සහනාධාර ගෙවන්නේ කාගේ සල්ලිවලින්ද ?

ප්‍රතිචාරයක් ලබාදෙන්න

 

LOGO

 

 

 

2019/10/30 – ලංකාදීප

නිකං දෙනවා නම් ගන්න කැමැති සමාජ යුගය අවසන් වෙමින් තිබේ. අනවශ්‍ය දේ නොගන්නට ශ‍්‍රී ලාංකික ජනතාව බුද්ධිමත්ය. පාරේ යන එන විට බෙදන කඩදාසියක් හෝ අතට ගන්නේ අවශ්‍යනම් පමණකි. එවැනි පසුබිමක් තුළ තරගයට බෙදන්නට දේශපාලන නායකයෝ සූදානම් වී තිබේ. අප මේ කතා කරන්නේ සහනාධාර ගැනය. ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින ප‍්‍රධාන අපේක්ෂකයෝ පොරොන්දු අති විශාල ප‍්‍රමාණයක් ඉදිරිපත් කරයි. බලයට පත් වුවහොත් ජනතාවට දෙන සහනාධාර ගැන කතා නොකරන වේදිකාවක් නැත. වැටුප්, දීමනා, දුප්පත් අයට සලාක, පාසල් දරුවන්ට ඇදුම් හා ආහාර, ගොවියන්ට පොහොර යනාදී වශයෙන් දිග ලැයිස්තුවකි. ඉතාම දුෂ්කර ආර්ථිකයක, ණය පවා ගෙවාගත නොහැකිව සිටි රටක තත්ත්වය එක රාත‍්‍රියකින් වෙනස් වී තිබේ.

මෙම පොරොන්දු ඉටු කරන්නට පුලූවන් ඒවාදැයි තක්සේරු කරන්නේ නැත. මැදි ආදායම් මටට්මක සිටින රට වැසියන්ට සහන අවශ්‍යම නැති බව තේරුම් ගත යුතුය. ඉතා පහල ආදායම් ප‍්‍රතිශතයක සිටින, තෝරා ගත් පිරිසකට හොදින් සැලසුම් කළ වැඩසටහනකට අනුව දරිද්‍රතාවයෙන් මුදවා ගැනීම අරමුණු කරගෙන ආධාර කිරීම ප‍්‍රශ්නයක් නොවේ. දුප්පත්, පොහොසත් හැම දෙනෙකුටම මොනවා හෝ දෙයක් දෙන්නට තීරණය කිරීම තර`ගකාරී ආර්ථික ක‍්‍රමයකට ගැලපෙන්නේ නැත.

දකුණු අප‍්‍රිකානු ජනාධිපති සිරිල් රමපෝසා පසුගිය සතියේ ප‍්‍රකට ඉකොනොමිස්ට් ස`ගරාව සමග  සම්මුඛ සාකච්ඡුාවක් කර තිබේ. ‘‘නිකං දෙනවානම් ඒවාට ගෙවන්නේ කොතැනින්දැයි’’ හෙතෙම එහි දී ප‍්‍රශ්න කරයි. සිරිල් රමපෝසා බලයට එන්නේ විශාල බලාපොරොත්තු ඇති කරමින්ය. වසර විසි පහක් වර්ණ බේධවාදයෙන් බැට කෑ දකුණු අප‍්‍රිකාව අති විශාල දූෂිත පාලන කාලයක් පසු කළේය. පසුගිය වසරේ පෙබරවාරි මාසයේ හෙතෙම ජනාධිපතිවරණයෙන් ජය ගත් අතර දකුණු අපි‍්‍රකාව තුළ ප‍්‍රතිසංස්කරණ සෑහෙන ප‍්‍රමාණයක් කළ යුතු බව රමපෝසා ගේ අදහස විය. අද වන විට දකුණු අපිකාවේ විරුකියා ප‍්‍රතිශතය සියයට 29 ක වන අතර පසුගිය කාර්තු හයක් අතරින් තුනක ආර්ථික වර්ධනය සෘන අගයක තිබුණි. විදුලිය සැපයුම පවා ගැටළුකාරී විය. මෙවැනි පසුබිමක් තුළ ආර්ථිකය පවත්වාගෙන යෑම ඉතා දුෂ්කර බව පෙන්වා දෙන හෙතෙම ජනතාවගේ බලාපොරොත්තු බලවත් නමුත් ඒවා ඉටු කරන්නේ කෙසේදැයි ප‍්‍රශ්න කරමින් සිටී. ‘‘රජයෙන් සැපයෙන සියළුම සේවා වලට මිලක් තිබේ. එම මිල ගෙවන්නට ජනතාවට සිදුවෙයි. තමන් භාවිතා කරන දුරකතනයට බි ගෙවන ජනතාව රජයේ පොදු පහසුකම් නොමිලේ හෝ සහන පදනමකින් අපේක්ෂා කරන්නේ කෙසේ ද’’ යන්න හෙතෙම මෙම සම්මුඛ සාකච්ඡාවේ දී අවධානයට යොමු කර ඇත. ජලය, විදුලිය වැනි දේ වෙනුවෙන් නිෂ්පාදන පිරිවැය නොගෙවා නොමිලේ දෙන්නට පුලූවන්කමක් නැති බව ද රමපෝසා ජනාධිපතිවරයා සදහන් කර ඇත.

