පාසල් දරුවන්ගේ ආත්ම ගෞරවය ආරක්ෂා කිරීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

milinda-prashna

2018/04/25 – ලංකාදීප

අලූත් පාසල් වාරය ආරම්භ වී තිබේ. අලූත් අවුරුද්දට පසු පළමුවෙන් පාසලට එන මෙරට දරු දැරියන් අධ්‍යාපනය ගැන අපේක්ෂා පෙරදැරිව සිටිති. ඔවුන්ගේ ආරක්ෂාව හා ආත්ම ගෞරවය ගැන පුලූල් අවධානයක් යොමු කළ යුතුව ඇත. දියුණු වෙමින් පවතින රටක් වශයෙන් උසස් ගුණාංග කෙරෙහි අවධානය යොමු කළ යුතුය. දරුවන් කෙරෙහි ජන සමාජය දක්වන ගැඹුරු ආකල්ප එහිලා ඉතාමත් වැදගත්ය. හොඳම දේ දරුවන්ට යැයි කියන මෙරට සමාජය ප‍්‍රායෝගිකව එය එතරම් අනුගමනය කරන්නේ දැයි ප‍්‍රශ්නයක් පැන නගී.

පාර්ලිමේන්තු නියෝජිතයන් හෝ දේශපාලනඥයන් පාසලකට පැමිණීමේ දී අනුගමනය කළ යුතු විධි විධාන අරභයා ඔස්ටේ‍්‍රලියාවේ වික්ටෝරියා ප‍්‍රාන්තය නියෝග මාලාවක් නිකුත් කර තිබේ. පාසල් කාලය තුළ පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන් කිසියම් උත්සවයකට කැ`දවිය හැකි නමුත් එසේ කරන්නේ නම් දෙමාපියන්ගෙන් සැදුම්ලත් පාසල් පාලක මණ්ඩලයේ උපදෙස් ලබාගත යුතුය. එකී පාලක මණ්ඩල නිර්දේශය සහිත ලිඛිත ඉල්ලීමක් විදුහල්පතිවරයා අධ්‍යාපන බලධාරීන්ගේ අනුමැතියට යොමු කළ යුතු අතර උත්සවය ආවරණය කිරීමට ජනමාධ්‍ය සහභාගී වෙනවා ද නැද්ද යන්න පැහැදිලිව දැක්විය යුතුව තිබේ. එම සඳහන සහිතව අනුමැතිය නැත්නම් මාධ්‍ය ආවරණය තහනම්ය.

මැතිවරණයක් ප‍්‍රකාශයට පත් කර ඇති කාලසීමාවක දේශපාලනඥයන් පාසලකට එන විට වෙනම නීති පද්ධතියක් වික්ටෝරියා ප‍්‍රාන්තයේ ඇත. පාසලේ සෑම සාමාජිකයෙකුම නිර් දේශපාලනික වන අතර කිසියම් අපේක්ෂයෙකුට පාසලට ඇතුළු වීමට අවස්ථාව ලබා දුනහොත් අනෙක් පක්ෂ අපේක්ෂකයන්ට ද සමාන ඉඩකඩක් වෙන් කළ යුතුය. දේශපාලන අරමුණ ඇතිව පැමිණීම ද පාසල් පාලක මණ්ඩලයේ උපදෙස් පරිදි අධ්‍යාපන අධ්‍යක්ෂකවරයාගේ අනුමැතිය ලබා ගැනීමට විදුහල්පතිවරයාට සිදුවෙයි. පාසලේ ගුරුවරුන් ඇතුළු කිසිවෙකු ගේ ඡුායාරූප දේශපාලන වාසි තකා මාධ්‍ය වල පළ කිරීමට ඉඩ නැත. අඩුම තරමින් පාසල් දරුවන් සිටින පින්තූරයක් පළ කරන්නේ නම් එක් එක් ළමයා ගේ දෙමාපියන් අමතා ලිඛිත අවසර ගැනීම අනිවාර්ය කර තිබේ. ප‍්‍රචාරක පෝස්ටර් හෝ පත‍්‍රිකා බෙදාහැරීම තහනම්ය. රජයේ නිල කාර්යයක දී අදාල ඇමැතිවරයා හෝ ඔහු බලය පවරන ලද මහජන නියෝජිතයෙකුට පාසලේ උත්සවයකට සහභාගී විය හැකි අතර එහි දී දේශපාලන ප‍්‍රකාශ හෝ මැතිවරණ ප‍්‍රචාරය ස`දහා ඉඩ නැත. ආණ්ඩු පක්ෂයට හෝ විපක්ෂයට මෙම නීතිය සමානව පනවා තිබේ. නීතියට පටහැනි දෙයක් සිදුවුවහොත් එහි වගකීම විදුහල්පතිවරයාට දරන්නට සිදුවෙයි. පාර්ලිමේන්තු නියෝජිතයෙකු හෝ දේශපාලනඥයෙකු පාසල් භූමියට එන්නේ නම් එය නිශ්චිත වශයෙන්ම දරුවන්ගේ යහපත හා අධ්‍යාපනයේ දියුණුව සලකා පමණක් බව ඉතා තදින් අවධාරණය කර ඇති කරුණකි.

