නාගරීකරණය

ප්‍රතිචාරයක් ලබාදෙන්න

milinda-prashna

2017/05/31 – ලංකාදීප

කැළි කසල ගැටලුව කෙරෙහි පැවැති සමස්ත අවධානය නැවතත් ගිලිහෙමින් පවතින බව නිරික්ෂණය කළ හැකිය. රට තුල නොයෙක් තැන එකතුවන කැළිකසළ නිසි ක්‍රමවේදය කට බැහැර කිරීම අවශ්‍යය. නැතහොත් එහි අවසාන ප්‍රතිඵලය අප ජීවත්වන වටපිටාව අපට අපහසුදායක තැනක් බවට පත්වීමය. ඉක්මනින් අමතක වී ඇති නමුත් ඉතා මෑතකදී අප සමූහයා විසින්ම අපිළිවෙලින් බැහැර කරන ලද  කසළ මගින් කරන ලද විනාශය බරපතළය. බස්නාහිර පළාතේ ඉතා ජනාකීර්ණ ප්‍රදේශයක සමාන්‍ය ජනතාවගේ මිළ කළ නොහැකි ජීවිත සහ වටිනා දේපොල සෑහෙන්න ප්‍රමාණයක් ක්ෂණයකින් විනාශයට පත්විය. එයින් ඇතිකරන ලද කම්පනය බැහැර විය යුතු නැත.

මැදි ආදායම් රටක තත්වයට පත්වන විට නාගරීකරණය ගැටලුවක් බවට පත්වෙයි. දුර බැහැර ප්‍රදේශවලින් අවස්ථා සොයාගෙන එන ජනී ජනයා. සොබාදහමේ පවතින තුළිත තාවය නොසලකා නගර අත්පත් කර ගනී. එය මෑත කාළය තුල ශ්‍රීලංකාවේ සිදුවිය. ජීවන පැවැත්ම ඉතාමත් වැදගත්සේ සලකන කල්හී ජෛවයේ ස්වභාවිකත්වය අභියෝගයට ලක්වෙයි. මෙම කාරණය අවබෝධයට ගත් ලෝක ප්‍රජාව ජාත්‍යන්තර මට්ටමින් පරිසරය ආරක්ෂාකරන විධි විධාන හදුන්වා දෙන නමුත් ඒවා කෙරෙහි සම්පූර්ණ අවධානයක් යොමුකරන්නේ නැති රටවල් සහ සමාජ තිබේ. ඒවායේ ක්‍රියාකාරකම් අනාගතය කෙරෙහි ඇතිකරන්නේ තර්ජනාත්මක පැවැත්මකි.

ශ්‍රී ලංකාවේ කැළි කසල කළමණාකරනය ගැන උනන්දුවක් තිබේ. වැඩ පිළිවෙල ගණනාවක් යෝජනා කර ඇත. එහෙත් ක්‍රියාත්මක භාවයේදී අළසය. අප සියලුමදෙනා ජනනය කරන අපගේ කසළ අනුන් වෙත බැහැර කර ජීවත් වෙන්න උත්සාහ කරනබව තේරුම් ගත යුතුය. ඉතාම වැදගත් වන්නේ පුද්ගලයෙකු පවුලක් හෝ ව්‍යවසායයක් මගින් බැහැර කරන කැළිකසල තමන්ම වග කියන තත්වයට පත් කරගැනීමයි.

ලෝකයේ නොයෙක් රටවල් කැළිකසළ ගැන දක්වන ප්‍රතිපත්ති එකිනෙකට ‍වෙනස්ය. ආයතනීක මට්ටමින් ඒවා බැහැර කරන්නේ නම් නැවත ප්‍රයෝජනයට ගතහැකි,  ප්‍රතිචක්‍රීකරණයට ලක්කල හැකි සියලුදේ නැවත ඉවත්කර ගන්නා අතර සෙසු ඉතා සුලු කොටස බැහැර කරන්නේ විද්‍යාත්මක ක්‍රමවේදය කට අනූවය. තවත් සමහර රටවල් නිවාස හෝ දේපළවල නිපදවන දිරාපත් වන කැළිකසල ඒකී පරිශ්‍ර තුලම සකස් වෙන්නට  පසුබිම සකසන අතර ඉවතලන වීදුරු ප්ලාස්ටික් හා වෙනත් දිරාපත් නොවන යම්දේ එකතුකරන නිසි ක්‍රමවේද සකස්කර ඇත. අධ්‍යයනය කරන විට පෙනෙන්නේ මේවා ජාතික මට්ටමේ ප්‍රතිපත්ති සහ පරිපාලනයේ පහලම ඒකකයේ  ක්‍රියාකාරීත්වය බවය.