රමපෝසා ජනාධිපතිවරයා දකුණු අප‍්‍රිකානු ආණ්ඩුව මුහුණ දෙන ස්වභාවය පෙන්වා දෙන පරිදි රජය සපයන සේවා නොමිලේ හෝ සහනාධාර වශයෙන් ගෙවීමේ දී ප‍්‍රශ්නයක් තිබේ. සහන වෙනුවෙන් වැය වන වියදම ආවරණය කරගන්නේ කෙසේද යන ගැටළුව පැන නගී. ආණ්ඩුව ව්‍යාපාර කර ලාභ උපයන ආකාරයකට කටයුතු කරන්නේ නම් ප‍්‍රශ්නයක් නැත. නමුත් ආණ්ඩු යනු ධනය උපයන ආයතන නොවේ. ජනතාවගෙන් අය කරන බදු රටකට ඇති එකම ආදායමයි. ජනතාවට කරන සේවය වෙනුවෙන් වැය කරන මුදල බදදුවලින් අය කරගන්නා රටක වැ ඩිවැඩියෙන් සහන හෝ නොමිලේ දෙන දෙයක් වෙත් නම් එම සියල්ල වෙනුවෙන් ජනතාවගෙන් ආපසු බදු අය කරගත යුතුය. විදුලිය සහන මිලකට දෙන බව කියන ආණ්ඩුව වෙනත් දෙයකින් බදු වැඩිපුර අය කරගනී. සුපිරි බදු අය කරන බව කිය නමුත් ඒවා ගෙවන්නේ මෙරට පොදු ජනතාව හැර අනෙක් රටක පිරිසක් නොවේ. සත්‍යය එයයි.

දකුණු අප‍්‍රිකානු නායකයා හැබෑ ස්වභාවය පෙන්වා දී තිබේ. නොමිලේ හෝ සහන පදනමකින් දෙනවා නම් ඒවාට ගෙවන්නේ කවුද යන ප‍්‍රශ්නය අප අභිමුවෙහි ඇත. ජනාධිපතිවරණ වේදිකාවේ දී ජනතාවට සුරංගනා කතා කියන නායකයෝ මෙම යතාර්ථයට මුහුණ දිය යුතුය. මෙරට වැසියන් තව දුරටත් පටු, ඇති නිකං දෙන දේ වලට ඇල්ලමක් ඇති කොටසක් නොවේ. මැදි ආදායම් මට්ටමක සිට ඉහළ නගින අභිලාශයක් ජනතාවට ඇත. ඉදිරියට යන ගමන දර්ශනයක් සේ ඉදිරිපත් කරනු  වෙනුවට ජනතාව වෙත දෙන පොරොන්දු ඵලදායී නැත.

 

වැඩිම වැටුප් ලැබූ දුප්පත් රාජ්‍ය නායකයෝ

ප්‍රතිචාරයක් ලබාදෙන්න

 

2019/10/23 – ලංකාදීපLOGO

ජනාධිපතිවරණයට තරග කරන අපේක්ෂක ප‍්‍රමාණය සලකනවිට අංශ දෙකක් ගැන අවධානය යොමු කළ යුතුය. එකක් තනතුර සැහැල්ලූවට ලක් කර තිබේ. අනෙක පවතින ක‍්‍රමයට ඇතුළු වුවහොත් ලැබෙන වාසි කන්දරාවයි. සරල නායකයෙකු වශයෙන් ක‍්‍රියා කරන බව දක්වන නමුත දේශපාලන ක‍්‍රමය නඩත්තු කිරීම සදහා සෑහෙන කැපකිරීමක් කරන්නට ජනතාවට සිදුවේ. ක‍්‍රමය වෙනුවෙන් ගෙවන වන්දියක් බව පොදු ජනතාව තකන්නේ නැත. නිදහස ලැබූ දින සිට දැකගත හැකි තත්ත්වයකි.

