දේශපාලනඥයන්ගේ සුදුසුකම් සෙවීම අවශ්‍යමද?

ප්‍රතිචාරයක් ලබාදෙන්න

m prash

2020/01/29 – ලංකාදීප

දේශපාලනඥයන්ගේ පිරිහීම ගැන සෑහෙන විවේචනයක් තිබේ. පක්ෂ හෝ විපක්ෂ බේධයක් නැත. දේශපාලනඥයෝ කෙරෙහි යම් අකමැත්තක් පවතින බව නිරීක්ෂණය කළ හැකිය. රට බෙදන්නට, රට විකුණන්නට හෝ දේශපාලනයෙන් හරිහම්බකරගන්නට පමණක් වෑයම් කරන පිරිසක් යැයි කල්පනා කිරීම නුසුදුසුය. සිදුවීම්, විකෘති මත පැතිරවීම ඔස්සේ දේශපාලනඥයෝ සැහෙන කලූ චරිත සේ හුවා දක්වති. දේශපාලනය ද එක්තරා වෘත්තියක් වන අතර එය සමාජයේ නියෝජනයකි.

ජර්මනියේ විසූ දාර්ශනික පාලකයෙකු වූ බිස්මාක් දේශපාලනය ගැන කරන නිර්වචනයක අනුව දේශපාලනය යනු කළ හැකි දෙය සම්බන්ධ කලාවක් වන අතර එය අත්කරගත හැකි විශිෂ්ඨ දෙයකි. යතාර්ථය එයයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ලෝකයේ ප‍්‍රචලිත පාලන ක‍්‍රමයකි. කාලානුරූපව දියුණු වෙමින් පවතින අතර එහි අඩුපාඩු තිබිය හැකිය. ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනය ක‍්‍රියාත්මක වන ආකාරයක් තිබේ. වැඩිදෙනාගේ කැමැත්තෙන් තීරණ ගැනීම වන අතර කොටසක් එම තීරණවලට එකග නැති විය හැකිය. විරුද්ධවීමට අයිතියක් තිබීම ද ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ගුණාංගයකි.

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය දුෂ්ඨ, අකාරුණික, බලලෝභි එකක් යැයි සිතන බව පෙනේ. බහුතරයක් දූෂිත යැයි ප‍්‍රකාශවෙscan0177,යි. එහෙයින් ක‍්‍රමය වෙනස් කරනු සදහා විද්වත්, බුද්ධිමත් පිරිසක් තෝරා ගත යුතු බවට බලවත් අදහසක් ඇත.

විද්වත් පිරිස අතරින් පාලකයා තෝරා ගැණිනි නම් ඇමරිකාවේ පළමු ජනාධිපති වශයෙන් ජෝර්ජ් වොෂින්ටන් පත් වන්නේ නැත. එදා සිට අද දක්වා ලෝකයේ නොයෙක් රටවල පාලකයෝ ජනතාව අතර ගැවසෙන ජනාදරයට පත් පුද්ගලයන් අතරින් බිහි වී තිබේ. දැනුම, අවබෝධය හා අත්දැකීම් ජනතාව ඇසුරෙහි ගැවසී ලබා ගන්නා දේශපාලනඥයන් ගේ පිලිවෙල සමහර බුද්ධිමතුන්ට වඩා අගනා බව ඔප්පු වී තිබේ. සහතික හා වෘත්තීය තත්ත්වය අනුව සලකා බලනවිට සාහිත්‍යධරයන්, නව නිමැවුම්කරුවන්, ප‍්‍රබල ව්‍යවසායකයන් සෑහෙන පිරිසක් අවලංගු වන බව නිසැකය. දේශපාලනය ද වෘත්තියකි. එහි නිරතවීමට සුදුසුකම් සෙවීම නිෂ්ඵලය. ජනතාව වෙනුවෙන් පෙනී සිටින හා කැපවීමට ඇති හැකියාවක් තිබීම හොදටම ප‍්‍රමාණවත්ය. වියතුන් හා ඉගෙනුමෙහි ප‍්‍රවීනයන් වෙනුවට අප තෝරා ගත යුතු චරිතවත් පුද්ගලයන්ය.

