බොරු කියන ජනනායකයෝ

ප්‍රතිචාරයක් ලබාදෙන්න

milinda-prashna

2018/02/28 – ලංකාදීප

අද රට පාලනය කරන්නේ මෙරට ජනතාව ඉල්ලා සිටි ජන නායකයන්ද? දේශපාලන නායකයන් ගැන බලවත් ආඩම්බරයක් ජනතාවට තිබේ ද? මෙම ප‍්‍රශ්න අහන්නට සිදුවී ඇත්තේ ඇයි? මෙරට ඉතිහාසගත ශ්‍රේෂ්ඨ ජන නායකයන් ගේ පසුබිම අනුව සලකන විට මෙරට පක්ෂ හෝ විපක්ෂ දේශපාලනඥයන් බොහෝ දෙනෙකු ගේ හැසිරීම සුදුසු නැත. ඔවුන්ගේ පැවැත්ම වෙනස්ය. හැසිරීම පුදුමාකාර එකක් බව දැකිය හැකිය. දේශපාලනඥයන් විවිධ නායකත්ව ගුණාංග වලින් සමන්විත අතර පොදු ජනතාව අපේක්ෂා කරන ලක්ෂණ ඒ අතර නැති බව හොඳටම පැහැදිලිය. ඒ හේතුවෙන් දේශපාලනඥයන් ගේ ස්වභාවය හෑල්ලූ වී තිබේ. ජනතාවගේ නිසි ගෞරවය ලබාගන්නට අසමත් වී ඇත. සලකා බැලිය යුතු විශේෂ කාරණයක් සේ දැක්විය යුතුය.

යම් සිද්ධියක සත්‍ය හොඳින් දන්නා දේශපාලනඥයෝ කිසිම පැකිලීමකින් තොරව ඒ ගැන බොරු කියමින් සිටිති. මුහුණ දෙන අවස්ථාව අනුව මොනවා හෝ අසත්‍යයක් කියා ජනතාව රවටන්නට වැඩි දෙනෙකු හුරු වී තිබේ. කරන කියන දේ සතියෙන් සතිය වෙනස් කරයි. කැමරාවක් ඉදිරියේ අද කියන දේ තවත් දින කිහිපයක් ඇවෑමෙන් අමතක කරන මැති ඇමැතිවරු කිසිම අපහසුවකින් තොරව එයට සහමුලින්ම වෙනස් දෙයක් කියා ජනතාව රවටන බව පෙනේ. පොදු ජනතාව සිද්ධි අමතක කරන්නේ නැත. එසේ තිබිය දී දේශපාලකයන් හැසිරෙන අන්දම මෙරට ජනතාවට පුදුමයකි. පක්ෂ බේධයකින් තොරව පොදුවේ දේශපාලනඥයන් බරපතල සේ පිරිහීමකට ලක්ව ඇති බව මෑත කාලය තුළ මැනවින් දැක ගත හැකි වූ තත්ත්වයකි.

ජනතාවට බොරු කියන දේශපාලනඥයෝ ජන අවධානය දිනා ගැනීමේ අරමුණින් ගීත ගායනා කරති. මහ හඬින් කෑගසති. කිසිම පදනමක් නැතිව තමන්ගේ ප‍්‍රතිපාර්ශවයට බරපතල චෝදනා එල්ල කරන අතර වගවිභාගයකින් තොරව දුෂිතයා, හොරා, හෝ වංචනිකයා යනුවෙන් කියමින් ගරහති. ප‍්‍රතිවිරුද්ධ මතයක් ඉදිරිපත් කරන මහජන නියෝජිතයයෙකු පරාජය කිරීමට කරුණු පදනම් කරගෙන සංවාදයකට ඉදිරිපත් නොවන අතර චරිත ඝාතනය හොඳම ආයුධය සේ තෝරා ගනී. බොරු කීම, චරිත ඝාතනය හෝ වේදිකාවට නැග ජනතාව වෙනුවෙන් ගී ගැයීම යන මේවා ජනතාවගේ ගෞරවයට හේතුවන වැදගත් සාධක දැයි ප‍්‍රශ්න කළ යුතුය.