සිංගප්පූරුවේ නිර්මාතෘ, දිවංගත අගමැති ලී ක්වාන් යූ මැති ඇමැතිවරුන්ට ඉහළ වැටුප් ගෙවීය. දක්ෂ පුද්ගලයන් දේශපාලනයට කැදවීමට හොද පහසුකම් සැපයිය යුතු බව ඔහුගේ දර්ශනය විය. එම ක‍්‍රමය තුළ දූෂණයට ඉඩක් නොවීය. මැති ඇමැතිවරුන්ට දූෂණ චෝදනා එල්ල වුවහොත් කිසිම සමාවක් නොතිබුණි. ලී ක්වාන් යූ වැඩිම වැටුපක් ලද රාජ්‍ය නායකයෙකි. වැටුප ගැන ප‍්‍රශ්න කළ මාධ්‍යවේදියෙකු ඇමතූ ලී ක්වාන් යූ කියා සිටියේ වැඩිම වැටුප කෙසේ වෙතත් තමා ලෝකයේ දුප්පත්ම රාජ්‍ය නායකයා බවය. එයට එකම හේතුව ඔහු ආණ්ඩුවෙන් නඩත්තු වූ චරිතයක් නොවේ. අනෙක දූෂණ වංචා වලට සම්බන්ධ නොවූ ආදර්ශවත් චරිතයක් විය. සමීප අමාත්‍යවරු පවා අල්ලස් චෝදනා එල්ල වූ විට පක්ෂයෙන් ඉවත් කළේය. චෝදනා විභාග වන විට දිවිනසාගත් ඇමැතිවරු ගැන ද ඔහුගේ කාලයේ දී වාර්තා විය. හෙතෙම නිවැරදි මාවත අනුගමනය කළ අතර එහෙයින්ම දුප්පතෙකු විය. අන්තිම කැමැත්ත ලියූ ලී ක්වාන් යූ තමන් ගේ පරම්පරා නිවසේ ජීවිතයේ අන්තිම කාලයගත කළේය. එම නිවස පවා අභාවයෙන් පසු කඩා විනාශ කරන ලෙස හෙතෙම ඉල්ලීමක් කර තිබුණි. එහි අරමුණ සිහිවටනයක් වශයෙන් මහජන මුදල් වැය කර නඩත්තු කිරීම වැලැක්වීමයි. තවමත් එම ඉල්ලීම බලගන්වා නැති අතර පවුලේ අය අතර ඒ ගැන විවාදයක් තිබේ.

ශ‍්‍රී ලංකාවේ දේශපාලනය ධනය හම්බකරගත හැකි තැනකි. එතැනට එන විට නිරායාසයෙන්ම දූෂණයට ගොදුරු වන බව රහසක් නොවේ. ලැබෙන වැටුපෙන් හෝ  පවුලේ ආදායමෙන් ජීවත්වන දේශපාලනඥයන් අතලොස්සකි. ඡන්දය දිනා වැඩි කාලයක් යන්නට මත්තෙන් දියුණුවන තරම ගැන සාමාන්‍ය ජනතාවට අවබෝධයක් ඇත. එහෙයින් දේශපාලනඥයෝ වංක, පිරිහුණ චරිත වශයෙන් පොදුවේ වර්ග කර තිබේ. ලැබෙන වේතනය, දීමනා හෝ අනෙක් පහසුකම් නොගෙන මහජන සේවයට කැපවන බව කියන දේශපාලනඥයෝ සිටිති. පක්ෂ වලින් නඩත්තු වන බව ප‍්‍රකාශ වෙයි. මේවායේ අභ්‍යන්තරය පැහැදිලි නැත.

ඉන්දියාවේ හිටපු ජනාධිපති දිවංගත ආචාර්ය අබ්දුල් කලාම් ගේ ජීවන රටාව හා ද්‍රෘෂ්ඨිය පැහැදිලි කරන සිද්ධි කීපයක් මෑතක දී අනාවරණය වී තිබේ. එය මෙරට දේශපාලනඥයන්ට පාඩමකි. ජනාධිපතිවරයාගේ ලේකම් පී. එම් නයියර් ඉන්දියානු රූපවාහිනියකටදුන් සම්මුඛ සාකච්ඡාවක දී එය විශේෂ අවධානයට ලක් විය.

