ඇමති පුටුවට මෙහෙමත් සටනක්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

LOGO

2018/12/26 – ලංකාදීප

ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කරනු සඳහා බව ප‍්‍රකාශ කරමින් පසුගිය දින පනස් එකක කාලය තුළ රට තුළ පැවැති දීර්ඝ සටන පුරවැසියෝ උපේක්ෂා සහගතව බලා සිටියහ. දේශපාලනඥයන් ගෙන ගිය අරගලය මුවහත් කරන්නට සමාජ මාධ්‍ය, සිවිල් සංවිධාන විශාල මෙහෙවරක් කළේය. සම්ප‍්‍රදායික මාධ්‍ය අභිබවා ගෙන ගිය මත ගොඩනැගීම එක්තරා ආකාරයක අන්තවාදී ස්වරූපයකට ගොනු වූ බව පැහැදිලිව පෙනිණ. මෙරට දේශපාලන ප‍්‍රවාහයේ සිදුවීම් ගැන අලූතින් හිතන්නට එය හොඳ පදනමකි.

ආණ්ඩුව පිහිටුවා ගත් පසු අලූත් සටනක් තිබේ. එය ඇමැති ධුරයක් ලබා ගැනීමේ අරගලයකි. බල පොරයකි. ආණ්ඩුව හදා ගත් පසු ඇමැතිකමක් රහිතව ගමට යන්නට බැරි දේශපාලනඥයෝ සිටිති. ජනතා ඡුන්දයෙන් නියෝජනට ලබා ගන්නා දේශපාලනඥයෝ බලයට පත් වෙන්නේ ඇමැති වරමකින්ය. මෑත කාලය තුළ ඇමැතිකමක් සඳහා ප‍්‍රසිද්ධියේ කේවල් කරන තත්ත්වයක් ඇති වී තිබේ. ආධාරකරුවෝ එයට කැමැතිය. තම නායකයා බලවත් ඇමැතිකමක් සහිතව ආරක්ෂකයන් පිරිවරාගෙන අලූත්ම වාහන පෙලකින් පිලිගැනීමේ උත්සවයට එන විට රතිඤ්ඤා පත්තු කර මහ ඉහලින් පිලිගන්නේ ඔවුහුය. ඇමැතිධුරයක් රහිතව ආධාරකරුවන්ට සලකන්නට හැකියාවක් නැත.

මහජනයා නියෝජනය කිරීම හා ආණ්ඩුවේ ඇමැතිධුරය යන කරුණු දෙක මෙරට දේශපාලනයේ දී එකට ඈඳා තිබේ. දියුණු ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඇති බටහිර රටවල් අනුව එහි බෙදුම් රේඛාවක් තිබේ. ප‍්‍රංශයේ මන්ත‍්‍රීවරු ඇමැතිධුරයට පත් වූ වහා මන්ත‍්‍රීකමින් ඉවත් විය යුතුය. බි‍්‍රතාන්‍යයේ මෙම වෙනස්කම් සම්ප‍්‍රදායානුකූලව පවතී. මහජන මන්ත‍්‍රී පාර්ලිමේන්තුවේ වාද විවාද වලට සහභාගී වෙයි. ඇමැතිවරයා කැබිනට් මණ්ඩලයේ දී ආණ්ඩුවේ ප‍්‍රතිපත්ති වෙනුවෙන් කැපවෙයි. ජේ. ආර්. ජයවර්ධන මහතා ප‍්‍රංශ ව්‍යවස්ථාව ඇසුරු කරගෙන මෙරට ව්‍යවස්ථාව සම්පාදනය කරන අවස්ථාවේදී මෙම මූලාශ‍්‍රය ගැන හිතන්නට ඇත. නමුත් මෙරට සංස්කෘතිය අනුව ඇමැතිකමක් නැතිව පවතින්නට නොහැකිය.

ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ගුණාංග පමණක් නොව වගකීම් හා යුතුකම් ද පටලවා ගෙන ඇති මෙරට නායකයෝ ඇමැතිකම ආභරණයක් කරගෙන ඇත. පාක්ෂිකයන් සතුටු වන අතරවාරයේ බහුතර බුද්ධිමත් ජනතාව ඇමැතිවරුන්ගේ හැසිරීම අවඥාවට ලක් කර ඇත. ස්වකීය අභිමතාර්ථ සාක්ෂාත් කරන්නට අසමත්වන පාලකයන් ගේ හැසිරීම ජනතාව උපහාසයට  ලක්කරන බව ඇමැතිවරු දැනගත යුතුය.

