සිය රාජධානිය සේ තෝරා ගන්නේ චෝල ආක‍්‍රමණිකයන් පළවා හැරීමෙන් පසුවය. රාජධානියේ සශ‍්‍රික අවධිය සේ සැලකෙන්නේ මහා පාරාක‍්‍රමබාහු පාලන සමයයි. අහසින් වැයෙන එක දිය බිඳක් හෝ  ප‍්‍රයෝජනයට නොගෙන මහා සාගරයට යව්ට නොදෙන බව ප‍්‍රකාශ කර සමුදුර හා සමාන මහා වැව් බඳවා කෘෂිකර්මය නංවන්නට පරාක‍්‍රමබාහු රජතුමාට දර්ශනයක් තිබී ඇත. නගරය ජාතික ආගමික සහ කෘෂිකාර්මික වශයෙන් දියුණු කරන ලද බව ඓතිහාසික වාර්තා දක්වයි.

රාජධානිය සියවස් දෙකකට පමණ සීමා වී ඇත. මහා වංශයට අනුව පොළොන්නරුව රාජධානිය බිඳ වැටෙන්නට හේතු කිහිපයකි. මෙරට රාජ්‍යත්වයේ ස්ථාවර භාවය නොතිබීම එකකි. වැදගත්ම කරුණක් වූයේ කාලිංග මාඝ ආක‍්‍රමණයයි. මහා වංශය සඳහන් කරන පරිදි ‘‘ආක‍්‍රමණිකයෝ මිනිසුන් බැද දමා වධ කොට ධනය පැහැරගෙන දිළින්දන් කළහ. ප‍්‍රතිමා බිඳ හෙලූහ. චෛත්‍ය විනාශ කළහ. විහාර කොල්ල කෑහ.’’ යනුවෙන් දැක්වෙයි. එහිම තවත් සඳහන් වන්නේ ‘‘පීඩාවට පත් භික්ෂූන් ඇතුළු සෙසු ජනතාව ආරක්ෂාව පතා රුහුණට, මලය රටට හෝ මායා රටට සංක‍්‍රමණය’’ වූ බවය.

මෙරට බෞද්ධ ජනතාවගේ ගෞරවයට පාත‍්‍රවන දන්ත ධාතුන් වහන්සේ වැඩමවා එය මහනුවර වඩා හිමිවන අතර අද වැනි උදුවප් පොහොය දිනයක සිදුවූ ජය ශ‍්‍රී මහා බෝධිය වැඩමවා අනුරාධපුරයේ රෝපණය කෙරෙති. පොළාන්නරුව ආක‍්‍රමණයෙන් රටේ වෙනත් ප‍්‍රදේශ කරා පැමිණි ජනී ජනයාට එයින් පසු කාලයේ දී පොළොන්නරුව නගරය ඉතා දුර බැහැර වෙන්නට ඇත. පොළොන්නරුව ගල් විහාරය ඇතුළු සොළොස්මස්ථානය ගැන අවධානය අඩුවෙන්නට බලපාන ලද බව උපකල්පනය කරන්නට හැකිය.

පොළොන්නරුව ලෝක අවධානය දිනා ගෙන තිබේ. ලෝක උරුමයක් සේ නම් කරන්නේ එහෙයින්ය. විවිධ සංරක්ෂණ ව්‍යාපෘති ක‍්‍රියාත්මක කරමින් එහි ඇති ඓතිහාසික ස්මාරක මතු පරපුර වෙනුවෙන් රැකගන්නට ප‍්‍රයත්න දරන්නේ ද එසේ හෙයින් බව තේරුම් ගැනීම අපහසු නැත.

ගමනාගමනය වඩා පහසු මෙකල ලෝකයේ නන් දෙසින් සංචාරකයෝ පොළොන්නරුව සොයා එති. අන්තර්ජාලය පොළොන්නරුව ගැන සෑහෙන තොරතුරු ප‍්‍රමාණයක් සන්නිවේදනය කරයි. මෙරට බැතිමතුන් ද දිවයිනේ නොයෙක් තැන සැරිසරමින් ආගමික සහ සංස්කෘතික අනන්‍යතාව අත්විඳින බව නිරීක්ෂණය කළ හැකිය. පෞරාණික නගරයක් පමණක් නොව එහි ඇති බොදුනු ලක්ෂණ ද ආරක්ෂා කර රාජ්‍ය අනුග‍්‍රහයෙන් නගා සිටුවීම සුදුසුය.