වික්ටෝරියා ප‍්‍රාන්තයේ මෙම තද පාලනය පාසල් අධ්‍යාපනය නංවන්නට හේතු වී ඇත. දරුවන්ගේ ආත්ම ගෞරවය ආරක්ෂා කරන අතර පාසල දේශපාලනයෙන් තොර තැනක් බවට පත් කර තිබේ. දේශපාලන මතිමතාන්තර හා වාද විවාද පාසල් ගේට්ටුවෙන් එපිට පවතින අතර අධ්‍යාපනය අඛණ්ඩව කරගෙන යාමට පහසුව සැලසීම මෙමගින් අරමුණු කර ඇති බව පෙනේ.

දේශපාලනඥන් පාසලකට එන විට තූර්ය වාදන කණ්ඩායම් යොදවා දරු දැරියන්ගේ ආචාර සමාචාර මැද පෙරහැරකින් කැඳවීම මෙරට සාමාන්‍යයෙන් සිදුවෙයි. බොහෝ අවස්ථාවල දී දේශපාලනඥයන් හමුවේ පාසල් දරුවන් අගෞරවයට පත් වෙති. පාසල් ප‍්‍රධානීහු ද මැති ඇමැතිවරු හා ප‍්‍රාදේශීය නායකයන් හමුවේ අසරණ වන අවස්ථා  නිරීක්ෂණය කළ හැකිය. අවු වැසි නොතකා දේශපාලන උත්සව වල දරුවෝ පෙල ගැසී සිටින අවස්ථා මාධ්‍ය වලින් පෙන්වන්නේ ඉතා අශෝබන අන්දමටය. මෙවැනි නුසුදුසු දේ ගැන අලූතින් හිතන්නට අවශ්‍යය. ආදි ශිෂ්‍ය සංගම්,  පාසල් ගුරු දෙගුරු සමිති යනාදී අංශ දරු පරපුරේ උන්නතිය ගැන අවධානය යොමු කළ යුතුය. වික්ටෝරියා ප‍්‍රාන්තයටත් වඩා සාධාරණ ප‍්‍රතිපත්ති සකස් කරන්නට නුපුළුවන්කමක් නැත. නීති ක‍්‍රියාත්මක කළ හැකි නිදහස් වාතාවරණයක් ගොඩනගා ගැනීම ද වැදගත්ය. නව පාසල් වාරයේ දී පාසල් දරුවන් ගේ ආත්ම ගෞරවය ගැන හිතමු.