යුද කාල පරිච්ඡේදය පැවැති පසුබිම තුළ දේශපාලනයට පැමිණි පුද්ගලයෝ ප‍්‍රචණ්ඩත්වයට හුරු වී සිටියහ. සාමකාමී සහජීවනයට වඩා බලහත්කාරයට නැඹුරුවූහ. අද එය වෙනස් විය යුතු බව අවිවාදිතය. එය කළ යුතු දක්ෂතම වෛද්‍යවරයා හෝ දක්ෂතම ඉංජිනේරුවා දේශපාලනයට ගෙනැවිත් අසාර්ථක කිරීමෙන් නොවේ. දක්ෂ පිරිස තමන් දන්නා කලාවෙන්, ශිල්පයෙන් රටට වැඩ කළ යුතු අතර ජනතාව කැමැත්තෙන් තෝරා ගන්නා නියෝජිතයන්ට දේශපාලනඥයන් වශයෙන් ක‍්‍රියාකිරීමට ඉඩ දිය යුතුය.

ඉතාම බුද්ධිමත් චරිතයකට පවා තමන්ගේ කැපවීම අනුව ජනතා අභිලාශ සාර්ථක කළ නොහැකි අවස්ථාවේ දී අදක්ෂ දේශපාලනඥයෙකු බවට පත්වේ. ඉතිහාසය එයට සාක්ෂි දරයි. සෑම වෘත්තීයකම ආචාර ධර්ම හා සම්ප‍්‍රදාය පවතින අතර ඒවා ආරක්ෂා කිරීම හැර අනෙකක් නැත. දේශපාලනඥයන්ගේ අසාර්ථකත්වය හමුවේ වෙනත් වෘත්තීයකින් පිහිට පැතීම එනම් බුද්ධිමතුන්ගෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඉල්ලන අප අමතක කළ යුතු නැති දෙයක් තිබේ. එය අසාර්ථක වුවහොත් අනාගතයේ දී අත්පත්වන ප‍්‍රතිඵලය කුමක්ද? මැතිවරණයකට ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ විභාග සුදුසුකම් පරීක්ෂා කිරීම හෝ වියතුන්, බුද්ධිමතුන් පමණක් ජනතා නියෝජිතයන් වශයෙන් පත් කරගත යුතුය යන අදහස ප‍්‍රායෝගික නැත. දක්ෂතාවය ඇති මහජනතාව වෙනුවෙන් කැපවිය හැකි බුද්ධිමතුන්ට දේශපාලනයෙහි දොරටු විවෘත විය යුතුය. මහජනතාව අතර සිටින ජනතාවාදී මිනිසුන්ට සුදුසුකම් සොයා බලා දේශපාලනයේ දොරටු වැසීම සිදුවිය යුතු නැත.

 

 

 

 

 

 

බි‍්‍රතාන්‍ය අගමැතිගෙන් අපටත් පාඩමක්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

m prash

 

2020/01/22 – ලංකාදීප

බි‍්‍රතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් සිය කැබිනට් මණ්ඩලයට තදින් අවවාද කර තිබේ. ප‍්‍රතිඵල නොපෙන්වුවහොත් සතියකින් කැබිනට් ප‍්‍රතිසංස්කරණයක් කරන බවට අනතුරු අගවා ඇත. පළපුරුදු ඡ්‍යෙශ්ඨ ඇමැතිවරුන් පවා පරිවාස කාලයකට යටත් කර ඇති බව අගමැති නිල නිවසින් ලැබෙන වාර්තා අනාවරණය කරයි. ප‍්‍රතිරූපය හදා ගැනීමට වඩා රට ගොඩනැගීමට කටයුත කළ යුතු බව ප‍්‍රකාශ කර ඇත. අගමැතිවරයාගේ මෙම ප‍්‍රවේශය දෙස බි‍්‍රතාන්‍ය පුරවැසියෝ බලවත් කැමැත්තක් දක්වන බව අනාවරණය වෙයි.

යුරෝපා සංවිධානයෙන් ඉවත්වන තීරණය බි‍්‍රතාන්‍ය ආර්ථිකය හා දේශපාලනය කුණාටුවකට තල්ලූ කළේය. හිටපු අගමැති ඬේවිඞ් කැමරන් ජනමත විචාරණයක් පවත්වන ලද අතර යුරෝපා සංවිධානයෙන් ඉවත්විය යුතු බවට බි‍්‍රතාන්‍ය වැසියන් අතරින් සියයට 51.9 ක් ප‍්‍රකාශ කළහ. එවකට බලයේ සිටි කැමරන් සිය පරාජය හේතුවෙන් ධුරයෙන් ඉල්ලා අස්වූ අතර අනතරුව බලයට පත් තෙරේසා මේ අගමැතිනියට ද තත්ත්වය පාලනය කරගත නොහැකි විය. වත්මන් අගමැති බොරිස් ජොන්සන් පවා ව්‍යාකූලතාවයන්ට මුහුණ දුන් අතර රට තුළ පැන නැගුණ අන්තවාදය බරපතල ස්වභාවයක පවතින බව විචාරක මතයයි.