වරක් ජනාධිපති කලාම් ගේ ඥාතිහු පිරිසක් රාශ්ඨපති භවනට පැමිණ නතර වූ අතර ඔවුහු ගත කළ කාලය තුළ නිල වාහන භාවිතා කිරිමට ඉඩ දී නැත. ආහාර පාන වෙනුවෙන් වියදම් වූ සියළු පිරිවැය ජනාධිපතිවරයාගේ පුද්ගලික මුදලින් ගෙවා දැමීම වැදගත් සිද්ධියකි. ජනාධිපතිවරයාගේ ඇරයුමෙන් ඔහුගේ සහෝදරයෙකු සතියක් ජනාධිපති මන්දිරයේ නතර කරගෙන සිටි අවස්ථාවක් ගැන ද සදහන්ය. ඔහු නික්ම ගිය පසු වියදම ගෙවන්නට කලාම් ජනාධිපතිවරයා තැත් කළේය. ඉතා අසීරුවෙන් එය ප‍්‍රතික්ෂේප කරන්නට නිලධාරීන්ට සිදුවූ බව නයියර් මහතා කියා ඇත.

නමක් ගමක් පවා නොදන්නා පුද්ගලයෝ කැදවා මහජන මුදලින් ආහාර පාන සපයා, මහත් සත්කාර කර පිටත් කරන දේශපාලනඥයන් සිටින යුගයක අබ්දුල් කලාම් ජනාධිපතිවරයා ඉතා අගනා ආදර්ශයක් සපයා ඇත. ප‍්‍රජාතන්ත‍්‍රවාදය, එහි ගුණාංග ගැන මහා වර්ණනා කරන සහ ජනතා සේවය වෙනුවෙන් කැපවෙන බව කියන දේශපාලනය මෙහි මුලින් සදහන් කරන ලද නායකයන් ගේ විත්ති අවබෝධ කරගෙන කටයුතු කරන්නේ නම් පොදු ජනතාව වශයෙන් අපට වැදගත්ය. ඒ අතරය

 

 

දේශපාලනයට බරවූ ප‍්‍රවෘත්ති හා තරුණ පෙළ

ප්‍රතිචාරයක් ලබාදෙන්න

LOGO

2019/10/16 – ලංකාදීප

ශ‍්‍රී ලංකාවේ මාධ්‍ය භාවිතාවේ වර්තමාන ස්වරූපය ගැන පොදු ජනතාවට ප‍්‍රශ්න තිබේ. ජනතාවගේ කැමැත්ත තේරුම් ගැනීම ගැන ප‍්‍රශ්නයකි. සාමාන්‍යයෙන් ප‍්‍රවෘත්ති විකාශයකදී රටක සිදුවන වැදගත් සිද්ධි ආවරණය විය යුතුය. පුවත් පත් බලන්නේ, ගුවන් විදුලිය අහන්නේ හෝ රූපවාහිනිය නරඹන්නේ තොරතුරු දැන ගැනීමේ අභිලාශයෙනි. නමුත් පොදුවේ පළමුවත්, දෙවැනුවත් හා තෙවැනුවත් දේශපාලනය ඉස්මතු වී තිබේ. ක‍්‍රීඩා ප‍්‍රවෘත්තියක පවා යටි පෙල දේශපාලනිකය.

ජනාධිපතිවරණය ගැන රට තුළ සෑහෙන උනන්දුවක් තිබේ. දහ නම වැනි ව්‍යවස්ථා සංශෝධනයට පසු පවත්වන පළමු ජනාධිපතිවරණයෙහි වාර්තාකරණයට ජනතාව තුළ උනන්දුවක් ඇත. දේශපාලන ප‍්‍රකාශ, පුවත් පත් සාකච්ඡා හා පක්ෂ වල බලය පෙන්වන සිද්ධි පමණක් සුදුසු නැත. පාක්ෂිකයෝ තමන්ගේ නායක කාරකාදීන්ගේ තොරතුරු දැන ගැනීමට ලැදිය. එහෙත් සමබරව හිතන, නිර්දේශපාලනික ජන කොටසක් ද මෙරට සිටී. ඔවුහු දේශපාලන අන්තවාදීහු නොවෙති. මැදහත්ව හිතන, දේශපාලනයේ දී කියන පරිදි පාවෙන ඡන්ද දායකයන් පිරිසකි. රට තුළ සිදුවන සංවර්ධනය, ආණ්ඩුවේ තීරණ, ලෝකයේ සිදුවන සිද්ධි පමණක් නොව අභවකාශයේ පැන නැගෙන වෙනස්කම් ගැන ද දැන ගැනීමට ඔවුන්ට උවමනාවක් ඇත. විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය එකී උවමනාව මග හරින විට සමාජ මාධ්‍ය වශයෙන් අලූතින් විවෘත වන දොරටුව වෙත යොමුවන බව තේරුම්ගත යුතුය. නූතන මාධ්‍ය භාවිතාව අනුව සමාජ මාධ්‍යයේ අවිධිමත්, වගකීම් රහිත වාර්තාකරණය දෝෂාරෝපනයට ලක් කරන විද්වත්හු එයට හේතු වූ කරුණ විමර්ශණය කෙරෙහි අවධානය යොමු නොකිරීම බලවත් ගැටළුවකි.