 

 

පොදු ගමනාගමනය නොමිලේ

ප්‍රතිචාරයක් ලබාදෙන්න

201milinda-prashna8/04/18 – ලංකාදීප

ශ‍්‍රී ලංකාවේ පොදු ප‍්‍රවාහනය ගැන ප‍්‍රශ්න තිබේ. සාමාන්‍ය ජනතාවට සිය දිනපතා ගමන බිමන තිත්ත වී ඇත. පාසලට, කාර්යාලයට හෝ වෙනත් කාර්යයකට මහපාරට එන ජනතාවට පොදු ප‍්‍රවාහන සේවාව නිසි පහසුව සලසන්නේ නැත. කාලය නාස්ති කිරීම එක පැත්තකින් ප‍්‍රශ්නයකි. අනෙක් පැත්තෙන් ගමනා ගමන වියදම නිතිපතා ඉහළ යන බව පෙනේ. ඉතාම අපහසුවෙන් බස් රථ හා කෝච්චි වල එල්ලී ගමන් කරන මගීන් ගැන ප‍්‍රමාණවත් අවධානයක් යොමු විය යුතුය. පොදු ප‍්‍රවාහනය වැඩි දියුණු කිරීම සඳහා ලෝකයේ හොඳම අදහස් රටට තිබේ. නමුත් ක‍්‍රියාවට නැගෙන්නේ නැත. පසුගිය සිංහල හා දෙමල අලූත් අවුරුදු කාල පරිච්ෙඡ්දය එයට හො`ද උදාහරණයකි. ජනතාව ගම් බිම් බලායන්නට අප‍්‍රමාණ පීඩාවක් විඳන ලද බව නොරහසකි.

ප‍්‍රංශයේ බටහිර ප‍්‍රදේශය පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ සිට එම ප‍්‍රදේශයේ වැසියන්ට නොමිලේ බස් ගමන් වාර පවත්වාගෙන යයි. එහි ප‍්‍රතිඵලයක් ලෙස පොදු ප‍්‍රවාහනය භාවිතා කරන මගීන් ප‍්‍රමාණය සියයට එකසිය තිහකින් වැඩි වී ඇත. නගරයට එන වාහන ප‍්‍රමාණය බොහෝ සෙයින් පහත වැටී තිබේ. පොදු ප‍්‍රවාහනය නොමිලේ සහ කාර්යක්ෂමව සැපයීම පදනම් කරගෙන කාලය කළමණාකරනය කරගත හැකි වී ඇත. එය පරිසරයට හිතකර සාධකයක් ද වී තිබේ. පැරිස් නගරාධිපතිවයා ද නගරය තුළ නොමිලේ පොදු ප‍්‍රවාහනය පවත්වාගෙන යන්නට සැලසුම් කරමින් සිටින බව අනාවරණය වෙයි. එයට සමාන වැඩ පිලිවෙලක් ජර්මනිය ළඟදීම අරඹනු ඇත.  රට පුරා නොමිලේ පොදු ප‍්‍රවාහන සේවා පවත්වාගෙන යාම අරමුණු කරගෙන නගර පහක අත්හදා බැලීමේ ව්‍යාපෘතියක් අරඹන්නට ජර්මනිය තීරණය කර තිබේ. මෙම අලූත් අදහස් ඇති පාලකයෝ සඳහන් කරන අන්දමට දැනට කරගෙන යන සහන ගාස්තු ක‍්‍රමය මගින් ලැබෙන ආදායම අඩුය. සේවය වෙනුවෙන් ලැබෙන ආදායම සමස්ථ පිරිවැයෙන් සියයට දහයක් පමණකි. එම අඩු ආදායම ද නොසලකා පැත්තකට කළහොත් වෙනත් වාසි ලැබේ. අධික මාර්ග තදබදය ඇති කරන පුද්ගලික වාහන නගරයෙන් ඉවත් වෙයි. පරිසරය ආරක්ෂා වෙයි. කාලය කළමණාකරනය කරගත හැකි වීම විශාලම වාසියයි. අලූත් දේ හිතන පාලකයන්ගේ නිර්මාණශීලී අදහස් වලින් දියුණු රටවල පැවැත්ම වර්ණවත් වී තිබේ.

