කිකිළි බිත්තර

ප්‍රතිචාරයක් ලබාදෙන්න

milinda-prashna

2017/10/25 – ලංකාදීප

කිකිළි බිත්තර අනුභවය ගැන  අලූත් අදහසක් නොබෝදා ජාත්‍යන්තර මාධ්‍ය අනාවරණය කළේය. එයට අනුව බාල මහළු සෑම පුද්ගලයෙකුටම, බිත්තර ඉතාම පෝෂ්‍යදායී ආහාරයකි. යහමින් ප්‍රෝටීන ඇති සහ ඇමැයිනෝ අම්ල නමයක් සහිත බව වාර්තා කර තිබේ. විටමින් වර්ග සෑහෙන ප‍්‍රමාණයකින් ද පොහොසත් බව අනාවරණය කරන අතර ශරීරයට අවශ්‍ය සියළු පෝෂණය ලබාගත හැකි මිල අඩු ආහාරයක් සේ බිත්තර වර්ගීකරණය කර ඇත.

නිරෝගී පුද්ගලයෙකු බිත්තර ප‍්‍රමාණයට වඩා ආහාරයට ගැනීම අහිතකර බවට විසිවන සියවසේ අග භාගයේ පැවැති වෛද්‍ය මතයකි. කොලෙස්ටරෝල් අඩංගු හෙයින් කහ මදය අත හැර භාවිතා කරන ප‍්‍රවණතාවයක් ද පැවැතිණ. සතියකට බිත්තර දෙකක් හෝ තුනකට වඩා නුසුදුසුය යන වෛද්‍ය මතය සමාජය බියට පත් කරන ලද අතර එය අදටත් පොදු ජනතාවගෙන් බැහැර වී නැත. බටහිර කලාපයෙන් අලූත් සොයා ගැනීම් සේ කාලයකට කලින් කරන ලද බිත්තර අනුභවය ගැන ඇති කරන ලද අවදානම බටහිර කලාපයේ අනාවරණ වලින් ම බිඳ දමමින් තිබේ.

තවත් වැදගත් කාරණයක් අවධානයට ගත යුතුය. සත්ව පාලනයෙහි නිරත වුවන් විසින් කිකිළියන් ඇති කිරීමේ දී එය ඉතාම වාසි දායක යැයි ගණන් බලා කූඩු වල සිදු කරන ලද නමුත් එකී ක‍්‍රමය ද නුසුදුසු බවට තහවුරු වෙමින් තිබේ. කුඩා ඉඩ ප‍්‍රමාණයක ගාල් කර අවශ්‍ය ආහාර හා විටමින් වර්ග දී කිකිළියන් ඇති කිරීම වෙනුවට නිදහසේ අහුලා කමින් හැදෙන කිකිළියන් බිත්තර ආහාර සඳහා සුදුසු බව කියන්නේ ද බටහිර රටවල මතවාද අනුව බව සඳහන් කළ යුතුය. සත්ව අවිහිංසාව වෙනුවෙන් පෙනී සිටින විවිධ සංවිධාන කූඩු කිරීම හා සතුන්ගේ හොට කපා දැමීම වැනි ක‍්‍රම අනුගමනය කිරීම අයහපත් බව පෙන්වා දී ඇති අතර එහි ප‍්‍රතිඵල අනුව නව ප‍්‍රවණතා ඉදිරියට එන බව පෙනේ.

ලෝකයේ ප‍්‍රකට සත්ව ගොවිපොල ගණනාවක් වසර 2025 වන විට වෙළඳ පොලට ඉදිරිපත් කරන බිත්තර සම්පූර්ණයෙන්ම නිදහසේ ඇති කරන කිකිළියන් ගෙන් පමණක් නිෂ්පාදනය කරන්නට තීරණය කර ඇත. ප‍්‍රකට අලෙවි සැල් ජාලා සහතික කරන ලද හිංසනයට ලක් නොකළ කිකිළියන්ගෙන් පමණක් කරන නිෂ්පාදන අලෙවි කරන්නට තීරණය කිරීම එයට බලපා ඇති ප‍්‍රධාන කාරණයයි. එම වසරේ සිට කූඩු කරන ලද කිකිළියන්ගේ බිත්තර විකුණන්නේ නැති බව ලෝකයේ ප‍්‍රසිද්ධ සුපිරි වෙළඳ සැල් දැනටමත් නිවේදනය කර තිබේ.