ශ්‍රී ලංකාව තුල  මෙම සෑම අදහසකම කොටස් යම් යම් ප්‍රතිශත වශයෙන් භාවිතාවේ තිබේ. අනතුර නම් ඒ කෙරෙහි සම්පූර්ණ ක්‍රියාකාරී සැලැස්මක් පවතින බවක් නොපෙනීමය. අද වන විට දියුණු තත්ව අනුව වැඩිවශයෙන් එකතුවන රසායනක අපද්‍රවය සමග එකතුකර සලකන විට රට තුල බලපැවැත්විය යුතු විද්‍යාත්මක කසළ බැහැර කිරීමේ නිශ්චිත ක්‍රමවේද යක අවශතාවය තදින් දැනේ. එසේ තිබියදී සිදුවු අවාසනාවන්ත සිද්ධිය අමතක නොකර, විපත අත්දැකීමක් කරගෙන අප සියලු දෙනාම නිසි කසළ   කළමණාකරනයකට වහා පියවර ගත යුතුය.

රාමුවක් නැති සිතිවිලි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

milinda-prashna

2017/05 /24 – ලංකාදීප

හිතන්නටත් නිදහසක් අවශ්‍යය. සිතිවිලි සම්බන්ධයෙන් දර්ශනයක් තිබීම උසස් මනුෂ්‍ය ලක්ෂණයකි. රාමුවක් තුළ සිතන පැවැත්ම පැරණි එකකි. සියවස් ගණනකට කලින් පැවැති පාලන ක‍්‍රමයේ ලක්ෂණයක් වූයේ  ජනතාවගේ සිතිවිලි පාලනය කිරීමය. බලවත් ඒකාධිපති නායකයෝ වැසියන්ට හිතන්නට අවස්ථාව දුන්නේ සීමා සහිතවය. නිදහස් සිතිවිලි අනුව ක‍්‍රියාකරන වැසියෝ, තමන්ට එරෙහිව නැගී තම පාලනයට අවහිර කරනු ඇතැයි කල්පනා කළ එකල පාලකයෝ ජනතාවට හිතන්නට ඉඩ දුන්නේ නැත. ලෝකය දියුණු වන විට පාලන ක‍්‍රම වෙනස් විය. දාර්ශණිකයෝ අලූත් අදහසක් ඉදිරිපත් කළහ. රාමුවෙන් පිට සිතන එහෙම නැත්නම් ‘‘අවුට් ඔෆ් ද බොක්ස්’’ ක‍්‍රමවේදය එයින් එකකි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය දියුණු වන විට නිර්මාණාත්මකව සිතන අවකාශය පුළුල් විය. පවතින රාමුවට එපිටින් හිතන හෙයින් අලූත් දේ බිහිවන බව මනුෂ්‍ය සංහතිකය තේරුම් ගත්තේය.

වර්තමාන ජන සමාජය එය තවත් පියවරක් ඉදිරියට තබා තිබේ. අද වන විට අලූත් අර්ථයක් පැන නැගී ඇත. එයට අනුව සිතිවිලි වලට රාමුවක් නැත. රාමුවෙන් එපිට නොව රාමුවක් නැති තරමට සිතිවිලි විසිරිවිය හැකි  සමාජය විශාල ඉදිරි දැක්මක් සහිත බව පොදු පිලිගැනීමයි. රාමුවක් නැතිව හිතන්නේ කොහොමද? සිතන, පතන, ජීවත්වන පමණක් නොව තීරණ ගැනීම පවා පාලකයන්ට පවරා දී ඇති රටවල් වල පුරවැසියන්ට රාමුවක් නැති සිතිවිලි ගැන වෙනස දැනෙන්නේ නැත. අලූත් දේ හිතන පවතින රාමුව නොසලකා ක‍්‍රියා කරන අය නිතර ලෝකයේ පැවැත්ම වෙනස් කර තිබේ. රාමුවක් රහිත නිදහස් සිතිවිලි වැදගත් වන්නේ එහෙයින්ය.