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රතිපත්ති සම්පාදකයන් ද අලූතින් හිතන්නට අවශ්‍යය. ලෝක බැංකු වාර්තාවකට අනුව පොදු ප‍්‍රවාහනයේ දී කාන්තාවන් අතවර වලට ලක් වෙති. ගැහැනු දරුවන්ට හෝ කාන්තාවන්ට පොදු ප‍්‍රවාහන සේවයක ගමන් කළ නොහැකි තරමට පිරිහී ගිය ක‍්‍රමයක් බිහිකිරීම ගැන අප කම්පා විය යුතුය. එම වාර්තාව අනුව 2010 සිට වසර හයක් තුළ සියයට පහක කාන්තා ශ‍්‍රම බලකායක් පොදු ප‍්‍රවාහනයේ අමිහිරි අත්දැකීම් නිසා වැඩට පැමිණීම අත්හැර තිබේ. දියුණුවන රටකට එය ගැටළුවකි.

ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ වාර්තා අනුව 1986 දී පවුලක පොදු ප‍්‍රවාහන වියදම රුපියල් 105.00 කි. 2016 වසරේ දී එය රුපියල් 5,548.00 දක්වා වැඩි වී ඇත. ඉතාම වෙහෙසකින් පොදු ප‍්‍රවාහනයේ ගමන් කරන අතර කාන්තාවන් හිරිහැරයට ලක් වෙති. ප‍්‍රවාහනය වෙනුවෙන් කරන පිරිවැය ද දරා ගත නොහැකි සේ ඉහළ ගොස් ඇති බව පැහැදිලිව පෙනේ. මේවා කළමණාකරනය කරන්නේ කෙසේද?

පොදු ප‍්‍රවාහනය විධිමත් කිරීම සඳහා නොයෙක් අත්හදා බැලීම් කර ඇත. පසුගිය කාල වකවානුව තුළ පැවැති සෑම ආණ්ඩුවක්ම නොයෙක් පියවර ගෙන තිබේ. පොදු ප‍්‍රවාහනය සහන ගාස්තු ක‍්‍රමයකින් පවත්වා ගෙන යන බව නොරහසකි. ඒවා පාඩු ලබන අතර පියවන්නේ ජනතාවගේ බදු වලින්ය. පොදු ප‍්‍රවාහනයේ දුර්වලතා නිසා සෑම වැසියෙකුම තමන්ගේ වාහනයක් මිල දී ගෙන ප‍්‍රවාහන අවශ්‍යතා සපුරා ගන්නට උත්සාහ කරමින් සිටී. ලෝකයේ සිදුවන නව ප‍්‍රවණතා අධ්‍යයනය කිරීම වැදගත්ය.

 

 

 

මැයි දිනය

ප්‍රතිචාරයක් ලබාදෙන්න

milinda-prashna

2018/04/11 – ලංකාදීප

ලෝකයේ වැඩ කරන ජනතාව වෙනුවෙන් දිනයක් තිබේ. එය කම්කරු දිනය වශයෙන් නම් කර ඇත. මැයි මාසයේ පළමු වැනිදා වැඩකරන ජනතාව වෙනුවෙනි. වැඩ කරන ජනතාව හා පාලකයා අතර අයිතිවාසිකම් අරභයා ඇත්තේ අවසානයක් නැති සටනකි. ආරම්භක වකවානුවේ දී මෙම වෘත්තීය අරගලය වෙනුවෙන් කදුළින් සහ රුධිරයෙන් කරන ලද කැපවීම අද ලබා ඇති ජයග‍්‍රහණයන් හි පදනමයි. වැඩකරන ලද ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් අසීමිත ධෛර්යයකින් නැගී සිටි ජන නායකයන්ගේ දැක්ම මැයි දිනයේ සංකේතය වී ඇත. යුරෝපා රටවල වසන්ත කාලයේ කරන උත්සව වලට ඇතුළු වූ අංගයක් වන මැයි දිනය වාමාංශික නායකයන් ගේ අනුදැනුමෙන් මෙරටට ද එකතු විය.

වෙසක් පුන් පොහොය දිනය සහ මැයි දිනය සැමරීම එය කාරණා දෙකම එක වකවානුවක සිදුවීම පදනම් කරගෙන මැයි පෙලපාලි සහ ජන රැළි පැවැත්වීම ගැන වෙනස් අදහස් මතු වී තිබේ. මැයි දිනය වෙනත් දිනයකට එනම් මැයි හත් වැනි දා ට කල් දමා රජයේ නිවාඩුවක් ප‍්‍රකාශ කිරීමට රජය තීරණයක් ගෙන තිබේ.