ශ‍්‍රී ලංකාවේ ළමා පරපුර අතර පෝෂණ මට්ටම එපමණ හොඳ නැති බව වාර්තා පළ වී තිබේ. උදෑසන ආහාරය මග හරින සහ නිසි පෝෂණයකින් තොර දේ වලින් කුස පුරවා ගන්නා පාසල් දරුවන් ගේ ප‍්‍රතිශතය ඉහළ බව අනාවරණය වෙයි. මෙම තොරතුරු වලට ඔවුන්ගේ පවුලේ ආදායම  හෝ ඇති නැති පරතරය එපමණ බලපා නැති බව ද සැලකිය යුතු කරුණකි. ළමයින් අතර පවතින මන්ද පෝෂණය දුරු කරනු සඳහා දකුණු අප‍්‍රිකාවේ ප‍්‍රකට සූඵවේදීන් නිති පතා ස්වේච්ඡාවෙන් පෙර පාසල් දරුවන්ට බිත්තර සහිත ආහාර වේල සපයන දානපති වැඩසටහන් ආරම්භ කර ඇති බව ද මෙහි ලා සඳහන් කළ යුතුය.

මෙරට බිත්තර නිෂ්පාදනය හා අළෙවිය ගැන ද සොයා බැලීම සුදුසුය. ගොවිපොලෙන් ලබාගත් වහා කිසිම පිරිසිදු කිරීමකින් හෝ තත්ත්ව පරීක්ෂාවකින් තොරව විකිණීමට ඇති බව ප‍්‍රකට කාරණයකි. ඒවා මිල දී ගන්නා පාරිභෝගිකයන් තම නිවෙසේ දී නිසි පරීක්ෂාවකින් ආහාරයට සකස් කරනු ඇති බව උපකල්පනය කළ හැකි නමුත් වීදි වෙළඳාමේ යෙදෙන ආහාර අලෙවිකරන වෙළඳ සැල් වල බිත්තර යොදා සකස් කරන අවස්ථා නිසි පිලිවෙලක් නැත. කොපමණ ගුණ නමුත් අපිරිසිදු බිත්තර වලින් බරපතල රෝග වැළඳිය හැකිය. බිත්තර පරිභෝජනය නංවන අතර පිරිසිදු හා ප‍්‍රමිතියෙන් යුතු නිෂ්පාදන ක‍්‍රමයක් ඇති කරන්නට පියවර ගැනීම වටී.

 

 

වර්ජනය වෙනුවට සමථකරණය

ප්‍රතිචාරයක් ලබාදෙන්න

milinda-prashna

2017/10/18 – ලංකාදීප

වැඩ වර්ජන ගැන රට පුරා පුලූල් අවධානයක් යොමු වී ඇත. නිතිපතා වර්ජන සිද්ධි වාර්තාවෙයි. වැඩ වර්ජනය කරන පිරිස තම අතියිවාසිකම් ඉල්ලා බල කරති. ඉල්ලන දේ වලින් දෙන්නට හැකි සීමාවක් තිබේ. ඉල්ලීම් දෙන තුරු වැඩ වර්ජනය කරන පිරිස කරන තර්ජනයෙන් විපතට පත් වන්නේ සාමාන්‍ය ජනතාව බව සදහන් කළ යුතුය. නොබෝදා දුම්රිය වැඩ වර්ජනය කළේය. එයට කලින් විදුලිය බල මණ්ඩලයේ සේවකයක්ය. වෛද්‍ය ක්ෂේත‍්‍රය ද වර්ජනය කළේය. වර්ජනය කරන අවස්තා වල දී අත්‍යාවශ්‍ය සේවා බිඳ වැටෙන අතර එය ආර්ථික සහ සමාජ ප‍්‍රශ්න ඇති කරයි.