මුදලි කෝලම, ආරච්චි කෝලම, පොලිස් කෝලම වැනි ජන සංස්කෘතිකාංග අපට තිබේ. මෑතක දී කොළඹ සෞන්දැ්ය විශ්ව විද්‍යාලයේ ආචාර්යවරු පිරිසක් මන්ත‍්‍රී වන්නම යනුවෙන් අලූත් නිර්මාණයක් නිෂ්පාදනය කර නවීන යුගයට අනුව යූ ටියුබ් මාධ්‍යය මගින් ජනතාව හමුවට පමුණුවා තිබේ. එයින් ඇති කරන උත්ප‍්‍රාසය බලවත් පණිවුඩයක් සන්නිවේදනය කරයි. නිර්භිත විලාශයකින් ඉදිරිපත් කරන අනියමාර්ථ ඇඟවීම් බුද්ධිමතුන් ගෙන් අපේක්ෂා කරන සාධාරණ විවේචනය කුමක් ද යන්න දක්වයි. නිර්මාණකරුවෝ ඇතිතරම් ඇමැතිධුර වල සළු පිලි ගලවා අභ්‍යන්තරය හෙළිදරව් කර තිබේ. මාධ්‍යකරුවෝ ඇමැතිකම් ගන්නා ජනතා නියෝජිතයන්ගේ හැසිරීම නොවටිනා තරම් බව නොසෑහෙන්නට පෙන්වා දී ඇත. මුහුණට හිනාවෙන ජනී ජනයා පවා යටිහිතෙන් ඇමැතිවරු ගැන කරන සඳහන් ගැන අවබෝධයක් තිබේනම් කිසිම දේශපාලනඥයෙකු බලය වෙනුවෙන් ඇමැතිකම් ඉල්ලන්නේ නැත. නමුත් ශ‍්‍රී ලංකාවේ මැති ඇමැතිවරු ඒවායෙන් නොසැලෙති. ඇමැතිකමකට සූදානම්ය.  වරප‍්‍රසාද අභිලාශයෙන්ය.

මෙරට බදු ගෙවන ජනතාව එකක් තේරුම් ගත යුතුය. මහජන නියෝජිතයන් පත් කරන්නේ රටට සේවයක් වශයෙනි. එය විශාල මුදලක් වැයවන කාර්යයකි. මිල ගෙවන්නේ පොදු ජනතාවගෙන් අය කරන බදු වලින් බව දැක්විය යුතුය. මිල දී ගන්නා සීනි, පරිප්පු කිලෝවෙන් අයකරන බදු වලින් සැප විඳීන මැති ඇමැතින්ගේ ක්‍රියාකාරකම් ජනතාව ප්‍රශ්න කල යුතුය.  ඇමැතිතුමා යනුවෙන් පිලිගෙන මුලසුනේ හිඳුවා , හොඳම වාහනයෙන්, හොඳම මැදුරක හිඳුවා තැබීමෙන් රට ඉහළට එසවෙන්නේ නැත.

දුප්පතාගේ ආයු කාලය අඩුවීමේ රහස

ප්‍රතිචාරයක් ලබාදෙන්න

milinda-prashna

2018/12/19 – ලංකාදීප

අඩු ආදායමක් උපයන, දුප්පත් ජන කොටස ගේ ආයු කාලය සාපේක්ෂව අඩු බව පර්යේෂණ වාර්තාවකින් අනාවරණය වී තිබේ. බි‍්‍රතාන්‍යයේ පර්යේෂණ ආයතනයක් 2001 වසරේ සිට 2016 දක්වා ලන්ඩන් හි වාර්තා වූ මරණ මිලියන 7.65 ක දත්ත ඇසුරු කරගෙන මෙම පර්යේෂණය කර ඇති බව හෙළිවේ.