රට දියුණු කර ජනතාව සුඛිත මුදිත කරන බවට පොරොන්දු දී බලයට පත් වන දේශපාලනඥයන් සහ බලයට එන්නට සූදානම් වන දේශපාලනඥයන් අවසානයේ දී ජනතාවගේ කැමැත්තට ගරු කරන්නේ නැත.

ජනතාවගේ බලාපොරොත්තු ඉටු කරනු වෙනුවට ඔවුන් ඉදිරියේ අසත්‍ය ප‍්‍රකාශ කරමින් සහ වැරදි මත පතුරවමින් කි‍්‍රයාකරන දේශපාලනඥයන් පටු ආත්මාර්ථකාමීත්වය ප‍්‍රදර්ශනය කරයි. එය භයානක අවසානයක් කරා රට යොමු කරන බවට අනතුරු ඇඟවිය යුතුය. දේශපාලනඥයන් ගේ හැසිරීම අනුව ක‍්‍රමය ගැන විශ්වාසය බිඳ වැටෙන විට ජනතාව වෙනත් විකල්ප කෙරෙහි නැඹුරු වීමට ඉඩ තිබේ. ලෝකයේ වෙනත් රටවල පමණක් නොව ශ‍්‍රී ලංකාවේ ද එවැනි අවස්ථා වලට උදාහරණ තිබේ.

මිත්‍යාව ඉදිරියට ගෙන අසත්‍ය දේ පතුරවා ජනතාව රුවටීම නායකයන්ගෙන් අපේක්ෂා කරන දෙයක් නොවේ. ප‍්‍රතිපත්ති ගරුකව හැසිරෙන්නට අවශ්‍යය. ජනතාවගේ යහපත වෙනුවෙන් ක‍්‍රියා කිරීම හා කැපවීම මැනවින් ප‍්‍රදර්ශනය කළ යුතුය. දේශපාලනඥයන් ජනතාවගේ නිගරුවට හෝ හාස්‍යයට ලක්වීම සුදුසු නැත. අවබෝධකරගත යුතු  වැදගත්ම කාරණය එයයි.

 

 

 

අත්හරින්න අකමැති ඇයි?

ප්‍රතිචාරයක් ලබාදෙන්න

milinda-prashna

2018/02/21 – ලංකාදීප

පලාත් පාලන ඡන්දයට පසු උදා වී ඇති දේශපාලන වාතාවරණය ගැන නොයෙක් අදහස් මතු වී තිබේ. ඡන්දය පැවැත්වූයේ ගම් මට්ටමේ පහලම ඒකකය සඳහාය. නමුත් ආණ්ඩුවේ ඉහළම තැන දක්වා සසල වී තිබේ. මෙරට ආණ්ඩු පක්ෂ සහ විපක්ෂ දේශපාලනඥන් විශාල ඝෝෂාවකය. ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය එයට එකතු වී ඇත. මාධ්‍ය ජන මතය නියෝජනය කරයි. පොදුවේ ජනමතය පමණක් නොව ෆේස් බුක් හා ට්විටර් ඇතුළු සමාජ මාධ්‍ය මගින් ඇති කරන පුද්ගලික අදහස් ද එකතුවීමෙන් පසු රට තුළ ඇතිකරන ලද වාතාවරණය කිසිසේත් සන්සුන් එකක් නොවේ.

දේශපාලන බලය තාවකාලික එකකි. ජනතාව සිය නියෝජිතයන් වෙත කැමැත්ත පළ කිරීමෙන් පසු ආණ්ඩුවේ බලය නිර්මාණය වන අතර ජනතාව තමන් වෙත කැමැත්තක් නැති බව තේරුම් යන අවස්ථාවේ දී පාලකයන් එය නිසි සේ වටහා ගත යුතුය. එයට හේතුවක් තිබේ. පරමාධිපත්‍ය ජනතාව සතු එකකි. එය තමන් සතුව ඇති එකක් වශයෙන් බලයට පත් දේශපාලනඥයන් කල්පනා කිරීම නුසුදුසුය.