බි‍්‍රතාන්‍යයේ රෝයල් මේල් සේවාව පසුගිය සතියේ වැඩ වර්ජනයකට සූදානම් විය. විශ‍්‍රාම වැටුප, වැටුප් වැඩිකරගැනීම හා රැකියා අවස්ථා ගැන සඳහන් කරමින් මෙම වර්ජනය පැවත්වන්නට තීරණය කරන ලද බව වාර්තාවෙයි. සමාගම වැඩ වර්ජනයට විරුද්ධව අධිකරණයට ගියේය. වසර හතරකට කලින් බි‍්‍රතාන්‍ය තැපැල් සේවාව පුද්ගලීකකරණය කරන ලද අතර මෙම වැඩ වර්ජනය එයින් පසු වාර්තා වූ පළමු වැඩ වර්ජනයයි. අධිකරණය මෙකී වර්ජනය නීති විරෝධී බව පෙන්වා දුන් අතර වර්ජනය කරන්නට හේතු වූ කරුණු සොයා බලා සමථයකටපත් කරගනු සදහා දෙපාර්ශවයේ නියෝජිතයන්ගෙන් සමන්විත සමථ මණ්ඩලයකට යොමු කළේය.

වැඩ වර්ජනය හෝ විරෝධතා ඇතුළු ජනතාවගේ දෛනික පැවැත්මට බලපාන කාරණා සම්බන්ධයෙන් ජාත්‍යන්තරය අලූතින් හිතන බව මෙයින් තේරුම් ගැනීම සුදුසුය.

බි‍්‍රතාන්‍ය වැඩ වර්ජනට ඇති අයිතිය සම්බන්ධ නීති අනුව එය  ඕනෑම සේවක අයිතිවාසිකමක අවසාන තීරණයයි. එයට කලින් එළැඹිය යුතු අතුරු පියවර ගණනාවක් තිබේ. වෘත්තීව සමිති වලට පොදු කාරණා සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කළ හැකිය. ඒවා ගැන වෘත්තීය සමිති නියෝජිතයන් හා බලධාරීන් සමග සාකච්ඡා කළ යුතුය. සාකච්ඡා වල දී යුක්ති සහගත විසදුමකට ප‍්‍රයත්න දැරීම අවශ්‍යය. එය දෙපාර්ශවයේම අවබෝධය හා නම්‍යශීලීත්වය අනුව එළැඹිය හැකි තත්ත්වයකි. සාකච්ඡාවෙන් හෝ සම්මුතියකින් එකඟවිය නොහැකි කාරණා වල දී එයින් ඔබ්බට යා හැකි පියවර තිබේ. අවසාන අවස්ථාවේ දී වැඩ වර්ජනය කරන්නේ නම් එය මෙහෙයවන වෘත්තීය සමිතිය සිය සාමාජිකයන් අතරේ අභ්‍යන්තර ඡන්දයක් පැවැත්විය යුතුය. එය රහස් ඡන්ද විමසීමකි. වැඩ වර්ජනය කිරීම සුදුසු බව සාමාජිකයන් බහුතරයක් වැඩි ඡන්දයකින් සම්මත වුවහොත් වැඩ වර්ජනය කළ හැකිය. එය විශාල ප‍්‍රයත්නයකින් අවසානයේ ගත හැකි තීරණයකි. එවැනි පසුබිමක දී පවා වැඩ වර්ජනයෙන් පීඩාවට පත්වන  ජන කොටස සලකා කිසියම් තීරණයක් අපේක්ෂාවෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමට ආයතන පාලකයන්ට බාධාවක් නැත. එයට අනුව බි‍්‍රතාන්‍ය රෝයල් මේල් වැඩ වර්ජන තර්ජනය මැදහත් කණ්ඩායමක සමථකරණයකට යොමු වී ඇත.