චක‍්‍රවර්තී රජකමට පත්වන්නට පසුබිම තිබුණ බෝසත් සිද්ධාර්ථ කුමාරයාණෝ සියළු සම්පත් හැර විමුක්තිය අනාවරණය කරගත්හ. එය සමස්ථ ලෝක ප‍්‍රජාවට බෙදා දුන්හ. ශ‍්‍රී ලංකාවාසීන් අතරින් විශාල බහුතරයක් බුද්ධ දර්ශනයෙන් හෙළි කරන මැද පිලිවෙත අනුමනය කරති. බුදු දහම ජීවිතයට ගැලපෙන නිසි මාවත වශයෙන් තෝරාගෙන සිටිති. මහා කාරුණිකයාණන් වහන්සේ වෙත කෘතෝපවේදීත්වය උදෙසා වෙසක් උත්සවය පැවැත්වීම සුදුසුය. එය වෙනුවෙන් කරන නිස්සාර දේ වෙනම සාකච්ඡා කළ හැකිය.

කම්කරු නායකයන් ද ජනතාවගේ විමුක්තිය උදෙසා ගෙන ගිය ව්‍යාපාරය පැත්තකට කළ හැකි දෙයක් නොවේ. නමුත් කම්කරු දිනය සම්බන්ධව පවතින වර්තමාන පසුබිම, නව ප‍්‍රවනතා සහ ජනතා ආකල්ප අනුව එය කරගෙන යන ආකාරය ගැන බරපතල විවේචනයක් තිබේ. පළමු කර්මාන්ත යුගයේ සංකල්ප අද උදා වී ඇති හතරවැනි කර්මාන්ත යුගයට ගලපා ගන්නේ කෙසේදැයි අප කල්පනා කළ යුතුය. නූතන කර්මාන්ත යුගය ඥානණීය වකවානුවක් සේ සැලකේ. බාහු ශක්තියට වඩා බුද්ධියට තැනක් ලැබී ඇත. කම්කරුවා ද හුදෙක් ආයුධ අතට ගෙන පොලව කණින පුද්ගලයෙකු නොව නවීන මෙවලම් පරිහරණය කරන බුද්ධිය වෙහෙයවා සේවය කරන පුද්ගලයෙකි. ශ‍්‍රී ලංකාවේ ශ‍්‍රම බලකාය තුළ පවා තාක්ණය හා කාර්මීකරණය යන පැති වල පවතින පරිවර්තනය විශාල එකකි.

එවැනි යුගයක ජීවත්වන මෙරට ශ‍්‍රම බලකාය තව දුරටත් කම්කරු දිනයකට සීමා කිරීම අර්ථ විරහිතය. ජනතාවගේ බුද්ධියට ගරු කරන ප‍්‍රතිපත්තියකට යොමු විය යුතුය. මෙරට පවතින රදල ලක්ෂණ යහමින් ඇති දේශපාලන ක‍්‍රමය එයට ඉඩ දෙන්නේ නැත. කම්කරු දිනය නඩත්තු කරන්නට දේශපාලන ව්‍යාපාර වලට අවශ්‍යව තිබේ. පක්ෂයේ බලය පෙන්වන අනාගාමිකයන් කැඳවා පක්ෂ නායකයන් වේදිකාවට ඔසවා තබන ව්‍යාපාරයක් වශයෙන් මැයි දිනය සංවිධානය කරන බව පැහැදිලිව පෙනේ. තරුණ බුද්ධිමත් පිරිස මෙම පසුබිම හªනාගෙන සිටිති. නමුත් දේශපාලන ග‍්‍රහණයෙන් ගැලවෙනු නොහැකි අතරමැදි තැනකට කොටු වී සිටී.