ආණ්ඩුව කරගෙන යන්නට පමණක් නොව අත් හරින්නට ද  ප‍්‍රබල ආත්ම ශක්තියක් අවශ්‍යය. ජනතාව වෙනුවෙන් භාරකාරීත්වයක් පමණක් උසුලන ආණ්ඩුවකට එය අයිතිකර ගැනීමේ බලයක් තිබිය යුතු නැත. බලය අත් හැරීම ගැන බුද්ධ දේශනාවේ පැහැදිලිව සදහන් කර තිබේ. අනෙක් ආගම් වල ද අයිති කරගැනීම හා නිසි අවස්ථාවේ දී නිසි සේ අත් අත්හැරීම ගැන විග‍්‍රහ කර ඇත. පාලනය ගැන ප‍්‍රතිපත්තිය කෙබදු එකක් ද යන්න ඒවායෙන් පෙන්වා දෙන බලවත් කරුණකි.

ශ‍්‍රී ලංකාවේ දේශපාලනඥයන් අත් හරින්නට අකමැති ඇයි? තවත් කොටසක් අත් හරින සේ බල කරන අතර ආණ්ඩුව අල්ලා ගන්නට මානබලන්නේ මන්ද? ආණ්ඩු බලය යැපෙන්නට හොඳ උල්පතක් වී ඇති හෙයින්ය. ශ‍්‍රී ලංකාව ඇතුළු දියුණු වෙමින් පවතින බොහෝ රටවල දේශපාලනය බලවත් ධන ආකරයකි. ජනතා සේවයට ඉදිරිපත්වන දේශපාලනඥයෝ ආණ්ඩු පක්ෂයේ අසුන් ගන්නට කැමැතිය. අමාත්‍යංශයක දේපොල පාලනය කරන්නට සහ ඒවායෙන් ප‍්‍රයෝජන ලබන්නට අතිශය ආසා කරති. ආණ්ඩුව යනු මහජන නියෝජිතයන් නඩත්තු කරන තැනක් බවට පත්ව ඇති අතර යාන වාහන, දීමනා, විදේශ සංචාර ඇතුළු දේ සහිතය. මැති ඇමැතිවරුන්ගේ පවුල් හා ඒ වටා නඩත්තු වන කොට්ඨාශයක් ද බලය අත හැරීම වලක්වන සාධකයකි. පසුගිය දිනවල රූපවාහිනී නාලිකා මැති ඇමැතිවරු අගමැති හා ජනාධිපති නිල නිවසට යන එන අයුරු පෙන්වූ අතර වාහන වල ස්වභාවය අනුව ශ‍්‍රී ලංකාව කිසිසේත් දියුණු වෙමින් පවතින රටක් නොවන බව පෙනේ. එවැනි වාහනයක් පාවිච්චි කරනු සඳහා කොපමණ මුදලක් අවශ්‍ය දැයි පොදු ජනතාවට වැටහීමක් තිබේ. කරුණු මෙසේ හෙයින් බලයේ ඉන්නා ජන නායකයන්ට අත් හරිනු සඳහා තීරණයක් ගත නොහැකිය. ආණ්ඩුවට පිටතින් ඉන්නා පිරිස බලය තමන්ගේ කර ගැනීමට විශාල වෑයමක් දරති. බලය අල්ලා ගැනීම හා අත් හැරීම හැර අන් කාර්යයක් ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ නැති තරමට ස්වභාවය අතිශය සංකීර්ණ වී තිබේ.

ආත්ම ගෞරවය නොසලකා ධනය හා බලය වෙනුවෙන් සටන් කරන දේශපාලනඥයන් දකින පොදු ජනතාව කම්පා වී සිටිති. පිරිහීමක තරම ගැන කතාකරන්නේ මහත් වික්ෂෝපයෙන්ය. තමන්ගේ නායකයා ගැන කනස්සල්ලෙන්ය. පැරණි දේශපාලනඥයන් තම වත්කම් අත් හරිමින් රට වෙනුවෙන් සේවය කළ බව ජනතාවට මතකය. කිසිදු ලාභ සත්කාරයක් අපේක්ෂා නොකර එඩිතරව සිටි බව සිහිපත් කරති. අත්හරින්නට මැලිකමක් නොදැක්වූ ඔවුහු ජනතා අවශ්‍යතා පළමු තැනෙහි ලා සැලකූහ. නායකයන් ගේ හැසිරිම රට ද ජාතිය ද පිරිහෙන්නට බලපාන එක ප‍්‍රධාන කරුණක් බව සඳහන් කළ යුතුය.