ශ‍්‍රී ලංකාවේ සිදුවන්නේ කුමක්ද? වැඩ වර්ජනය නීති විරෝධී යැයි කියන අතර වර්ජකයන් නොසලකා සිටීමය. සාකච්ඡා පවත්වයි. ඒවායේ දී දේශපාලන පණිවුඩ හුවමාරු වෙයි. පක්ෂ බලය වැඩ වර්ජනයක දී තහවුරු කරගන්නට තැත් කරන අතර ගැටළු සාකච්ඡා කර මැදහත්ව සාකච්ඡා කර තීරණයක් ගන්නට පෙළැඹෙන්නේ නැත. අන්තිමේ දී පොලිසිය  මැදිහත්ව වර්ජකයන් විසුරුවා හැරේ. එය විශාල කෝලාහලයකි. තවත් පැත්තක් තිබේ. සේවකයන් වැඩ වර්ජන තීරණය දෙන තෙක් ආයතන ප‍්‍රධානීන් සේවක ඉල්ලීම් ගැන මායිම් කරන්නේ ද නැත. දීර්ඝ කාලයක් නොවිසඳී තිබුණ තමන්ගේ වෘත්තීය ගැටළු ඉදිරිපත් කර දවසකින් දෙකකින් උත්තර ඉල්ලන වැඩ කරන ජනතාව එය කරගත නොහැකි තැන මාධ්‍ය හමු පවත්වන අතර දින නියම කරන වර්ජනය කරන බව නිවේදනය කරයි. එය පොදු ජනතාව අසරණ කරන තර්ජනයක් බව පැහැදිලිව සඳහන් කළ යුතුය. සේවය ලබන අහිංසක ජන කොටස ඇපයට තබා තම වෘත්තීය අයිතිවාසිකම් ලබා ගැනීමට ස්වකීය අරගලයේ අවසාන යොමුව බව හිතන වෘත්තීය සමිති පැවැත්මක් රටට අවශ්‍යය. වැඩ වර්ජනය කරා ගමන් කළ හැකි ක‍්‍රමවේදය ප‍්‍රකාශයට පත් කළ යුතුය. මැදහත්කරුවන් හා සමථකරණය හදුන්වාදීම සුදුසුය.

විශ්ව විද්‍යාලයේ දේශපාලනය තහනම්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

milinda-prashna

2017/11/10 – ලංකාදීප

විශ්ව විද්‍යාලය යන හැඳින්වීමට විශාල අර්ථයක් තිබේ. එය හුදෙක් පටු රාමුවකට කොටු වූ තැනක් නොවේ. මුළු විශ්වයම අධ්‍යයනය කරන දැනුම සම්පාදනය කරන තැනකි. එය නිවහල් නිදහස් මානසිකත්වයකින් යුතු උදාර බුද්ධිමත්හු බිහි කරති. තර්කයට එහි ඉඩ තිබේ. වාද කරන්නට කිසිම බාධාවක් නැත. දැනුම නිෂ්පාදනය කරන්නට පසුබිම සම්පාදනය එහි අරමුණයි.

ශ‍්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල ක්ෂේත‍්‍රයට දීර්ඝ ඉතිහාසයක් නැත. මෙම ඉතිහාසය තුළ සිදුවූ පරිවර්තන විශේෂ අධ්‍යයනයට ලක්විය යුතුය. සමාජයට සහ රටට ලැබුණ ප‍්‍රයෝජනය තක්සේරු කරන්නට අවශ්‍යය. අද වන විට විශ්ව විද්‍යාල පද්ධතිය එක්තරා තීරණාත්මක සන්ධිස්ථානයකට පැමිණ තිබේ. මෙතැනින් ඔබ්බට ගමන් කරනු සඳහා බරපතල ප‍්‍රතිසංස්කරණ අවශ්‍යය. එකී ප‍්‍රයත්නය උදෙසා ඉතාමත් වැදගත් තීරණයක් ගත යුතුව තිබේ. විශ්ව විද්‍යාල දරුවන්ට දේශපාලනය තහනම් කළ යුතුය. ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ තොටිල්ල වශයෙන් සැලකිය හැකි විශ්ව විද්‍යාල ගැන කැමැත්තෙන් කරන යෝජනාවක් නොවේ. මෙරට විශ්ව විද්‍යාල වල ඉගෙනගන්නා ශිෂ්‍ය ප‍්‍රජාවගේ පොදු හැසිරෙන අන්දම නිරීක්ෂණය කරන විට එවැනි තීරණයක් වරදක් නොවේ.