පසුගිය කාලයේ ඇමරිකාවේ කරන ලද සමීක්ෂණයකට අනුව තරුණ පෙළ රූපවාහිනයෙන් ඈත්වෙමින් සිටී. 2012 සිට 2018 වන විට තරුණ වයසේ පිරිස රූපවාහිනිය නැරඹීමට යොදවන කාලය සියයට හතලිස් හතරකින් පහත වැටී ඇත. අනෙක තාක්ෂණය භාවිතා කරන පාඨකයෝ ප‍්‍රවෘත්තිය තෝරා ගනිති. ශ‍්‍රී ලංකාවේ පවා තමන්ට අවශ්‍ය අවස්ථාවක පුවත් පත් කියවන, රූපවාහිනිය නරඹන හැකියාව ලැබී තිබේ. තමන්ගේ අත ඇති දුරස්ථ පාලකයෙන් තොරතුර පමණක් දැනගෙන දැන්වීම් ඇතුළු තමන් පි‍්‍රය නොකරන දේ පෙරා ගැනීමට හැකියාව ඇත. ජනතාව දැන ගැනීමට අවශ්‍ය තොරතුර නොලැබෙන මාධ්‍ය ප‍්‍රතික්ෂේප කරන අතර තමන් කැමැති විෂය ැන සොයන්නට අන්තර් ජාලයෙහි සැරිසරන පිරිස වර්ධනය වී තිබේ. විකාශය කරන තොරතුර පමණක් නොව එම තොරතුර නිකුත්කර තමන්ට අවශ්‍ය පරිදි රාමුව සකස් වී ඇතැයි උපකල්පනය කරන පිරිස ද මෙම අලූත් රාමුව ගැන ඉතාමත් පුලූල් අවධානයක් යොමු කළ යුතුය.

රූපවාහිනියෙන්, ගුවන් විදුලියෙන් හෝ පුවත් පතකින් තොරතුරක් පළ කිරීමෙන් හො`දම ආවරණයක් ලැබෙන අතර එය ඉතාම සතුටු විය යුතු තත්ත්වයක් නොවේ. තමන්ට පමණක් තෘප්තිමත් විය හැකි මාධ්‍යකරණයකි. ප‍්‍රධාන මාධ්‍යයෙහි වාර්තාකරණයට හසු නොවන අවකාශය තුළ සිටින මධ්‍යස්ථ ප‍්‍රජාවක් අප අභිමුවෙහි සිටී. විවිධ හේතු මත විශේෂයෙන් තමන්ට දැනගත යුතු දේ නොලැබෙන වාර්තාකරණය තුළ මෙම පිරිස වඩ වඩාත් විශාල වෙමින් තිබේ. ප‍්‍රධාන ධාරාවට එපිටින් සිටින පිරිස ගැන අවබෝධයක් ඇති කරගැනීම ප‍්‍රතිපත්ති සම්පාදකයන්, ජන නායකයන් පමණක් නොව මාධ්‍ය ප‍්‍රධානීන්ට ද වැදගත්ය. විද්‍යාර්ථීහු මෙම පැති ගැන පර්යේෂණ කළ යුතුය. අලූත් දැනම සමාජ ගත කළ යුතු අතර ජනතාවට දැනගත යුතු දේ හා ජනතාවට බලහත්කාරයෙන් අනාවරණය කරන දේ අතර ප‍්‍රශස්ථ සමබර බවක් අවශ්‍යය.