පුරවැසි උපදේශක කමිටු

ප්‍රතිචාරයක් ලබාදෙන්න

milinda-prashna

2018/02/14 – ලංකාදීප

පලාත් පාලන ඡන්දය අවසන්ය. එහි ප‍්‍රතිඵලය ගැන විවිධ කෝණ වලින් විශ්ලේෂණ පළවෙයි. ජයග‍්‍රහණය සඳහා තරග කරන ලද පමණක් නොව ප‍්‍රමාණවත් ඡන්ද ලබා ගැනීමට අපොහොසත් වූ අපේක්ෂකයන්ට ද ප‍්‍රදේශයේ පැවැත්ම යහපත් පැත්තට හැරවීමේ වගකීමක් තිබේ. දේශපාලන පක්ෂයක් හෝ ස්වාධිනව වෙන්ව තරග කළේ ඡන්දය වෙනුවෙන්ය. සටන අවසන්ය. බේධ අමතක කළ යුතුය. තමන් ජීවත්වන ප‍්‍රදේශය ගොඩනැගීම ජනතාවගෙන් සුළු ඡන්ද ප‍්‍රමාණයක් හෝ ලබාගත් සියළු දෙනා ගේ යුතුකමකි.

ප‍්‍රාදේශීය සභාව, නගර සහාව සහ මහ නගර සභාව යන අංශ ජනතා ආයතනයි. පොදු ජනතාවගේ එදිනෙදා කටයුතු කරගැනීම සඳහා ඒවායෙන් සේවාව සැපයේ. රජයේ නිලධාරීන් එහි කාර්ය ඉටු කරන අතර පොදු ජන අවශ්‍යතා පරිදි විධි විධාන සකස් කිරීම මහජන නියෝජිතයන් ගේ වගකීමයි. පත් කරගත හැකි සීමිත පිරිස තෝරා ගැනීමෙන් පසු තරග කරන  ලද සෙසු පිරිස ද දක්ෂ නායක පිරිසකි. එම අය ඈත් කිරීම නොව සමීප කරගැනීම පලාත් පාලන ව්‍යුහයේ දර්ශනය විය යුතුව තිබේ.

ඉතිහාසය අධ්‍යයනය කරන විට ආණ්ඩු හා පලාත් පාලන ආයතන අතර විශාල පරතරයක් තිබුණි. ගම්සභාවට දේශපාලනය යහමින් තිබුණේ නැත. ස්වේච්ඡා

වෙන් ඉදිරිපත් වූ පිරිසක් ඉතා කැපවීමෙන් තමන් ජීවත්වන ප‍්‍රදේශයේ අඩුපාඩු සොයා බලා සම්පූර්ණ කරගත්හ. දශක කිහිපකට පසු පලාත් පාලන ව්‍යුහය දේශපාලන බල අරගලයේ කොටසක් බවට පත්ව ඇති අතර පොදු ජනතාව හා මහජන නියෝජිතයන් අතර පරතරයක් ගොඩනැගෙමින් තිබේ. එය නුසුදුසු තත්ත්වයකි.