අලූත් පරිවර්තනයක් උදෙසා අලූතින් හිතන්නට අවශ්‍යය. කම්කරු දිනය කාලානුරූපව වෙනස් විය යුතුය. දේශපාලනඥයන් ගේ ඉලක්ක සාක්ෂාත් කරනු වෙනුවට සමාජ අභිවෘද්ධිය ගැන කල්පනා කිරීම වැදගත්ය. ජන විඥාණය  ගැලී ඇති මෙකල පවතින ගතානුගතික රාමුවෙන් මුදවා ගැනීම සුදුසුය. මැයි දිනය තමන්ට පහසු දිනයක පවත්වන්නට මෙරට දේශපාලන පක්ෂ කිසිම විරුද්ධත්වයක් රහිතව එකතුවීම එවැනි ප‍්‍රබෝධයක් ඇති කිරීම වැලැක්වීමට සාධකයක් වී තිබේ. ජනතාවගේ කැමැත්ත, ජනතාවගේ සිතිවිල්ල සහ ජනතාවගේ අභිලාශය මෙහි දී ඉතා වැදගත්ය.

කියවිය යුතු පොතක්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

 

2018/04/04 – ලංකාදීප

milinda-prashna

හාවඞ් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ස්ටීවන් පින්කර් ලියන ලද කෘතිය අනිවාර්යෙන් කියැවිය යුතු පොතක් බව මයික්‍රොසොෆ්ට් සමාගමේ සම නිර්මාතෘවරයා වන බිල් ගේට්ස් සිය බ්ලොග් සටහනක දක්වා තිබේ. එයට හේතුවක් ඇත. උපකල්පනය කරන සමහර දේවල් අසත්‍ය බව කරුණු ගවේශනය කිරීමේ දී තහවුරු වන බව එකී ‘‘එන්ලයිට්මන්ට් නව්’’ නමැති කෘතිය පෙන්වාදීමයි. කරුණු පදනම් කරගෙන තීන්දු ගැනීම අවශ්‍ය බව පෙන්වන හෙයින් මෙම පොත වැදගත් බව බිල් ගේට්ස් ගේ අදහස විය හැකිය.

මෙම කෘතියෙහි එක කාරණයක් අනුව මිනීමැරුම් ඇතුළු දරුණු අපරාධ හෙයින් ලෝකය ඉතාම නරක තැනකට පත්ව ඇති බව උපකල්පනය කිරීම වැරදි බව මහාචාර්ය පින්කර් පෙන්වා දෙයි. ජනගහනයට සාපේක්ෂව මනුෂ්‍ය ඝාතන අඩු වී තිබේ. යුද ගැටුම් හෙයින් සිදුවන ඝාතන 1945 වසරේ සිට අද වන විට විසි ගුණයකින් පහත වැටී ඇත. යුද්ධ ඇතිවීම වලක්වන ජාත්‍යන්තර නීති රීති එයට බෙහෙවින් හේතු වී ඇති බව දැක්වෙයි.

ජාත්‍යන්තර පර්යේෂකයන් ගේ මතය එය විය හැකිය. නමුත් ශ‍්‍රී ලංකාවේ පුරවැසියන්ට මෙරට සිදුවන මනුෂ්‍ය ඝාතන සහ අපරාධ ගැන වෙනස් අදහසක් ඇති බව පැහැදිලිය. අපරාධ ගැන භීතියක් තිබේ. අපරාධකරුවන් කොටු කරගැනීමට දරන ප‍්‍රයත්නය ගැන බරපතල විවේචන තිබේ. නීතියෙන් ලැබෙන දඩුවම ගැන නොයෙක් අදහස් ඇත.