දුප්පත් ජනතාවගේ ආහාර පාන, සෞඛ්‍ය, නවාතැන්, අධ්‍යාපනය ඇතුළු අංශ වල පවතින නොයෙක් විෂමතා ගැන අපට අවබෝධයක් තිබේ. මෙම අඩුලූහු`ඩුකම් ආයුකාලය කෙරෙහි බලපෑමක් ඇති කරන බව සැකයක් නැත. බි‍්‍රතාන්‍ය පර්යේෂණයෙන් කරන හෙළිදරව්ව වැදගත්ය. සමාජයේ පවතින පවතින දුබලතා තේරුම් ගැනීමට එය ප‍්‍රයෝජනවත් වෙයි.

බි‍්‍රතාන්‍ය පර්යේෂණය අනුව 2016 අවුරුද්දේ දී දුප්පත් කාන්තාවන්ගේ සාමාන්‍ය ආයු කාලය වසර 78.8 කි. පොහොසත්ම පවුල් වල කාන්තාවන්ගේ ආයු කාලය වසර 86.7 ක් බව දැක්වෙයි. දුප්පත්ම පිරිමි පාර්ශවයේ ආයු කාලය සාමාන්‍යයෙන් අවුරුදු 74.0 කි. පොහොසතුන්ගේ එය වසර 83.8 බව ප‍්‍රකාශ වෙයි. මෙම පර්යේෂණය අනුව ප‍්‍රතිකාර වලින් සුවපත් කරගත හැකි හෘද, පෙනහලූ, පිලිකා හා මානසික රෝග තත්ත්ව වලට දුප්පතුන්ට නිසි ප‍්‍රතිකාර නැත. එය අඩු වයසකින් ජීවිතක්ෂයට පත්වන හේතුවකි. දුප්පතුන්ගේ අතට ලැබෙන ආදායම අඩුය. එය පෝෂ්‍යදායී ආහාර ලබා ගැනීමට බාධාවක් වී තිබේ. රෝගී තත්ත්වයක් ඇති වූ වහා වෛද්‍ය වියදම් හා පරීක්ෂණ වාර්තා වලට විශාල වියදමක් දරන්නට සිදුවෙයි. ඖෂධ සඳහා දරන්නට සිදුවන වියදම ද දරාගත නොහැකි එකකි. ඒ අනුව පොහොසතුන් වැඩි ආයු කාලයක් ගත කිරීමට හේතුව ඉතා පැහැදිලිය.

පසුගියදා ජපානයේ අගමැතිවරයා අනාවරණය කරන ලද පරිදි එරට වර්තමානයේ උපත ලබන දරුවන්ගෙන් හරි අඩක් අවුරුදු සියයක් ජීවත්වනු ඇත. එය එක පැත්තකින් එරට වෛද්‍ය විද්‍යා දියුණුව පෙන්වයි. සෞඛ්‍ය පහසුකම් ගැන අඟවයි. අනෙක් පැත්තෙන් වැඩිහිටියන් රැුකබලා ගැනීමට ඇති පසුබිම ගැන අනාවරණය කරයි.

බි‍්‍රතාන්‍ය අනාවරණය සහ ජපානයේ වැඩි ආයු අපේ්ක්ෂාව ශ‍්‍රී ලංකාවේ ජීවත්වන පොදු ජනතාවට ඉතා වැදගත් පසුබිමක් පෙන්වා දෙයි. සමාජ විශමතා ජීවිතයට බලපාන අන්දමය. බි‍්‍රතාන්‍යයේ මෙන් දුප්පත් පොහොසත් බේධය ජීවත්වීමට බලපාන ආකාරය ගැන සොයා බලන්නට මෙරට පර්යේෂණ වලට සමත්කමක් ලැබී නැත. ජපානයේ මෙන් සෑමදෙනාම නිසි පරිදි රැකබලා ගැනීමට ඇති හැකියාව අඩුය.