අලූතින් පලාත් පාලන ආයතන වලට පත් වූ මහජන නියෝජිතයන් හා ප‍්‍රදේශයේ ජීවත්වන ජනතාව අතර සම්බන්ධය අඛණ්ඩව පවත්වාගෙන යන්නට පහසුව සලසන ක‍්‍රමයක් අවශ්‍යව තිබේ. පුරවැසි උපදේශක කමිටු පිහිටුවීම යොජනාවක් වශයෙන් ඉදිරිපත් කළ හැකිය. සිංගප්පූරු අගමැති ලී ක්වාන් යූ මහතා එය අදහසක් වශයෙන් ඉදිරිපත් කළේ 1963 දීය. ජන කොටස් අතර ගැටුම් වලක්වා මිත‍්‍රත්වය ඇතිකරන ඒකක වශයෙන් ආරම්භ කර පසුව පුරවැසි උපදේශක කමිටු බවට හැරවීය. එය ජනතාව හා මහජන නියෝජිතයන් අතර සංවාදය පවත්වාගැනීමට ඉවහල් වූ භව සඳහන් කළ යුතුය.

පලාත් පාලන ආයතනයක බල ප‍්‍රදේශය තුළ ග‍්‍රාමසේවා වසම් මට්ටමින් පුරවැසි උපදේශක කමිටු පත් කළ හැකිය. ගමේ නායකත්වය ගන්නට කැමැති අයටත් වැඩිහිටි දැන උගත් අයටත් එය විවෘත කිරීම සුදුසුය. අවශ්‍යනම් ග‍්‍රාම නිලධාරී මහතා ලේකම් වශයෙන් පත් කරගැනීම සුදුසුය. මාසයකට වතාවක් හමුවී පොදු දේ ගැන සාකච්ඡා කළ හැකි අතර එයින් මතුවන කරුණු සමග එක නියෝජිතයෙකුට ප‍්‍රාදේශීය සභාව හෝ මහ නගර සභාවේ රුස්වීමට කරුණු වාර්තා කරන්නට පසුබිම සකස් කරගැනීමට හැකිය. ඡුනතා ඡුන්දයෙන් පත්වන නියෝජිතයන්ට අමතරව සමාජ සේවාවක් වශයෙන් ගම ගැන උනන්දු පිරිසකට ද හ`ඩ මතු කරන්නට අවස්ථාව ලැබේ.

අලූත් ඡුන්ද ක‍්‍රමයක් මගින් අලූත් ව්‍යුහයක් හදා පලාත් පාලන ආයතන වලට නියෝජිතයන් පත් කරගත් පසු එය විශාල ජයග‍්‍රහණයක් බවට හැරෙන්නේ කි‍්‍රයාත්මක වන ස්වභාවය අනුවය. ජනතා සහභාගීත්වය ඉතාම වැදගත්ය. කැළි කසල බැහැර කිරීම, වැසි ජලය පාලනය සිට අනවසර ඉදිකිරීම් ගැන පවා දන්නේ ජනතාව හැර දුර බැහැර අය නොවේ. ඔවුන්ට නිදහසේ කතා කර තමන්ගේ අවශ්‍යතා මතුකර සාකච්ඡාවට ගත හැකි සහ ඒවා ඉටුකරගත හැකි පසුබිමක් හදාගත හැකි නම් පලාත් පාලනයෙන් ජනතාවට ලබා ගත හැකි ජයග‍්‍රහණය එයයි. පුරවැසියන් එකතු වී තම තමන්ගේ අදහස් මතුකරන පොදු වේදිකාවක් සේ පුරවැසි කමිටු ඇති කර ඒවා පලාත් පාලන ආයතනයට සම්බන්ධ කළ හැකි නම් රට තුළ පලාත් පාලන ව්‍යුහයේ වෙනසක් කරන්නට යම් අවස්ථාවක් නිර්මාණය කරගත හැකිය.

 

විදුලිය වාහන උදෙසා යටිතල පහසුකම්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