නීති විරෝධී ගිනි අවි භාවිතා කරන පිරිස් කරන ඝාතන ගණනාවක් මෑත කාලය තුළ වාර්තා විය. ඝාතන කණ්ඩායම් ප‍්‍රසිද්ධියේ කරගෙන යන බව ජනතාව විශ්වාස කරයි. අපරාධකරුවන්ට දේශපාලන බලය හා යම් ප‍්‍රමාණයකට පොලිස් හා ආරක්ෂක අංශ සම්බන්ධතා ඇති බව ජනතාව සැක කරයි. තාක්ෂණය දියුණුය. අපරාධ වැලැක්වීම විෂයයක් සේ දියුණු වී තිබේ. සුළු හෝඩුවාවක් මත සිද්ධි අනාවරණය කරගැනීම පහසු වී ඇති අතර ඉක්මනින් තොරතුරු ගවේශණය කර වරදකරුවන්ට දඩුවම් දිය හැකිය. ශ‍්‍රී ලංකාවේ පොලිසිය හෝ එහි දක්ෂ නිලධාරීහු අවතක්සේරුවට ලක් විය යුතු නැත. එහෙත් අවාසනාවකට මෙන් මෙරට අපරාධ හා මනුෂ්‍ය ඝාතන ගැන  බලවත් ගැටළු තිබේ.

දීර්ඝ කාලයක් යුද ගැටුම් සහිත වාතාවරණයක් පැවැති රටක් සාමකාමී යුගයකට ඇතුළු වීමට කාලයක් ගතවෙයි. නීතියේ ආධිපත්‍ය තහවුරු කර සැනසිලිදායක රටක් ගොඩනගනු සඳහා මෙතෙක් ගත වූ කාලය හොඳටම ප‍්‍රමාණවත්ය. පවතින දුබලතා පාලකයන්ගේ දුර්වලතාවයකි. විනය ඇති කර ජනතාව තුළ භීතිය පහ කරන පරිසරට ඇති කිරීමට වහා පියවර ගත යුතුව ඇත. අධිකරණය හා පොලිසිය වැනි ආයතන කෙරෙහි ජනතා විශ්වාසය බිඳ වැටී තිබේ. බාහිර බලපෑම් එල්ල වී ඇත. ඒවා වලකා අධිකරණය සහ පොලිසිය සම්බන්ධයෙන් වෙනස්කම් කළ යුතු නම් එයට පියවර ගැනීම සුදුසුය.

ලෝකයේ බොහෝ රටවල පොලිස් නිලධාරීහු ජන සමාජය සමග සම්බන්ධය. කොට්ඨාශයේ ජනතාව ගේ ක‍්‍රියාකාරකම් ගැන හොඳ අවබෝධයක් තිබේ. බි‍්‍රතාන්‍ය සහ ජපානය වැනි රටවල පොලිස් නිලධාරීහු නිතර සෙවිල්ලෙන් සිටින අතර නිලධාරීහු බාහිර බලපෑම් වලට යටත් නැත. මෙරට පොලිස් නිලධාරීහු පවා ගමේ චන්ඩියා කවුදැයි හදුනාගෙන සිටියේය. හොරකමක් සිදුවූ විට කළේ කවුදැයි දන්නා තරමට ජනතාව සමග එකට ජීවත් විය. ගමේ ආගමික ස්ථානය තරමටම පොලිසිය ගමට විශාල සම්බන්ධතාවයක පැවැතිණ. පොලිසිය ගිනි අවිගෙන ත‍්‍රස්තවාදය මර්දනය සඳහා යොමු වීම පරිහානියේ ආරම්භය බව දැක්විය යුතුය. දේශපාලනඥයන් පොලිසිය තමන්ට වහල් කරගත්තේය. එයින් ඇති කරන ලද අවාසියට අද ජන සමාජ වන්දි ගෙවමින් සිටී. අපරාධකරුවන් පොලිසිය හා නීතිය අභිබවා පැමිණ ඇති අතර ඝාතනය කර එහි සාක්ෂි දෙපතුල අසලට ගෙනැවිත් දමන තරමට අමානුෂික වී තිබේ.

මෙම පසුබිම ගැන තද අවධානයක් යොමු කළ යුතුය. පූර්ණ ප‍්‍රතිසංවිධානයක් ගැන හිතන්නට අවශ්‍යය. දේශපාලන බලපෑමෙන් තොර කළ යුතු අතර අපරාධ මැඩ පැවැත්වීම සඳහා සැලසුම් සහගත වෘත්තීයවේදීත්වය තහවුරු කිරීම කෙරෙහි පියවර ගත යුතුය.