මෙරට පොදු ජනතාවගේ ආහාර පාන රටා සෞඛ්‍යයට නොගැලපේ. එලවලූ හා පලතුර බහුලව ආහාරයට ගන්නැයි පෝෂණ වේදීහු කියති. මාලූ, ධාන්‍ය, කිරි ආහාර ගැන පවා උපදෙස් තිබේ. නිසි ශරීර සුවතාව උදෙසා නිතර ව්‍යායාම වල නිතරවීම වැදගත් බව පෙන්වා දී ඇත. රෝග වලක්වා ගැනීමට ගත යුතු මග ගැන ජනතාවට වැටහීමක් තිබේ. නමුත් ආර්ථික තත්ත්වය අනුව ජීවත්වීම දුෂ්කරය. එදිනෙදා අවශ්‍ය ආහාර පාන අවශ්‍යතා ඉතාම අරපරෙස්සමෙන් කරගන්නට අපට සිදුවී ඇත. මැදි ආදායම් ජනකොටස අධික කාර්ය බහුලය. වැඩි දෙනෙක් පිටතින් පිසූ ආහාර ගන්නට නැඹුරු වී ඇත. එවැනි පසුබිමක් තුළ බි‍්‍රතාන්‍යයේ අධ්‍යයනයේ ප‍්‍රතිඵල මෙරටට ගැලපෙන බව ද තේරුම් ගත යුතුය.

රට පුරා ඇති රජයේ රෝහල් හා පුද්ගලික අංශයේ රෝහල් වල අති පහසුකම් ගැන සාමාන්‍ය අවබෝධයක් අප සියළු දෙනාටම ඇත. ජන සමාජයේ කොටසක්  ඕනෑම වියදමක් දරා හොඳ ප‍්‍රතිකාර බලන්නටත් ආදායම අඩු ජන කොටස ප‍්‍රතිකාර පතා බලාපොරොත්තු ලැයිස්තුවේත් සිටින විට ප‍්‍රශ්නයක් ඇති බව පැහැදිලිව පෙනේ.

මෙම පරතරය තුනී කිරීම හොඳ පාලනයකින් අපේක්ෂා කෙරේ. සෑම ජන කොටසකටම අඩු වියදමකින් මූලික අවශ්‍යතා සම්පාදනය කරගත හැකි විය යුතුය. පෝෂ්‍යදායක ආහාර වේලක් ගැනීම, මූලික සෞඛ්‍ය පහසුකම් ලබා ගැනීමට ඇති හැකියාව රට ඉහලට ඔසවා තබන බව දැක්වීම අවශ්‍යය.

 

හරකුන්ගේ අං කපන්නත් ජනමතය විමසූ රටක්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

milinda-prashna

2018/12/05 – ලංකාදීප

හැසිරීම අනුව අං ඇති අයවලූන් බව පෙන්වන අය සිටිති. අං පටලවා ගන්නා අවස්ථා ද තිබේ. මුලින් තිබුණ කණට වඩා පසුව ආ අඟ ලොකු වූ බව සඳහන් වන ව්‍යවහාරයක් ද ඇත. මෑතක දී අං ඇති සතුන්ගේ පැවැත්ම ගැන ජනමත විචාරණයක් ස්විට්සර්ලන්තයේ දී පැවැත්විණ. එය ලෝකය පුරා ආන්දෝලනයකට ලක් වූ එකකි.

සත්ව පාලනයෙහි නිතර ස්විස් ගොවියෙකු ගවයන්ගේ හා එළුවන්ගේ අං කපා දැමිය යුතු යැයි යෝජනා කළේය. එරට ප‍්‍රජාතන්ත‍්‍රවාදය අනුව පුරවැසියෙකුට පවා ජනමත විචාරණයක් යෝජනා කළ හැකිය. තීරණයක් ගත හැකි යෝජනාවක් මූලික විධි විධාන අනුව ආණ්ඩුවට ඉදිරිපත් කළ හොත් ජනමත විචාරණයක් පැවැත්විය යුතුය. මාස හයක් ඇතුලත එකතු කළ අත්සන් ලක්ෂයක් සහිත පෙත්සමක් භාර දීම එහි මූලික අවශ්‍යතාවයයි.

උතුරු ස්විට්සර්ලන්තයේ සත්ව පාලනයෙහි නිරත ආර්මින් කාපුවෙල් සිය ගොවිපොලෙහි ඇතිකරන ගවයන් නිතර අං පටලවා ගැනීම නිසා හෙම්බත් වී සිටි අයෙකි. නොසන්සුන් ගවයෝ අං වලින් කරන ප‍්‍රහාර නිසා ඇතිවන තුවාල වලට ප‍්‍රතිකාර කිරීම විශාල අතිරේක කාර්යයක් විය. ඔහු ගේ ගොවිපොල පමණක් නොව රටේ සෙසු සත්ව පාලනයෙහි නිරත අය වෙනුවෙන් ද මතයක් ඇති කරන ආර්මින් ගවයන් හා එළුවන්ගේ අං කප්පාදු කළ යුතු යැයි කියා සිටියේය. නැතිනම් ජාන වෙනස්කම් වලින් අං නැති ගවයන් බෝ කළ යුතු බව හෙතෙම පෙන්වා දුන්නේය. එය විශාල ව්‍යාපාරයක් විය අත්සන් ලක්ෂයක් එකතු කරගත හැකි වූ අතර ජනමත විචාරණයකට යොමු කෙරිණි.