උසාවියේ ඇප තැබීමට තාක්ෂණික දායකත්වය

ප්‍රතිචාරයක් ලබාදෙන්න

LOGO

 

2019/10/09 – ලංකාදීප

අධිකරණයේ ඇප තැබීමට තාක්ෂණික දායකත්වය

අධිකරණ ක‍්‍රියාවලිය සංකීර්ණ එකකි. චූදිත පුද්ගලයා ස්වකීය නිවැරදි භාවය ඔප්පු කළ යුතුය. සැකකරුවෙකු හෝ විත්තිකරුවෙකු නඩු කටයුතු අවසන් වන තෙක් ඇපයකට යටත්ය. නියමිත නඩුවාරයේ දී අධිකරණයට ඉදිරිපත් වන විශ්වාසය ඇපයකින් සහතික කෙරේ. ශරීර ඇප එක ක‍්‍රමයකි. රජයේ සේවකයෙකු වන පිලිගත් පුරවැසියෙකුට පුද්ගලයෙකු වෙනුවෙන් ශරීර ඇප නියම කළ විට පෙනී සිටිය හැකිය. පුද්ගල ඇප වෙනුවට මුදල් ඇප නියම කරන අවස්ථා ද ඇත. නීතියට අනුව නියම කරන ඇප මුදලක් අධිකරණයට මුදලින් ගෙවන අතර එය පුද්ගල ඇපයට සමානය. ඇප කොන්දේසි උල්ලංඝනය කළහොත් ඇපකරුට එරෙහිව වරෙන්තු නියෝග නිකුත් කිරීමට හෝ ඇප මුදල් රාජසන්තක කිරීමට අධිකරණයට ප‍්‍රතිපාදන ඇත.

ඉන්දියානා යනුවෙන් උතුරු ඇමරිකානු ජනපදයක් තිබේ. ඇප කොන්දේසි වෙනුවට නූතන තාක්ෂණය භාවිතා කරන තීරණයක් ගෙන ඇත. ඉන්දියානා ජනපදයේ අධිකරණය එකග වී ඇති අන්දමට ඇප නියම වන පුද්ගලයාට තම වියදමින් පාදයේ වලලූ කර ප‍්‍රදේශයේ වලල්ලක් පැළදගැනීමට සිදුවේ. එම උපකරණය පැළද සිටින අය ගැවසෙන තැන සොයා ගත හැකිය. ජී.පී.එස්. තාක්ෂණය එයට භාවිතා කෙරේ. පරිගණක පද්ධතියකට අනුව ඇප වලල්ල පැළදගත් අය කොන්දේසි ප‍්‍රකාරව කටයුතු කරනවා දැයි නිරීක්ෂණය කළ හැකිය. එම වලල්ලකට ගෙවිය යුතු මිලක් තිබේ. ඉන්දියානා ප‍්‍රාන්තයේ තොරතුරු වලට අනුව මෙවලම පැළදගෙන ඇප ඉල්ලන පුද්ගලයා දවසකට ඇමරිකානු ඩොලර් දහ තුනක මුදලක් ගෙවිය යුතුය. පළමු වතාවට බලගැන්වීම සදහා ඩොලර් පනහක අය කිරීමක් ද එයට ඇතුලත්ය. අනුන්ගේ ශරීර ඇප හෝ විශාල මුදලක් ඇපය වශයෙන් තැන්පත් කළ යුතු නැති මෙම ක‍්‍රමය අනුව සුළු වැරදි වලට ඇප නියම වන අවස්ථා වල දී පහසුවක් වී තිබේ.

මෑත කාලය තුළ අධිකරණය නියම කරන ඇප කොන්දේසි දේශපාලන හා නීති විශාරදයන්ගේ බලවත් විවේචනයට ලක් විය. ඇප මුදල පවා ගෙවා ගත නොහැකිව සිරගත වන සුළු වැරදි කළ පිරිස ක‍්‍රමයෙන් ඉහළ යෑම එයට හේතුවකි. මෙම පිරිස බරපතල වැරදි කළ අය නොවේ. අනෙක ඇප වෙනුවෙන් මුදල් සොයා ගැනීමට පවා අපොහොසත් දිළිදු පිරිසකි. නඩු විභාගය අවසන් වන තෙක් රිමාන්ඞ් ගත කෙරෙන අතර එය බන්ධනාගාරයේ තදබදය වැඩි කරන හේතුවක් වී තිබේ. අනෙක බන්ධනාගතව ඇති පිරිස නඩත්තු කිරීමට නිතිපතා වියදම් කළ යුතු පිරිවැය ඉහළ ගොස් ඇත. වරදකරු ග‍්‍රහණය කරගෙන, නිදැල්ලේ හැසිරෙන්නට ඉඩ දීම අලූත් පිලිවෙත බව ඉන්දියානා ජනපදයේ තීරණය දක්වයි.