සමාජය සිතන අන්දමට පාලකයෙකුට විශාල පිරිවරක් අවශ්‍යය. පරිවාර පිරිස අඩු නම් පාලකයා ගේ බලය එපමණ නැති බව සිතන්නට පටන් ගනී. ගමන් කරන වාහනය, හැසිරෙන අන්දම, ඇදුම පැළදුම පවා අනෙක් අයට සිතන්නට මාතෘකා සපයයි. නිතර විදේශගත වන ලෝකය පුරා ගමන් කරන විට බලය හා තත්ත්වය ගැන අනෙක් පාර්ශවය සිතන බව සාම්ප‍්‍රදායික රාමුවයි.

නමුත් අද තත්ත්වය වෙනස්ය. සමාජය අලූතින් සිතන්නේ නැත්තේ මන්ද? පාලනය නඩත්තු කරන්නේ ජනතා බදු වලින්ය. පොදු ජනතාව පිරිවර, ගමන බිමන හෝ ලෝකය පුරා සංචාර වලට වියදම් කරන්නේ මහජන මුදල්ය. තාක්ෂණය දියුණු මෙකල රාමුවෙන් පිට එහෙමත් නැත්නම් රාමුවක් නැතිව සිතන්නේ කෙසේද?

රාමුවක් නැතිව හිතනවානම් ශ‍්‍රී ලංකාවේ ස්වභාවය වෙනස් කරන්නට බැරිකමක් නැත. ආණ්ඩුව තාක්ෂණික පැවැත්මකට යොමු කළ හැකිය. රාජ්‍ය තාන්ත‍්‍රික සංචාර වෙනුවට ඇමැතිවරරන්ට වෙනත් රටක ඇමැතිවරයෙකුට දුරකථන කතා කර ද්වී පාර්ශවික තොරතරු කතා කරගත හැකිය. අවශ්‍යනම් එය සජීවී කතාබහක් බවට පත්කරගන්නට තරමට තාක්ෂණය තිබේ. රටවල් දෙක තුනක් සම්බන්ධ කරගෙන දුරකථන සංවාදයක් පවත්වන්නට ද පුළුවන. නමුත් ඒවා ප‍්‍රයෝජනයට නොගෙන විශාල කාලය සහ ධනය වියදම් කරමින් විදේශ සංචාරවලය. නිලධාරීන් සමූහයක් සමග විදේශ ගත වන විට ඒවාට වියදම කොතැනින්ද? රට ගොඩනගන්නට බලය ගන්නා ඇමැතිවරු බලය ඉල්ලිය යුතු සම්ප‍්‍රදායික රාමුව ආරක්ෂා කරන්නට නොවේ. රාමුවට එපිටින් හිතන්නටය. වැඩ කරන්නටය. නිල හමුවීම්, නිල නිවේදන ද්වී පර්ශවික ගිවිසුම් යනාදිය කල්ගිය ඒවාය. ලෝකය අලූත් හැඩතලයකට මාරු වෙමින් තිබේ. නිල වාහනය, විදේශ සංචාර සහ අති විශාල කාර්යාල වැනි දේ පැත්තකට දමා රාමුවක් නැති යුගයට ඇතුළු වෙන්නට ප‍්‍රයත්නයක් දැරීම අවශ්‍යය. එය වෙනුවෙන් සිතන නායකත්ව රටට ඉතාම වැදගත්ය.