milinda-prashna

2018/02/07 – ලංකාදීප

ශ‍්‍රී ලංකාව විදුලිබලයෙන් වාහන ධාවනය කරන අලූත් යුගයට ඇතුළු වීමට සූදානම්ය. මෙම වසරේ අය වැය මගින් විදුලි වාහන වලට විශේෂ බදු සහන ප‍්‍රකාශයට පත් කර තිබේ. විදුලිය බලයෙන් ධාවනය වන බස් රථ පනහක් මිල දී ගැනීමට මුදල් වෙන් කර ඇත. වසර 2040 වන විට ඉන්ධන වාහන භාවිතය අඩු කරන්නට රජය තීරණය කළේය. මෙරට වාහන භාවිතා කරන අය අතරින් සැලකිය යුතු පිරිසක් විදුලි බලයෙන් ධාවනය වන වාහන පාවිච්චි කරන බව පෙනේ. ඉදිරියේ දී එය තවත් වර්ධනය වනු ඇත. මහා මාර්ගයේ ධාවනය වන වාහන විදුලි බලයට හැරෙන විට ඒ වෙනුවෙන් අවශ්‍යකරන යටිතල පහසුකම් දියුණු කරනු සඳහා අවධානය යොමු කිරීම අවශ්‍යය.

බි‍්‍රතාන්‍යයේ ප‍්‍රකට තෙල් සමාගමක් වන ෂෙල් ආයතනය අලූත් පැත්තකට හැරී තිබේ. සිය ඉන්ධන බෙදාහැරීමේ මධ්‍යස්ථාන ආශි‍්‍රතව වාහන විදුලි ආරෝපන ඒකක පිහිටුවීම පසුගිය වසරේ දී ආරම්භ කළේය. බී.පී. නමැති එරට තවත් ඛනිජ තෙල් බෙදා හරින සමාගමක් මෙයට සති කිහිපයකට කලින් ඔවුන්ගේ ඉන්ධන අලෙවි කරන ෂෙඞ් වල වාහන විදුලිය ආරෝපන මධ්‍යස්ථාන පිහිටුවීය. මෙම ආයතන දෙක තෙල් පමණක් නොව විදුලිය මගින් චාර්ජ් කිරීමේ සේවාව ද පවත්වාගෙන යයි. ෂෙල් සමාගම දක්වන අන්දමට වාහන වල බැටරි පද්ධතිය පැය භාගයක් ඇතුලත සියයට අසූවකින් බල ගැන්වීමට මෙම ආරෝපන මධ්‍යස්ථාන සමත්ය. සමාගම සිය ඉන්ධන පිරවුම්හල් තුළ ඉලෙක්ටි‍්‍රක් වාහන ආරෝපනය කරන්නේ ඇයි යන ප‍්‍රශ්නයට ද උත්තර දී තිබේ. වසර දහයකට කලින් එකම විදුලිය වාහනයක් වත් නොතිබුණ ලන්ඩන් නගරය තුළ දිනකට විදුලියෙන් ධාවනය වන වාහන ලක්ෂ ගණනක් පාවිච්චි කරන අතර ඉදිරි වසර දහය තුළ එය වේගයෙන් ව්‍යාප්ත වනු ඇතැයි සැලකේ. ඉන්ධන විකිණෙන්නේ නැති පිරවුම්හල් වෙනුවට වාහන ආරෝපනය කරන තැන් බවට ඒවා හැරවෙමින් තිබේ.

ඉන්ධන පිරවුම් හල් වාහන විදුලි ආරෝපන ඒකක පිහිටුවන්නේ ඇයි? එය පාරිභෝගික අවශ්‍යතාවය වන බව පැහැදිලිව පෙනෙන හෙයින්ය. ලෝකයේ නොයෙක් රටවල් ඉදිරි දශක කිහිපය තුළ භාවිතා කරන වාහන ඉන්ධන පරිභෝජනයෙන් තොර වනු ඇතැයි අපේක්ෂා කරයි. ඇතැම් ප‍්‍රධාන නගර දින වකවානු නියම කර ඛනිජ තෙල් වාහන ගමනාගමනය නතර කරන්නට සූදානම් වෙයි. මෝටර් රථ නිපදවන ප‍්‍රධාන පෙලේ සමාගම් ගණනාවක් ඉදිරි කාලය තුළ එන්ජිමක් නැති වාහන නිපදවන අරමුණ ඇතිව සිටී. එය රථවාහන ඉන්ධන භාවිතය බිංදුව දක්වා අඩු කරන සැලැස්මක එක කොටසක් වනු ඇත.