ශ‍්‍රී ලංකාවේ බන්ධනාගාර අධික තදබදයකය. වරදකරුවන් පමණක් නොව සැකකරුවෝ ද එහි සිටිති. ඇප නියම කළ නමුත් කොන්දේසි සපුරාගත නොහැකි පිරිස ද සෑහෙන කොටසක් බව එහි වාර්තා දක්වයි. මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ අය අත්අඩංගුවට ගැනීමෙන් පසු රිමාන්ඞ් කිරීම ද සාමාන්‍යයෙන් සිදුවෙයි. මෙම සියළු දේ තිබිය දී තම ප‍්‍රතිවාදීන්ට ජම්පර් ඇන්දවීමට මානබලන අවස්ථා තිබේ. ජම්පර් ඇන්දවීම වෙනුවට ලෝකයේ නොයෙක් තැන් වලින් වාර්තා වන අලූත් දේ යුක්තිය පසිදලීමේ ක‍්‍රියාවලියට එකතු කර ගැනීම සුදුසුය.

මෙරට අධිකරණ පද්ධතියේ් පවතින ගැටළු තාක්ෂණික ගැටළු නිසා යුක්තිය පසිදළීමේ කාර්ය ප‍්‍රමාදවෙයි. වරදකරු දඩුවම් විදින කාලයට වඩා රිමාන්ඞ් බන්ධනාගාරයේ සිටින කාලය වැඩිය. වලල්ලට ගෙවිමට මුදල් නැති ඉතාම අසරණ පිරිසට ආධාර කරන ස්වේච්ඡුා සංවිධාන පවා ඉන්දියානා ප‍්‍රදේශයේ බිහි වී තිබේ. තාක්ෂණයෙන් සොයා ගත හැකි හෙයින් සුළු මුදලක් ගෙවා නිදහසේ කටයුතු කරන්නට ඉඩ දීම වරදක් නොවන  බව හිතන තරමට දියුණු සමාජයක ආකල්ප උසස්ය. අධිකරණයේ ප‍්‍රමාදය නිසා විදින දඩුවම ගැන හිතන්නට ද මෙම සිද්ධිය ප‍්‍රයෝජනයට ගත හැකිය.

 

 

ඡන්ද අයිතිය තවත් පුඵල් කරන පියවර ගනිමු

ප්‍රතිචාරයක් ලබාදෙන්න

LOGO

 

 

2019/09/30 – ලංකාදීප

ජනාධිපතිවරණයට දින නියම කර තිබේ. මැතිවරණ කොමිසම පවත්වන පළමු ජනාධිපතිවරණය වශයෙන් සදහන් කළ හැකිය. දහ නම වැනි ව්‍යවස්ථා සංශෝධනයට පසු පවත්වන සහ විධායක බලතල යම් ප‍්‍රමාණයකට සීමා කරන ලද පසුබිමක හෙයින් ජනතාව තුළ ජනාධිපතිවරණය ගැන ජනතාව පුලූල් අවධානයක් දක්වන බව පෙනේ. විධායක ජනාධිපති ධුරය සම්පූර්ණයෙන්ම අහෝසි කළ යුතු බවට බලවත් කතිකාවතක් තිබිය දී පවා වාර්තාගත අපේක්ෂකයන් ප‍්‍රමාණයක් ඉදිරිපත් වන ලකුණු  ද පහල වී ඇත.

ශී‍්‍ර ලාංකික ලියා පදිංචි ඡන්ද දායකයන් සියළුම දෙනාය විධායක ජනාධිපති පත් කරගැනීමේ මැතිවරණයේ දී ඡන්දය ප‍්‍රකාශ කිරීමට අවස්ථාව ලැබේ. එය රට තුළ විශාල උනන්දුවක් උණුසුමක් ඇති කරයි. ඡන්දය භාවිතා කිරීමේ අවස්ථාව අහිමි ජන කොටසක් ද සිටී. එම පිරිස ගැන ප‍්‍රමාණවත් අවධානයක් නැත. මෙරට තරුණ ඡන්දදායකයන් පෙන්වා දී ඇති පරිදි අලූතින්ම ඡන්ද බලය හිමි ලක්ෂ ගණනකට ඡන්දය භාවිතා කිරීමේ අවසරය නැත. ජනාධිපතිවරණය භාවිතා කරන ඡන්ද හිමි නාමලේඛනය එයට හරස් වී තිබේ. 2019 වසර සදහා ලේඛන සකස් වී නැති අතර මෙම වසරේ නිසි අයිතිය ලැබෙන තරුණ තරුණියන්ට ජනාධිපතිවරණයක ඡන්දය භාවිතා කරනු සදහා තවත් අවුරුදු පහක් බලා සිටින්නට සිදුවෙයි. එය යුක්ති සහගත ද යන්න සාකච්ඡා කළ යුතුව තිබේ.