ලෝකයේම ඇස් ඇරවු ප‍්‍රංශ ජනාධිපති

ප්‍රතිචාරයක් ලබාදෙන්න

milinda-prashna

2017/05/17 – ලංකාදීප

ප‍්‍රංශ ජනාධිපතිවරණය ගැන නොබෝදා දක්වා ජාත්‍යන්තර අවධානය යොමු වී තිබිණ. ලෝක ප‍්‍රජාව කතාකරන්නේ අලූත් ජනාධිපති එමානුවෙල් මැකේන් ගේ සම්ප‍්‍රාප්තිය සමග මතුවූ අලූත් පැති සම්බන්ධවය.
බලයට පත්වන නායකයාගේ තේජස සාමාන්‍යයෙන් අපට හුරු පුරුදු පිලිවෙතය. ප‍්‍රකාශිත ඡුන්ද වලින් සියයට හැටහයක ප‍්‍රතිශතයක් ලබාගත් එමානුවෙල් ප‍්‍රංශ ජනාධිපති ධුරයට පත්වන විට විශාල තේජසක් තිබිණ. වැදගත් වූයේ හෙතෙම ජයග‍්‍රාහීව හැසිරුණ අන්දම අනුව නොවේ. සාමාන්‍ය මනුෂ්‍ය ගුණාංග පෙන්වමින් අනාවරණය කළ පරිනත භාවයයි. ඔහු තුළ ආත්මාර්ථකාමීත්වය නොවීය. තමන් ජයගත් බව පෙන්වා පරාජය වූ හිටපු ජනාධිපතිවරයා පැත්තකට කළේ නැත. බල හුවමාරුව සිදුවූ වෘත්තීය විලාශය ශ‍්‍රී ලංකාවට නැවත නැවතත් ආදර්ශයකි.

ප‍්‍රංශයේ හිටපු ජනාධිපති හොලන්ඬේ ගේ උපදේශක හා පසුව ආර්ථික අමාත්‍ය ධුරයට පත්කරගත් එමානුවෙල් පසුගිය වසරේ දී ඒ වන විට තිබුණ දේශපාලනය ප‍්‍රතික්ෂේප කර ආණ්ඩුවෙන් ඉල්ලා අස්විය. එන් මාර්චේ නමින් අලූත් පක්ෂයක් හැදු හෙතෙම ජනතාව අතරට ගියේ මෙයට කලින් කිසිදු මැතිවරණයකට ඉදිරිපත් නොවූ නොකිළිටි පුද්ගලයෙකු වශයෙන්ය. මැදි මාවතේ ප‍්‍රතිපත්ති අනුගමනය කරන අලූත් නායකයෙකු වශයෙන් හෙතෙම ජනාධිපතිවරණ වේදිකාවේ දී රට පවතින අර්බුදකාරී තත්ත්වය විවේචනාත්මකව ගෙන හැර දැක්වීය. පැවැති සමාජවාදී හා ඩිමොක‍්‍රටික් පක්ෂ වල ප‍්‍රතිපත්ති ගැන රටවැසියන් අතර විරෝධයක් ඒ වන විට පැවැතිණ. 1980 ගණන් වල සිට එරට බලය අල්ලාගෙන සිටියේ කුඩා පක්ෂ තමන්ගේ තනියට හේත්තු කරගනිමින්ය. පක්ෂ ගණනාවක් එකතු වී රට කරගෙන යන විට ප‍්‍රංශයේ පැවැත්ම හා සමාජ ව්‍යුහය යම් අභියෝගයකට මුහුණ දුන් බව පැහැදිලිය. විවිධ රටවලින් පැමිණ ප‍්‍රංශය තමන්ගේ භූමිය වශයෙන් තෝරාගත් සංක‍්‍රමණිකයන් හෙයින් ප‍්‍රශ්න ඇති බව එරට ජනයා කතා කරන්නට පටන් ගත්තේය. මෙකී අදහස් මෝරා වැඞී ඉහළට පැමිණි අවස්ථාවේ දී වත්මන් ජයග‍්‍රහණයට ඉඩ පාදා ඇති බව විචාරක අදහසයි.

ප‍්‍රතිඵල නිකුත් වීමෙන් පසු එමානුවෙල්, හිටපු ජනාධිපතිවරයා මුණ ගැසී ඔහු භාරයේ පැවැති ආරක්ෂක තොරතුරු හුවමාරු කරගත්තේය. ජනාධිපති තනතුර භාරගන්නා විට කරන ලද කෙටි දේශනයේ දී හෙතෙම රට අද පවතින තැනට ගෙන එන්නට කැපවූ හිටපු නායකයන්ගේ දක්ෂතා පක්ෂ බේධයෙන් තොරව අගය කළේය. එකිනෙකා සතු දක්ෂතා අනුව එකිනෙක පැතිවලින් රට ඉදිරියට පැමිණි බව තක්සේරු කරන්නට හෙතෙම නිර්ලෝභී විය. වඩා කාර්යශූර, වඩා ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක් ගොඩනැගීම තමන්ගේ අරමුණ බව කියා සිටි අතර රටවැසියන් ගේ ආත්ම විශ්වාසය නැංවීම ඉලක්කය බව සදහන් කළේය.