මෑතක දී පැවැති මහ මැතිවරණයෙන් ජය ගත් බොරිස් ජොන්සන් අගමැතිවරයා පවතින අන්තවාදී ස්වභාවය තුළ ස්ථාවරත්වයක් ගොඩනගාගන්නට වැයම් කරමින් සිටී. එය පහසු නැත. සිය ඇමැති මණ්ඩලය පාලනය කරගැනීමේ අරමුණ ප‍්‍රධාන අවශ්‍යතාවයක් බව ඔහුට ඒත්තු ගැන්වී තිබේ. රූපවාහිනී වැඩසටහන් වලට සහභාගී වී ප‍්‍රතිරූපය ගැන සැලකිලිමත්වීම පැත්තකට කළ යුතු අතර කැපවීමෙන් සේවය කළහොත් රට ඉහළට ඔසවා තැබිය හැකි බව අගමැතිවරයාගේ අවවාදය වී ඇත.
ඇමැතිවරු වැඩ කරන බව ජනතාවට දැනෙන්නට අවශ්‍ය අතර මාධ්‍යවේදීන්ට කෑමෙන් බීමෙන් සංග‍්‍රහ කරන ඇමැතිවරු එයින් සිය ජනප‍්‍රියත්වය පවත්වා ගැනීමට උත්සාහ කරන්නේ නම් තනතුර අත්හරින්නට සූදානම් විය යුතු බව කියා තිබේ.

ඩවුනිං වීදියේ අංක දහය දරන තැන පිහිටි අගමැති කාර්යාලයෙන් එන මෙම අලූත් ප‍්‍රාණවත් භාවය කැළඹීමක ලකුණු බව ප‍්‍රකාශ වෙයි. බි‍්‍රක්සිට් යෝජනාවෙන් ඉවත්වන අතර රට ඉදිරියට ගෙන යන්නට නම් මහන්සියෙන් වැඩ කර හොද ප‍්‍රතිඵල පෙන්විය යුතු බව අවධාරණය කර ඇත.
බලයට පත්වන දේශපාලනඥයෝ කැබිනට් මණ්ඩලයේ ලොකුම තනතුර අපේක්ෂා කරන අතර එයින් පසු තම ප‍්‍රතිරූපය නංවන ව්‍යාපෘති කෙරෙහි සැලකිලිමත් වෙති. ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමය පවතින කොතැනක පවා සිදුවන සාමාන්‍ය දෙයකි. රූපවාහිනී හා ගුවන් විදුලි වැඩසටහන් සහ පුවත් පත් සම්මුඛ සාකච්ඡා වලින් මැති ඇමැතිවරු බලය පෙන්වන බව පෙනේ. පොදු ජනතාවට සේවය කිරීමට වඩා මාධ්‍ය වලින් අවස්ථාවක් ගැනීමට වෙහෙසෙති. ඡන්දයට පසු ගමට යන්නේ නැති මහජන නියෝජිතයෝ මාධ්‍යවල පෙනී සිටින අතර ඒවායෙන් කරන ‘‘වොයිස්කට් දේශපාලනය’’ පැවැත්ම අවුල් කරන එකක් පමණකි.

මැතිවරණයක දී ඡන්දය දෙන ජනතාව හඩක් නැගිය හැකි, හොද ප‍්‍රතිරූපයක් සහිත චරිත වලින් රටක් ගොඩනගන ප‍්‍රයත්නයක් අපේක්ෂා කරනවාදැයි ප‍්‍රශ්න කිරිමට කාලය එළැඹ තිබේ. හඩ ද නැත්නම් රටකට අවශ්‍ය වැඩ ද යන්න කල්පනා කිරීම ජනතාව සතු වගකීමකි. බි‍්‍රක්සිට් උගුලක සිටින බි‍්‍රතාන්‍ය දේශපාලනය රට තුළ නැගෙන ඇමැති ප‍්‍රතිරූප ගැලවීමකට මාවත බව විශ්වාස කරන්නේ නැත. ලෝකයේ පවතින ආර්ථික හා සමාජ තරගකාරීත්වය හා අලූතින් පැන නැගෙන ප‍්‍රශ්න දෙස සාවධාන වන ගැඹුරෙන් අවධානය යොමු කරන දේශපාලන සංවාද ඕනෑම රටකට සුදුසුය. ප‍්‍රතිපාක්ෂික දේශපාලනඥයන් මැඩ එයින් ජයග‍්‍රාහකයන් වන සංවාද වලින් පමණක් රටක් ගොඩගැනීමට පුලූවන් කමක් තිබේ නම් ශ‍්‍රී ලංකාව දැනටමත් පාරාදීසයකි. බි‍්‍රතාන්‍ය අගමැතිවරයාගේ තරවටුව අපට පෙන්වා දෙන ආදර්ශය එයයි.