විශ්ව විද්‍යාලවල ඉගෙනගන්නා දරුවන්ට දේශපාලනය තහනම් කළ යුතු ඇයි? බුද්ධි මණ්ඩප බවට පත් විය යුතු විශ්ව විද්‍යාල දරුණු දේශපාලන අධිපතිවාදී තැන් බවට පත්ව තිබේ. අධ්‍යයනය පැත්තකට කර ඇති අන්තවාදී ශිෂ්‍ය ප‍්‍රජාව තද මතවාද වෙනුවෙන් මරාගෙන මැරෙන සංස්කෘතියක් බිහිකර ඇත. සාකච්ඡාවෙන්, සංවාදයෙන් හා ලිහා ගත හැකි ගැටළු ගණනාවක් විශාල අර්බුද බවට පත් කරගෙන ඇති අතර දරුවන්ගේ අධ්‍යයනය පමණක් නොව දෙමව්පියන්ගේ බලාපොරොත්තු ද විනාශ කරමින් සිටී. මතයක් වෙනුවෙන් පෙනී සිටීම ප‍්‍රශ්නයක් නැත. නමුත් අන්‍යයන්ගේ මතය බලහත්කාරයෙන් පරාජය කළ යුතු නැත. විශ්ව විද්‍යාල පද්ධතිය රට තුළ මතු කර ඇති කලබැගෑනිය ජන සමාජය තුළ අවිනිශ්චිත බව ඇති කර තිබේ.

විශ්ව විද්‍යාල පද්ධතිය තුළ ඇති කරන මෙකී නරක ප‍්‍රවණතාවයට එකම හේතුව දේශපාලනය බව රහසක් නොවේ. දේශපාලන පක්ෂ සහ ඒවායේ මතවාද විශ්ව විද්‍යාලය තුළට වැද එහි කරන අරගලය බලය අල්ලා ගැනීම බව තේරුම්  ගැනීම අපහසු නැත.

ලෝකයේ නොයෙක් විශ්ව විද්‍යාල වල ඉගෙන ගෙන මෙරටට පැමිණි වියත් මිනිසුන් මෙරට නිදහස වෙනුවෙන් ක‍්‍රියා කළහ. දෙස් විදෙස්  විශ්ව  විද්‍යාල වල උගත් නැණැති පිරිස් තමන් ගේ දාර්ශනික අදහස් වෙනුවෙන් වාද කරන ලද අතර එයින් පන්නරය ලැබූ ඔවුහු ජාතික දේශපාලනයට පැමිණ ජන සමාජය වෙනස් කරන අරගලයට උර දුන්හ. විශ්ව විද්‍යාලයේ දී හිතන්නට නැඹුරුව සිටි අදීන පිරිස මෑත කාලය දක්වා මෙරට සමාජ අභිවෘද්ධිය වෙනුවෙන් විශාල මෙහෙවරක් කරන බව සදහන් කරන්නට අවශ්‍යය.