සියයට හැට හයක ජන වරමක් ලැබූ එමානුවෙල් ප‍්‍රතිවාදීන්ට චෝදනා කළේ නැත. දේශපාලනඥයන් රට විනාශ කරන ලද බවක් නොකීවේය. ආර්ථික හා සමාජ වශයෙන් රට පරිහානියට පත්කරන ලද දේශපාලනඥයන්ගෙන් පලිගන්නේ යැයි ජය ඝෝෂා මැද කියන්නට නොගියේය. වෙනස එයයි.
ශ‍්‍රී ලංකාවේ මැතිවරණයක් හමාර වන විට ජයග‍්‍රාහකයන් හා පරාජිතයන් අතර වහසිබස් කොපමණද? දිනන අය කියන්නේ පරාජිකයන් රට කෑ බවය. කිසිම පාලකයෙක් කරන ලද හොඳ දේවල් එකක්වත් අලූත් පාලකයා දකින්නේ නැත. ආණ්ඩු කිරීම සාමුහික කර්තව්‍යයක් සේ සලකන්නේ නැති මෙරට නායකයෝ හැසිරෙන්නේ තද ආත්මාර්ථකාමීන් ලෙසය. තමන්ට පමණක් රට හදන්නට පුලූවන් වන අතර අනෙකාට බැරි වූ බව ප‍්‍රකාශ කරන්නේ ඒවා ජනතාව විශ්වාස කරන බව උපකල්පනය කරමින් විය යුතුය. රට එකතු කරන බව බොහෝ විට කියන නමුත් ජනතාව පක්ෂ වශයෙන් බෙදා, පලිගැනීම් වලට ලක් කරන ආකාරය අනුව එය කිසිසේත් සිද්ධ නොවෙන කාරණයකි. ශ‍්‍රී ලංකාව කතා කරන්නේ සංහිඳයාව ගැනය. නමුත් දේශපාලනයේ නිරත අතලොස්සක් දෙනා අතර රට ඉදිරියට ගෙන යන අනෙක් පුද්ගලයාගේ ශක්තියට ගරුකරන ප‍්‍රතිපත්තියක් නැත්නම් සංහිඳීයාවක් ඇති කරන්නේ කෙසේද? ප‍්‍රංශය යුරෝපයට පමණක් නොව මුළු ලෝකයටම වැදගත් රටක් බව එමානුවෙල් ජනාධිපතිවරයා කියා ඇති අතර එය සනාථ කරන්නේ පුලූල් දර්ශනයක් ඇති පටු ආකල්ප වලින් තොර නායකයන් බව සදහන් කළ යුතුය.

බෙදාදීම වෙනුවට බදාගන්නා ධර්මය

ප්‍රතිචාරයක් ලබාදෙන්න

milinda-prashna

2017/05/10 – ලංකාදීප

සිද්ධාර්ථ කුමාරයා උප්පත්තිය ලැබුවේ අද වැනි දිනකය. ගිහි ගෙයින් නික්ම, සියළු කෙලෙස් මැඩ බුද්ධත්වය ලබන්නේ අද වැනි පොහොය දිනකය. නැවත ඉපදීමක් නැති අමා මහ නිවන් අවබෝධ කරගත් ගෞතම බුදු රජාණන් වහන්සේ පිරිනිවන්පෑවේ ද අද වැනි වෙසක් දිනයකය. ලොව පුරා බෞද්ධ ජනතාව මෙම අවස්ථා තුන සනිටුහන් කරන දිනයෙහි දැහැමි ඇවැතුම් පැවැතුම් සහිතව හැසිරෙති. බුද්ධ දේශනාව අනුව ක‍්‍රියා කරති. ලෞකික දේ වෙනුවෙන් ඇති ඇල්ම අඩු කර මතු සුගතිය අපේක්ෂා කරමින් ධර්මයෙහි හැසිරෙන්නට උත්සාහ කරති.