ශ‍්‍රී ලංකාව ද මෙම ස්වභාවයට නැඹුරු විය යුතුය. මෙරට ඉන්ධන අලෙවියෙහි නිරත සමාගම් වලට පමණක් නොව ඉන්ධන බෙදාහරින ෂෙඞ් වලට ද පැවැත්ම ගැටළු සහගත වියහැකි දිනයක් ලඟා වෙමින් තිබේ. ඉන්ධන පමණක් නොව වාහන වල බැටරි ආරෝපනය කරන්නට ද මෙම තැන් වල පහසුකම් ඇති කිරීම සුදුසුය.

මෙරට විදුලි වාහන භාවිතය වැඩි වෙමින් පවතින අතර තවමත් ඒවා ප‍්‍රධාන නගර අවට ධාවනයට සීමා වී තිබේ. නගරයෙන් තවත් නගරයකට ගමන් කරන විට ඒවා නැවත චාර්ජ් කරගැනීමට අවස්ථා නැත. රට තුළ ප‍්‍රධාන නගර වල අලූත් ඉඩම් සොයාගෙන අලූතින් වාහන බැටරි ආරෝපනය කරන්නට තැන් සකස් කරන අතර තුර පවතින තෙල් බෙදාහැරීමේ මධ්‍යස්ථාන ආශි‍්‍රතව චාර්ජ් කිරීමේ පහසුව ඇති කරන්නට ඇති හැකියාව සොයා බැලීම අවධානය යොමු කළ යුතු පැත්තකි.

කැලණිය අනන්‍යතාව

ප්‍රතිචාරයක් ලබාදෙන්න

milinda-prashna

ලංකාදීප – 2018/02/01

කැලණිය රජ මහා විහාරස්ථානය වාර්ෂිකව සංවිධානය කරන දුරුතු පුන් පොහෝ දින පින්කම් මාලාව අධි දුරුතු පොහොය දිනයට යෙදුණි. ආගමික සහ සංස්කෘතික අනන්‍යතාව දක්වන පෙරහැර ඊයේ රාත‍්‍රී වීදි සංචාරය කළේය. අද දස දහස් සංඛ්‍යාත උපාසක උපාසිකාවෝ සිල් සමාදන් වී සිටිති. ගෞතම බුදු රජාණන් වහන්සේ පළමු වතාවේ දී මහියංගනයට වැඩම කරන්නේ දුරුතු පොහොය දිනකය.

දුරුතු පුන් පොහොය දිනය මෙරට බොදුනුවන්ට ඉතා වැදගත්වන්නේ එහෙයින්ය. එම අවස්ථාවේ දී මණිඅක්ඛික නා රජු ගෞතම බුදු රජාණන් වහන්සේ වෙත කැලණියට වැඩම කරන ලෙස ආරාධනා කළේය. එය පිලිගත් බුදු රජාණන් වහන්සේ කැලණිය පූජා භූමියට වැඩම කරන ලද අතර සමනොල කන්දේ සිරිපා සටහනක් ද තබන ලද බව මහා වංශයේ සඳහන්ය. කැලණිය පදනම් කරගෙන විසූ මණිඅක්ඛික රජු නොවේ නම් බුදුන් වහන්සේ ලංකාවට තුන් වතාවක් වැඩම නොකරන්නට ඉඩ තිබුණි. ඇරයුම් කිරීම ගැන කෘතවේදීත්වය පළ කරනු සඳහා මණිඅක්ඛික නා රජු ගේ ප‍්‍රතිමාවක් මෙවර කැලණිය දුරුතු මහ පෙරහැරට නවාංගයක් වශයෙන් එකතු කරන්නට විහාරාධිපති මහාචාර්ය කොල්ලූපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමිපාණෝ තීරණය කළහ. චිත‍්‍ර ශිල්පී සෝලියස් මැන්දිස් මහතා ගේ නිර්මාණයක් ඇසුරු කරගනිමින් තායිලන්තයේ දී සකස් කර මෙරටට ගෙන එන ලද මණිඅක්ඛික නා රජ ප‍්‍රතිමාව රජමහා විහාරස්ථානය දක්වා කැලණී ගඟ ඔස්සේ යාත‍්‍රා පෙරහැරකින් ප‍්‍රවේශ කරවීම පසුගියදා සිදුවිය. ප‍්‍රතිමාව ප‍්‍රවිෂ්ඨ කිරීම  වෙනුවෙන් ශිලා ලේඛනයක් ප‍්‍රතිශ්ඨාපනය කරන ලද අතර ප‍්‍රතිමාව වාර්ෂිකව පවත්වන දුරුතු මහා පෙරහැර සඳහා ඇතුලත් කරන බව දැක්වෙයි. කෘතවේදීත්වය වෙනුවෙන් සංස්කෘතිකාංග එකතු කිරීම ඉතා වැදගත් මෙහෙවරකි.