විශ්ව විද්‍යාල අධ්‍යාපනය නැවතත් අරමුණු සහගත තැනක් බවට පත් කරන්නට අවශ්‍යය. වැරද්ද කොතැනක ද නොඑසේනම් වැරදි කළේ කොතැනින්ද යන්න සොයා ගැනීමට කාලය වියදම් කළ යුතු නැත. ශිෂ්‍ය ප‍්‍රජාවට විශේෂයෙන් උසස් අධ්‍යාපනය හදාරන සිසුන්ට දේශපාලනය තහනම් කරන ලද හෝ එසේ කරන්නට අවධානය යොමු කරන ලද රටවල් තිබේ. ශිෂ්‍ය පසුගිය වසර දෙක තුළ දේශපාලනය තහනම් කළ යුතු බවට ඉන්දියාවේ විශාල විවාදයක් තිබේ. එයින් අඟවන්නේ තරුණ ප‍්‍රජාව අධ්‍යයනය පැත්තකින් තබා අරගල කරන්නට දරන ප‍්‍රයත්නය රටකට බාධාවක් වී ඇති තරමය. ශ‍්‍රී ලංකාවේ තත්ත්වය ද එයට නොවෙනස්ය. ශිෂ්‍ය ප‍්‍රජාව තමන්ගේ අධ්‍යාපන අයිතිය සහ දේශපාලන අයිතිය වන පැති දෙක සාධාරණ තුළනයක පවත්වාගත යුතුය. එය එසේ පවත්වාගෙන යන්නට අපොහොසත් වන්නේ නම් විශ්ව විද්‍යාලය තුළ දේශපාලනය තහනම් කළ හැකි ද යන විවාදය ආරම්භ කිරීම සුදුසුය. කාලයකට පසු තත්ත්වය නිරාකරණය වීමෙන් පසු නැවතත් ශිෂ්‍ය ප‍්‍රජාවට දේශපාලනය කිරීමේ අයිතිය ලබා දිය හැකිය.

 

 

 

මාර යුද්ධය

ප්‍රතිචාරයක් ලබාදෙන්න

milinda-prashna

2017/10/04 –  ලංකාදීප

බුද්ධ චරිතය ගැන දන්නා සෑම සියළුම දෙනාටම මාර පරාජය යනු කුමක්දැයි යම් අවබෝධයක් තිබේ. 1956 මැතිවරණ සමයේ දී මාර යුද්ධය නමින් කාටුන් චිත‍්‍රයක් ජනතාව හමුවට පැමිණියේය. මාර පරාජය ගැන නොදන්නා ජන කොටස් පවා මාර යුද්ධය කාටුනයෙන් කියන්නේ කුමක්දැයි මැනවින් අවබෝධ කරගත්තේය. එය මහ මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයේ පරාජයට හේතු වූ බව රහසක් නොවේ. එක්සත් ජාතික පක්ෂයේ එවකට සිටි නායකයන් සම්බන්ධයෙන් තිබුණ නොරිස්සුම් හැඟීම මැනවින් අවුලා කෝපය ජනිත කරන්නට එක කාටුන් චිත‍්‍රයකට හැකි වූ අයුරු පසුව මාධ්‍ය භාවිතාව ගැන අධ්‍යයනය කරන්නන්ට හොඳ සාධකයක් විය.

මාර යුද්ධය කාටුන් චිත‍්‍රයෙන් පිළිබුඹු කරන ලද්දේ ජෝන් කොතලාවල අගමැතිවරයා ප‍්‍රමුඛ පිරිස අලියෙකු පිට නැග රැස් විහිදන බුදු පිලිමයක් අසලට පැමිණ ඝෝෂා කරන අන්දමය. එවකට සිටි අගමැතිවරයාගේ ක්ෂණික තීරණ, ඒවායෙන් ඇති වූ ප‍්‍රතිඵල සහ බෞද්ධ වටිනාකම් කෙරෙහි නොසැලකිල්ල මෙහි අඟවා තිබිණ. ශාසනය සම්බන්ධයෙන් එවකට පැවැති පාලනය අගෞරවයෙන් කටයුතු කළ ආකාරය උලූප්පවන ලද අතර භික්ෂූන් වහන්සේලා පවා කොතලාවල අගමැතිවරයා ශ‍්‍රී ලංකාවේ අගමැති ධුරයට නුසුදුසු සෙල්ලක්කාරයෙකු බව පෙන්වන්නට මෙම කාටුන් චිත‍්‍රය උපයෝගී කරගත්තේය.

සමාජයේ බිම් මට්ටමේ පවතින සංකල්ප, ජනතා හැඟීම් සහ බෞද්ධ පදනම කොතරම් බලවත් ද යන්න පෙන්වන එකී කාටුන් චිත‍්‍රය අදට ද එක්තරා උදාහරණයකි.