බුදු රජාණන්වහන්සේ මැද මාවත දැක්වූහ, සදාකාලික ජීවන දර්ශනය පෙන්වා දුන් අතර ජන ජීවිතය සැනසිලිදායක තැනක් කරගන්නේ කෙසේදැයි දෙසා වදාලහ. මෙවර වෙසක් උත්සවය පවත්වන්නේ වසර 2561 ක ඉතිහාසය සනිටුහන් කරමින් බව සිහිපත් කළ යුතුය. බුද්ධ දේශනාව ත‍්‍රිපිටකය වශයෙන් මහා ස්ථවිර පරම්පරාව කට පාඩමින් පවත්වාගෙන පැමිණ තිබේ. එය ලේඛනයකට සකස්වන්නෙ ශ‍්‍රී ලංකාවේ පැවැති අධික දුර්භික්ෂ කාලයේ දී එය තව දුරටත් මතකයෙන් පැවත්වාගෙන යන්නට නොහැකි තත්ත්වයක් හෙයින් බව සඳහන්ය. සැරියුත් සහ මුගලන්  යන අග‍්‍ර ශ‍්‍රාවක මහ රහතන් වහන්සේලාගේ සිට ශ‍්‍රී සද්ධර්මය ලේඛන ගතවන තෙක් නොයෙක් වෙනස්කම් ශෛලීන් හා අනුකරණ වලට ලක්වන්නට ඇතැයි සිතිය හැකිය. 1981 සිට දස වසරක් තිස්සේ ධර්මයෙහි ලේඛන පිරික්සා ඒවා නිවරුදි කරන්නට මෙරට ධර්මධර භික්ෂූන් සමග එකතු වූ ප‍්‍රාඥයන් කටයුතු කර ඇත. අද පවතින බුද්ධ ධර්මය සුපිරිසිදුය. එහි දර්ශනය පැහැදිලිය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙම වසරේ දී ජාත්‍යන්තර වෙසක් උත්සවය පවත්වන්නේ ශ‍්‍රී ලංකාවේ දී ය. ධර්මය නියමාකාරයෙන් පවතින සහ ජාත්‍යන්තර සමාජය ධර්මෝත්පාදනය වෙනුවෙන් මෙරට එකතු වී ඇති අවස්ථාවක, බුදු දහම එහි පැවැත්ම කෙරෙහි බොදුනුවන් වශයෙන් අප සියළු දෙනා දක්වන ආකල්පය දෙස අවබෝධාත්මක ආකල්පයක නිරතවීම ඉතාමත් වැදගත්ය.

ධර්මය නොකිලිටිය. එය තර්කාන්විතය. බුදු රජාණන් වහන්සේ ම දේශනා කරන ලද පරිදි රන්කරුවෙකු නියම රත්රන් දැයි සොයාගන්නට රන් කැබැල්ලක් කපාකොටා එයින් ද නතර නොවී පුළුස්සා  බලා තහවුරු කරගන්නා මෙන් ධර්ම දේශනාව ද සත්‍යයක් දැයි විමසා බලන්නට බාධාවක් නැත. නමුත් මෙම ධර්මය පවතින පන්සල වෙනස් තැනක් බවට පත්ව තිබේ. සංඝරත්නය අතර පරස්පරතා ඇත. උපාසක උපාසිකාවෝ ද බෙදී වෙන්වී ඇත. බුදු දහම බෙදා සත්‍ය පතුරවනු වෙනුවට ධර්මය ඇතැයි එය බදාගන්නා තැන් අද රට පුරා බහුලය. තමන් සතුව හැර අන් බෞද්ධ සංඝයාවහන්සේ ගේ සිට උපාසක උපාසිකාව දක්වා ඇත්තේ වෙනස් බුද්ධාගමක් බව කියන්නට නොපැකිලෙන බව පෙනෙන්නට තිබේ. එය පරතෙරට නංවා ඇත්තේ ජනමාධ්‍යයයි. ධර්මය, එය සමාජගත කිරීම හා ප‍්‍රචාරණය වෙනුවෙන් අති විශාල තරගයක් පවතින බව සඳහන් කළ යුතුය. මෙයින් රටට හා සමාජයට අත්පත්ව ඇති සුගතිය කුමක්ද? බුදු රජාණන් වහන්සේ අද වැඩ සිටියානම් අනුග‍්‍රාහකත්වය ගන්නට දරන ප‍්‍රයත්නය, වෙසක් කලාප හා වෙනත් විසූක දස්සන දැක සංවේගයට පත්වනු නොඅනුමානය.