කැලණියට වැඩම කරන ලද බුදු රජාණන් වහන්සේ ධර්ම දේශනාවක් ද කර තිබේ. එය ද අවධානයට ගත යුතුය. ලංකාවත‍්‍ර සූත‍්‍රය සේ එය දැක්වෙයි. කැලණියේ දී බුදු රජාණන් වහන්සේ දේශනා කරන ලද සූත‍්‍රය මෙරට බෞද්ධ සමාජය අමතක කර තිබේ. එයට හේතුව එය මහායාන බුද්ධාගමට අයත් සූත‍්‍රයක් සේ වර්ගීකරණයවීමය. ලංකාවත‍්‍ර සූත‍්‍රය චීනය, ජපානය ඇතුළු රටවල බුදු දහමට එකතු වී ඇත. චීන බුද්ධාගම හෙන් බුදු දහම වශයෙන් ද ජපන් බුද්ධාගම සෙන් වශයෙන් ද භාවිතා වන අතර ලංකාවත‍්‍ර සූත‍්‍රය එහි වැදගත් කොටසක් සේ පිලිගැනේ. පෙරදිග රටවල වියට්නාමය හා කොරියාව දක්වා පැතිරී ඇති බුදු දහම තුළ මහායාන පාර්ශවය මෙම දේශනාවට මහත් ගෞරවයක් දක්වති.

කාලය ගත වන විට නිර්මල බුදු දහමට නොයෙක් අංග එකතු වී තිබේ. දහම මගින් අනාවරණය කරන දර්ශනයට සමාන්තරව භක්තිය ඇතිකරන අංග මිශ‍්‍රවීම කාලානුරුපව සිදුවන ලද නමුත් බුද්ධිමත් පරම්පරාවක් වශයෙන් සත්‍ය ගවේශනය කළ යුතුය. මහායාන බුද්ධාගම යනුවෙන් වෙන්කර පසෙකට කරන ලද නමුත් කැලණියේ දී දේශනා කරන ලද බුද්ධ දේශනාව ධර්මයෙන් ඉවත් කළ නොහැකි කොටසකි.

මණිඅක්ඛික නාග රජු ගේ කාර්ය භාරය වෙනුවෙන් කෘතවේදීත්වය පළ කරනු පමණක් නොව ලංකාවත‍්‍ර Lankavatara Sutra යනුවෙන් සංස්කෘත භාෂාවෙන් දක්වන සූත‍්‍රය සොයා ගෙන එය සංරක්ෂණය කිරීමේ අවශ්‍යතාවය සැලකිල්ලට ගත යුතුය. එය ශ‍්‍රී ලංකාවේ අනන්‍යතාවයකි. කැලණිය පුණ්‍ය භූමියෙන් ශී‍්‍ර සද්ධර්මය පැතිරී ලෝකය පුරා විහිදීම පිලිබඳව දක්වන අවස්ථාවකි. මෙරට උරුමයේ එක්තරා කොටසකි. මෙකී කර්තව්‍ය ගවේශනය කිරීමෙහි වගකීමක් මෙරට පර්යේෂකයන්ට තිබේ. අඩුම තරමින් එහි පැරණි ලේඛන ඇතොත් සොයා බලා නිසි සංරක්ෂණයට පියවර ගත යුතුය.