පොළොන්නරුව සොළාස්මස්ථාන භූමි භාගය පූජා නගරයක් සේ සංවර්ධනය  කරන්නට අවශ්‍යය. එහි ජීවත් වූ මුල් පරම්පරාවේ ජන කොටස් උරුමය අත්හැරියේ කැමැත්තකින් නොවේ. කාලිංග මාඝ ආක‍්‍රමණයේ දී අග නගරය අත්හැර දමා රටේ වෙනත් පලාත් වලට ගිය පිරිස අතර මෙරට සියළුම දෙනාගේ අක් මුල් විහිදී ඇති බව නිසැකය. තමන්ගේ පරපුරේ මූලාරම්භය ගැන හිතන්නටත්, අගනගරයේ සොළොස්මස්ථාන පෙදෙස නගා සිටුවා පූජා නගරයක් කිරීමත් වත්මන් පරපුර සතු යුතුකමකි.

පොළොන්නරු යුගයේ අසමාන නිර්මාණ වන වෛජයන්ත ප‍්‍රාසාදය, කලා වැව ගල් විහාරය රටේ විශිෂ්ඨත්වය දක්වන සංකේතයන්ය. බොදුනු පමණක් නොව සොලී ආක‍්‍රමණයේ දී එහි ඇති කරන ලද හින්දු අනන්‍යතාවය ද එහි තිබෙන බව සඳහන් කරන්නට අවශ්‍යය. එයින් කියන්නේ පොළොන්නරුව සංහිඳියාවේ භූමියක් සේ පෝෂණය කරන්නට ද ඇති සුදුසුකමකි. ජාත්‍යන්තර වෙසක් උත්සවය ලබන වසරේ පැවැත්වෙන්නේ ශ‍්‍රී ලංකාවේදීය. මෙවැනි උත්සව පවත්වන විශේෂිත අංග මෙරට බොදුනු අනන්‍යතාව පුනර්ජීවනය කළ හැකි පොළොන්නරුව කේන්ද්‍ර කරගෙන පවත්වා එය පූජා නගරයක් සේ නම් කිරීම කාලෝචිතය.

 

 

 

 

වාහන නීති වෙනස් කරමුද?

ප්‍රතිචාරයක් ලබාදෙන්න

milinda-prashna

2016/12/07 – ලංකාදීප

රථ වාහන වැරදි වෙනුවෙන් නියම කරන ස්ථානීය දඩ සංශෝධන යෝජනාව රට තුළ විශාල ආන්දෝලනයක් ඇති කළේය. දඩ මුදල වැඩි කරන තීරණයට විරුද්ධ මතයක් නැගී, එය වර්ජනයක් දක්වා දුර දිග ගියේය. වාහන දඩ වැඩි කරන තීරණයට රියැදුරන් එකඟ නැත. විශේෂයෙන් පුද්ගලික බස් සහ ත‍්‍රීවිලර් රියැදුරන් එහි පෙරමුණේ සිටිති. නිතර වැරදි කරන, වැඩිපුරම දඩ ගෙවන කණ්ඩායම ඔවුන් නිසා විය හැකිය. නමුත් තද නීති පනවා මහ පාරේ විනයක් ඇති කරනවාට අකමැති අය විරලය. මාර්ග නීති වලට ගරු කරමින් වාහන පදවන  සහ එහෙයින් ම අනතුරු අඩු රටක් හැදෙනවා නම් සියළුම දෙනා එකඟ බව නිසැකය.