බුදු දහම එයින් අනු දැනවදාරන සරල ජීවන දර්ශනය අනුගමනය කරන්නට නොහැකි තැන බුදු සරණ නැත. දහම් සරණ ලැබෙන්නේ නැති බව නිසැකය. නිකාය බේධයෙන් තොරව ධර්මය අද පවතින ස්වභාවය දෙස බලන්නට මහා සංඝ රත්නයට ධෛර්යයක් තිබිය යුතුය. අද පවතින්නේ එක්සත් ජාතීන් ජාත්‍යන්තර වෙසක් දිනය හා එය නිවාඩුවක් බවට පත්ව ඇති කාලවකවානුවකි. එක්සත් ජාතීන් එකතු වී බුදුන් වැඩි පින් බිම ශ‍්‍රී ලංකාවේ දී දහ හතරවැනි ජාත්‍යන්තර වෙසක් දිනය පවත්වයි. තවත් ශත වර්ෂාධික කාලයක් දහම පවතින්නට බොදුනුවන් වශයෙන් අප ගත යුතු මග කමක්දැයි සාකච්ඡා කරන්නට පියවර ගත යුතුව තිබේ.

පොහොසත් සමාජයක්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

milinda-prashna

2017/05/03 – ලංකාදීප

දුප්පත්කම කුමක්ද? පොහොසත් වෙන්නේ කොහොම ද? සමාජයේ සියළු දෙනාට මෙම කාරණය ගැන නොයෙක් පැති වලින් අදහස් තිබේ. ලෝකයේ නොයෙක් රටවල් උත්සාහ කරන්නේ දුප්පත්කමෙන් මිදී පොහොසත් සමාජයක් ඇති කරගන්නටය. දියුණු සහ අතමිට හිඟ නැති ජන සමාජය තුළ ප‍්‍රශ්න අඩු බව පිලිගැනීමයි. නමුත් ඇත්ත එය නොවේ. සමාජයක් දියුණු වන විට වෙනත් පැති වලින් ගැටළු මතුවෙයි. දුප්පත් හා පොහොසත් වශයෙන් තල දෙක අතර පවතින පරතරය පුළුල් වීම එයින් ප‍්‍රධාන එකකි.

අඩු ආදායම් මටට්මක සිට ඉහළ ආදායම් මට්ටමකට පැමිණෙන ඕනෑම පාර්ශවයකට තමන් උපයන ලද ධනය භාවිතා කිරීම කෙරෙහි නැඹුරුවක් ඇතිවෙයි. වියදම් කරන්නට පටන් ගන්නේ තත්ත්වය හුවා දැක්වෙන අන්දමටය. පාවිච්චි කරන වාහනය, ජීවත්වන නිවාසය, අඳින ඇදුම හෝ හැසිරෙන ආකාරය නොසිතෙන අන්දමට වෙනස් වෙයි. එය ඇති නැති පරතරය වැඩි කරයි. විවාහ උත්සවයක දී අත දිග හැර වියදම් කළ හැකි  නමුත් පොහොසත් පවුලක් එයින් දෙන පණිවුඩය කුමක්ද? පුළුවන් පුද්ගලයා අති විශාල වියදමක් මංගල්‍යයක් වෙනුවෙන් කරන අතර එහි අනෙක් පැත්ත තමන්ගේ මංගල උත්සවයට වියදම් නැති හෙයින් අසරණ පුද්ගලයෙකි. එය එක පැත්තක් පමණකි. අති සුඛෝපභෝගී නිවසක්, දරුවන්ට උසස්ම පාසලක් හෝ ඉතාම වටිනා වාහන වැනි වශයෙන් ඇති නැති පරතරය විදහා දැක්වෙන සේ ජීවත්වන සමාජ තුළ සම්මුතිය බිඳ වැටේ.  ඕනෑම සමාජයක ජීවත්වන ජනී ජනයා අතර සම්මුතියක් තිබේ. එය මනුස්සකම ගැනය. පොහොසත් වෙන්නේ පරම්පරාවෙන් හෝ නොඑසේනම් ස්වෝත්සාහයෙන් වෙන්නට බැරි නැත. එසේ නමුත් ජීවත්වන්නට ධනය වියදම් කරන අන්දම අනුව මුලින් සඳහන් කරන ලද සමාජ සම්මුතියට සිදුවන්නේ හානියකි. එවැනි සමාජ තුළ බෙදීම්, ගැටීම් හා වෛරය පැතිරී තිබේ.