ජනමත විචාරණයේ දී යෝජනාවට පක්ෂව සියයට හතලිස් අටක ඡුන්ද ප‍්‍රතිශතයක් ලැබුණ අතර සියයට පනස් දෙකක පමණ පිරිසක් විරුද්ධ වී තිබුණි. සත්ව අයිතිය වෙනුවෙන් පෙනී සිටි කණ්ඩායමි අං කපා දැමීමෙන් සතුන්ට වන හිංසා ගැන ප‍්‍රචාරයක් ගෙන ගිය අතර අඟ කපා දැමීම සුදුසු නැති බව එකහෙලා කියා සිටියේය. ජනමත විචාරණයෙන් පරාජය වූ සත්ව ගොවිපොල හිමි ආර්මින් කනස්සල්ලට පත් වූයේ නැත. ලැබුණ ඡුන්ද ප‍්‍රමාණය ගැන උදම් වී සිටියේය.

ගවයෙකුගේ අං කපා දැමීමට ඇති අයිතිය ගැන ජනමත විචාරණයකින් තීරණය කිරීම වැනි සිද්ධියක් ශ‍්‍රී ලංකාවේ වැනි අපට වැදගත් වන්නේ කෙසේද? කිරි හා සත්ව නිෂ්පාදනයෙහි නිරත වැඩිම පිරිසක් සිටින ස්විට්සර්ලන්තයේ, ගොවියන්ට එය වැදගත් යෝජනාවක් නමුත් අපට එය නුහුරුය. නමුත් සෘජු ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ තරම ආදර්ශයට ගත යුතුය. එය බලවත්ය. සාමාන්‍ය ජනතාවට පවා ආණ්ඩුවට යෝජනාවක් ඉදිරිපත් කිරීමට අවස්ථාව තිබේ.

පොදු ජනතාවට බලපාන ප‍්‍රශ්න වල දී පොදු තීරණ ගැනීමට ආණ්ඩු පොළඹවනු සඳහා ජනමත විචාරණය ඉතා හොඳ පදනමක් සපයයි. දියුණු ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් පවතින රටවල ජනතාවට හිමි පරමාධිපත්‍ය මෙයින් සංකේතවත් කෙරේ. නොබෝදා තායිවානයේ ජනමත විචාරණයක් කළේය. එහි ප‍්‍රතිඵලය ආණ්ඩුවට අවාසි සහගත එකක් විය. ජනතාවගේ කැමැත්තට ආණ්ඩුව අවනත විය. ස්විට්සර්ලන්තයේ ව්‍යවස්ථාව පරිදි ලක්ෂයක ජනතාවක ගේ අත්සන් එකතු කළහොත් ජනමත විචාරණයක් පැවැත්විය හැකි ක‍්‍රමයක් ශ‍්‍රී ලංකාවටත් යෝජනා කරන්නට බැරි නැත. නමුත් මෙරට ජනතාවට හෝ ජනතා සංවිධාන වලට මුලික අවශ්‍යතා හෝ සමාජයේ ගත යුතු තීරණ ගැන එකඟවන සංයමයක් තිබේද? හැම තැනින්ම යෝජනා ඉදිරිපත් වෙන්නට ඉඩ තිබේ. ඒවා ගැන සාකච්ඡා කරන විශාල සංවාද ඇතිවිය හැකිය. ජනමත විචාරණයක් පැවැත්වීමට විශාල ධනයක් යොදවන්නට සිදුවෙයි. දියුණු රටවල් වල පවා ඒ වෙනුවෙන් වැය කරන සම්පත් ප‍්‍රමාණය ඔවුන්ට දරාගැනීම පහසු නැති බව පෙනේ.