මැතිවරණයක දී ඡන්දය භාවිතා කරන වරම් අහිමි තවත් කොටස් දෙකක් සිටී. රට විරුවන් යැයි ඇගයීමට ලක් වන විදේශ රැකියා වලට පිටත්ව ගිය දස ලක්ෂ සංඛ්‍යාත පිරිසක එක කොටසකි. ත‍්‍රස්තවාදී තර්ජන හමුවේ රට හැර ගිය පිරිස, ඩයස්පෝරාවට ද මෙරට මැතිවරණ වල දී ඡන්දය පාවිච්චි කිරීමේ අවකාශය අහිමිය. ආර්ථික හා සමාජ කාර්ය භාරයේ දී මෙම සියළු දෙනා දක්වන දායකත්වය සුළු සේ තැකිය නොහැකිය. කුළුදුල් ඡන්ද දායකයින්ට, විදේශගත පිරිසට ඡුන්දය භාවිතා කළ හැකි පරිදි ප‍්‍රජාතන්ත‍්‍රවාදී අවකාශය අලූත් කරන්නට යුහුසුළු නොවන්නේ ඇයි?

ඡන්ද හිමි නාම ලේඛනය යාවත්කාලීන කිරීම දැවැන්ත කාර්ය භාරයක් නොවේ. තාක්ෂණය සමග එය ඉතා පහසුය. දිනපතා නිසි වයසට එළැඹෙන තරුණන් ගේ නම එදිනෙදා ඇතුලත් කළ හැකිය. දැනට කරගෙන යන ක‍්‍රමවේදය අනුව වසරක්පාසා අලූතින්ම ලේඛන සකස් කරයි. ග‍්‍රාම නිලධාරීහු සෑම නිවසකින්ම දත්ත එකතු කරති. එය දැනට ඡන්ද වරම ඇති පුරවැසියන්ගේ තොරතුරු පවා වසරක්පාසා එකතු කරන යල් පැනගිය ක‍්‍රමවේදයකි. කඩදාසි නාස්තියකි. විශාල කාලයක් හා ධනයක් වැයවේ. මැතිවරණ කොමිසම සිය බලය භාවිතා කර වසර හැත්තෑවක් තිස්සේ පවත්වාගෙන යන සම්ප‍්‍රදායික ව්‍යුහය වෙනස්  කරන්නේ කෙසේදැයි සොයා බැලිය යුතුය.

ඡන්ද හිමි නාමලේඛනයේ නිවැරදි තොරතුරු ජාතික පාසල් වලට දරුවෝ ඇතුලත්කර ගැනීමේ දී ප‍්‍රයෝජනයට ගැනෙති. ජාතික පාසලට ඇතුලත්කරන සාක්ෂිය හෙයින් පුරවැසියෝ ඡන්ද හිමි නාම ලේඛනය යේ නම තිබීම ඡන්ද අයිතියටත් වඩා වැදගත් සේ කල්පනා කරන බව පෙනේ.

ජනාධිපතිවරණයේ දී ඡන්දය භාවිතා කරන පුරවැසියන් පමණක් නොව ඡන්ද වරම අහිමි ජන කොටස ද ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රවාහයට එකතු කරගත යුතුය. තීරණාත්මක මැතිවරණයක දී දස ලක්ෂ සංඛ්‍යාත පිරිසක් පැත්තකින් තබා ජනමතය විමසීම සාධාරණ නැත. ලෝකයේ  ඕනෑම තැනක සිට ඡන්දය පාවිච්චි කළ හැකි පරිදි ඡන්ද පෙට්ටියේ ආකෘතිය වෙනස් කිරීමට හැකියාව තිබේ. එවැනි තාක්ෂණික ක‍්‍රම ලෝකයේ අලූත් දේ නොවන බව සදහන් කළ යුතුය. කඩදාසියක ලකුණු කර, ඒවා පෙට්ටියක බහා සීල් කිරීම වෙනුවට විද්‍යුත් ක‍්‍රමය  ඉතා වියදම් අඩු බව පෙන්වා දිය හැකිය. සිමිත මෙහෙයුමකින් තීරණයක් ගත හැකි ක‍්‍රමවේදයකි. ක‍්‍රමය වෙනස් කළහොත් ලෝකයේ අනෙක් රටවලට ආදර්ශයක් සැපයීමට ශ‍්‍රී ලංකාවට හැකිය. අලූතින් හිතන්නට අවශ්‍යය. පුලූල් සහභාගීත්වයක් හා තාක්ෂණයෙන් ඉහළ මැතිවරණ පැවැත්වීමේ ක‍්‍රමවේදයක් ගැන හිතන්නට කාලය එළැඹ තිබේ.