නමුත් රටට ප‍්‍රශ්නයක් තිබේ. දඩ ගෙවන්නේ රටේ වරප‍්‍රසාද නැති එක කොටස පිරිසක් පමණක්ද? ජනතාව අහන්නේ එයයි. පෙර සහ පසු ගමන් රථ සහිතව මැති ඇමැතිවරු ගමන් කරන විට මාර්ග නීති එපමණ සලකන්නේ නැත. මාර්ග සංඥා නොලකා ගමන් කරන දේශපාලනඥයන් ගේ නිල රථ නතර කර දඩ නියම කරන්නට පොලිසිය පෙළැඹෙන්නේ නැත. බොහෝ අවස්ථාවල ආරක්ෂක අංශයේ වාහන පදවන්නේ සෙසු වාහන ගැන සැලකිල්ලක් නැතිවය. පොලිස් සහ ත‍්‍රිවිධ හමුදා නිල අංක සහිත වාහන පාරේ තදබදය ඇති වේලාවේ විරුද්ධ පැත්තෙන් ගමන් කරන විට සාමාන්‍ය පුරවැසියන් ඉවසන්නේ වෙන යමක් කළ නොහැකි හෙයින්ය. මැති ඇමැතිවරු හා ආරක්ෂක අංශ මෙලෙස හැසිරෙන විට මහ පාරේ නීතිය සාමාන්‍ය අහිංසක පුරවැසියන්ට පමණක්ද? නීති හදන්නට පාර්ලිමේන්තුවට යන පිරිස නීතියට ගරු කළ යුතුය. නීතිය ආරක්ෂා කරන්නේ දැයි අවධානයෙන් ඉන්නා ආරක්ෂක නිලධාරීහු නීතියට අවනත විය යුතුය. මෙම දෙකොට්ඨාශය මාහා මාර්ගයේ නීතිය නොසලකා ක‍්‍රියා කරන්නේ නම් පොදු ජනතාවට වැඩි දඩ නියම කර පාරේ විනය හදන්නට උත්සාහ කිරීම යුක්ති සහගත නැත.

ගිලන් රථයක සයිරන් හඞ ඇහෙන විට පාර ඉඩ දෙන වාහන රියැදුරන් මැති ඇමැති නිල රථ වලට ඉඩදෙන්නේ නැත. සාමාන්‍ය වාහන බලයෙන් නතර කර දේශපාලනඥයන් ගේ රිය පෙළ යන විට ජනතාව දොස් කියන්නට පටන් ගෙන තිබේ. නිල රියෙහි යන එන වරප‍්‍රසාද ලත් පිරිස එය නොදන්නා නමුත් ජනතාව තමන්ට දොස් පවරන බව දේශපාලනඥයන් දැනගත යුතුය. ජනතා සේවයට පත් කරගන්නා මහජන නියෝජිතයන් ජනතාවගේ ගරුත්වයට හේතුවන සේ නොහැසිරෙන විට ජනතා විරෝධය වර්ධනය වන අතර එය රටට අහිතකර ප‍්‍රතිඵල ඇතිකරන බව තේරුම් ගැනීම අවශ්‍යය.

නීතිය සර්ව සාධාරණ විය යුතුය. බලය ඇති පිරිසට වරප‍්‍රසාද හිමි වන අතරවාරයේ බලය නැති අහිංසක ජනතාව සියළු පීඩා විඳින්නන් විය යුතු නැත. යතුරු පැදියකින් ත‍්‍රීවිලර් එකකින් ගමන් කරන්නේ පොදු ජනතාව බව තේරුම් ගත යුතුය. පවතින පසබිම මත පුද්ගලික බස් රථයට දඩ නියම කළ හැකි නමුත් එය ගෙවන්නේ එහි  ගමන් කරන පොදු ජනතාව විනා බස් අයිතිකරුවන් නොවේ.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක ජනතාව සිය නියෝජිතයන් තෝරා ගන්නේ රට පාලනය කරන්නටය. මෙරට දේශපාලනඥයන් හැසිරෙන අන්දම ගැන ජනතාවට විනිශ්චයක් තිබේ. මැති ඇමැතිවරු විශාල වරප‍්‍රසාද ලබන අතර තමන් එයට වන්දි ගෙවන බව දුප්පත් ජනතාව හොඳින් දන්නා කාරණයකි. මහජන නියෝජිතයන්ගේ සුපිරි වාහන පරිහරණය ගැන විශාල ආන්දෝලනයක් ඇත. රටට සේවය කරන්නට යන කණ්ඩායම වරප‍්‍රසාද අසීමිතව භුක්ති විඳින අතර එය නරක ආදර්ශයකි. සරල වාහනයකින් රටේ නීතියට අනුව මහ පාරේ යන මහජන නියෝජිතයෙකු වෙන්නට බැරි සහ රජයේ ආරක්ෂක නිලධාරියෙකු වශයෙන් මහ පාරේ නීති අනුගමනය කරන්නට නොහැකි වෙලාවක දඩ මුදල් වැඩි කරන්නට කරන ලද යෝජනා නොසන්සුන්තාවය ඇති කරන්නට බලපෑ බව සඳහන් කරන්නට අවශ්‍යය.