වර්තමානයේ ජන සමාජය තුළ බෙදීම් තිබේ. මත ගැටුම් බහුලය. අපහාස සහ උපහාස කරන අවස්ථා ඇති අතර ඉතා ඉක්මන් මාධ්‍ය භාවිතාව තුළ සමාජය ඔස්සේ පැතිරී යන ඒවායෙන් ඇති කරන ප‍්‍රතිඵලය සුළු කොට තැකීම නුසුදුසුය. පොදු ජන විඥාණය නොසලකා ක‍්‍රියා කරන ලද අවස්ථා ගණනාවක දී ගෙවන ලද වන්දිය බරපතලය. අප සියළු දෙනාටම එකී අවස්ථා අවසන් වූ ඛේදජනක ආකාරය ගැන හොඳ මතකයක් තිබේ. අන්තවාදය මගින් යහපත ඇති කරන්නේ නැත. අපහාසය ඉවසා දරාගත නොහැකි මොහොතක් එන අතර එය කෙළවර වන්නේ නොසිතන අන්දමේ භයානක පිපිරීමකින් බව ඉතිහාසය සාක්ෂි දරයි. පරිනත සමාජයක් වශයෙන් අඩු ලූහුඩුකම් ඉතා මැනවින් ඉවසන බව මතු පිටින් පෙනෙන නමුත් අභ්‍යන්තරයේ පවතින තත්ත්වය කුමක්දැයි ඉහළින් ඉන්නා නායකයන්ට දැනෙන්නේ නැත.

සමාජ සංහිඳියාව ගැන කතා කරන නමුත් අද සංඝ ශාසනය තැතිගන්වන කිසියම් කැළඹීමක් ඇති කර තිබේ. බොදුනු ජනතාව එයින් බෙදී ඇත. අන්තවාදී දේශපාලන මතිමතාන්තර මගින් ඒවා මුවහත් කරන අතර මෝදු වෙමින් පවතින ස්වභාවය එපමණ යහපත් නැත.

මෙයට හේතුව ජාති හෝ ආගම් පරතරය නොව පන්ති පරතරය බව පැහැදිලිය. ඉංගි‍්‍රීසියෙන් හිතන බටහිර පැවැත්ම අනුව ක‍්‍රියාකරන පැලැන්තිය සමාජයේ සාමාන්‍ය ස්ථරය ගැන නොසලකා ක‍්‍රියාත්මක වීමේ ප‍්‍රතිඵලයකි. අධිරාජ්‍යවාදීන්ගෙන් රට භාරගත් එක්තරා පෙලැන්තියක් දේශීය අනන්‍යතාවය අඩු තක්සේරුවකට ලක් කර තිබේ. ජනතාවගේ සිතුම් පැතුම් නොසලකන පැවැත්මක් ඇති කර තිබේ. මෙය එකවර නොව පසුගිය දශක හය තුළ ක‍්‍රමානුකූලව සිදුවූ බවව සඳහන් කළ යුතුය. අධිරාජ්‍යවාදීන්ගේ ආභාෂය හා දේශීයත්වය අතර සටනකි. ජාති ආගම් හා භාෂා වශයෙන් බෙදීම් ඇති කර පෙන්වන්නේ එයයි. උසස් යැයි සම්මත ඇතැම් පාසල් මගින් ඇතිකරන්නේ ද එකී භාවයන් තවදුරටත් ආරක්ෂා කරන රාමුව ආරක්ෂා කිරීමකි. මෙහි අවසානය කුමක් විය හැකිද?

ජන සමාජය තුළ අද සිදුවෙමින් පවතින මාර යුද්ධය ජන නායකයින්ගේ අවධානයට යොමු විය යුතුය. ආගම් නායකයන් හා දේශපාලන නායකයන් අලූතින් හිතන්නට අවශ්‍යය. අන්තවාදය තුළින් පැවැත්මක් නැත. අන්තවාදී සමාජ ගොදුරු වූ ඉරණම කෙබදු දැයි ජාත්‍යන්තර අත්දැකීම් පෙන්වා දෙයි. අප මුහුණ දුන් අතීත සිද්ධි නැවත නැවතත් තත්ත්වය මතු කර පෙන්වයි. සමාජ මධ්‍යස්ථභාවය හා සංයමය තේරුම් ගැනීම වැදගත්ය.