උතුරු යුරෝපය සහ නැගෙනහිර ආසියාවේ ඇතැම් රටවල ජනතාව තමන්ට ඇති ධනය පෙන්වා ඒවායෙන් අසීමිත සුඛ විහරණයක යෙදෙන්නේ නැත. සරල ජීවිත ගත කරති. නෝර්වේ, ජපානය, සිංගප්පූරුව වැනි රටවල ජනතාව ඒ අතරින් ප‍්‍රමුඛය. භාවිතා කරන වාහනය, නිවාසය හෝ තමන් පවත්වන උත්සවය අති විශාල ධනයක් වැය නොකරන මට්ටමින් පවත්වාගෙන යයි. සමාජ විනය හා සංවිධානය ඇති වෙන්නේ එයින්ය.

ශ‍්‍රී ලංකාව බෞද්ධ දර්ශනයට මුල් තැනක් දෙන ජනතාවක් වෙසෙන රටකි. ගතකරන්නේ වෙසක් කාලයයි. බුදු දහමට අනුව හැසිරෙන්නට උත්සාහ කරන වකවානුවයි. මධ්‍යම ප‍්‍රතිපදාව බුද්ධ දර්ශනය තුළ ඇති බලවත් පණිවුඩයකි. නමුත් සමාජය තුළ පෙනෙන්නේ ධනය සම්බන්ධ පවතින අසීමිත ආශාවයි. නවීන මෙවලම් සීමාවකින් තොරව පරිහරණයට ඇති නැඹුරුවයි. සම්පත් භාවිතාව සම්බන්ධ ආත්මාර්ථකාමීත්වයයි. තම ගමන බිමන වෙනුවෙන් සාමාන්‍ය වාහනයක් භාවිතා කළ හැකිව තිබිය දී ඒ වෙනුවෙන් නොමනා ධනයක් වියදම් කරන්නේ ඇයි? යුරෝපා රටක නම් එය ලජ්ජාවට හේතුවකි. තමන් ගේ අසල්වැසියා දුශ්කර ජීවිතයක් ගත කරද්දී අති සුඛෝපභෝගීත්වය නරක බව එම සමාජය තේරුම් ගෙන තිබේ. එය යහපත් ධර්මතාවයකි. රටේ පොදු ජනතාව අතෘප්තියෙන්, අඩුපහසුකම් වලින් ජීවත්වන කාලයක ඇති හැකි අය කළ යුතු සාමාන්‍ය ජනතාවගේ ගෞරවය දිනාගැනීමය.  ඇති අය පමණක් නොව පොදු ජනතාවගේ දේපොල පරිහරණය කරන අය පවා වපුරන්නේ වෛරයයි. පැලැන්ති පරතරය වැඩි කිරීමයි.

ආර්ථික අර්බුදයක් පවතින රටක බුද්ධිමත් පුරවැසියන් වැසියන් වශයෙන් මෙම වකවානුවේ දී ඉතා බුද්ධිමත්ව හැසිරෙන්නට අවශ්‍යය. ධනය වැඩි පුර ලැබෙන විට, යස ඉසුරෙන් පොහොසත් වන අවස්ථාවක සමාජයේ පෙනී සිටිය යුතු කෙසේදැයි වටහා ගන්නට මනා ප‍්‍රඥාවක් තිබිය යුතු බව සඳහන් කළ යුතුව තිබේ.