තෛපොන්ගල් සමග බැදූනු සිංහල අලුත් අවුරුද්ද

ප්‍රතිචාරයක් ලබාදෙන්න

m prash

2020/01/15 – ලංකාදීප

ලොව පුරා දෙමළ ජනතාව අද දිනයේ දී තයිපොන්ගල් උත්සවය නිමිති කරගෙන වතාවත් පවත්වති. වැදගත් සංස්කෘතික සමාජයීය පිලිවෙත් විදහා දක්වන අනර්ඝ පිලිවෙතක් වශයෙන් සදහන් කළ හැකිය. තයිපොන්ගල් උත්සව පුරාණය දකුණු ඉන්දියාව දක්වා විහිදෙයි. ගොවිතැනේ දී ලැබුණ සරු අස්වැන්න වෙනුවෙන් කෘතවේදීත්වය පළ කිරීම මෙම උත්සවයේ සංකල්පීය පොදු ලක්ෂණය බව සදහන් කළ හැකිය.

සොබාදහමේ කාරුණිකත්වය ගොවියන්ට ඉතා වැදගත්ය. හිරු එළිය ප‍්‍රධාන වශයෙන් සලකා බැලේ. සූර්ය ශක්තිය අනුව සොබා දහම පවතින බවව පුරාණ සංස්කෘතීන් දැන සිටියහ. ගොවියා හා සමානව කෙතට බැස මෙහෙවරෙහි යෙදෙන ගවයා ගේ කාර්යය ද මිළ කළ නොහැකිය. අස්වනු නෙළාගත් පසු සූර්යයා වෙත ප‍්‍රතිචාර දක්වන ගොවීහු ගොවිතැනට නිසි දායකත්වයක් දැක් වූ ගවයෝ සරහා හො`ද ආහාර පාන සපයා සතුටට පත් කරති. අතීතයේ දී දෙවියන් සේ සලකා හිරු නමදින ලද අතර සෑම අවස්ථාවකම හිරු ගේ ප‍්‍රයෝජනය අගය කළහ. ආවේනික සැරසිලි කරන පැරණි කාල වකවානුවේ මිදුලේ කෝළම් රටා ඇද එය පරපුරෙන් පරපුරට ගෙන යන සිද්ධියක් බවට හරවති.  ආහාර පාන සහ කැවිලි, අලූත් ඇදුම් අසල්වැසියන් සමග බෙදා හදා ගන්නා දෙමළ ප‍්‍රජාව එයින් සතුටට පත් වෙති. මෙම එකිනෙක අංශ පදනම් කරගෙන තයිපොන්ගල් උත්සවය දින තුනක් පවත්වන ආගමික හා සංස්කෘතික ප‍්‍රබෝධමත් එකක් බව පැරණි වාර්තා දක්වයි.

දකුණු ඉන්දියාවෙන් පැතිර ලෝකයේ තැනින් තැන ගිය දෙමළ ජනතාව තයිපොන්ගල් සංස්කෘතිය හැම හදවතකටම කාන්දු කරන්නට සමත්ව ඇත. මෙරටට පැමිණි දෙමළ ජනතාව එය ශ‍්‍රී ලාංකේය පැවැත්මට මුහු කර ගෙන තිබේ. මැලේසියාව, සිංගප්පූරුව, ඇමරිකාව, බි‍්‍රතාන්‍යය ඇතුළු ලෝකයේ නොයෙක් රටවල ජීවත්වන ඩයස්පෝරාව ස්වකීය උරුමය සිහිපත් කරන අවස්ථාවක් බවට පත් කරගෙන සිටින බව නිරීක්ෂණය කළ හැකිය.

දෙමළ ජනතාව තයිපොන්ගල් උත්සවය පවත්වන විට සිංහල වැසියෝ භාග්‍යවන්ත මාසයේ දී අවුරුදු උත්සවය පවත්වති. නව වසරක් උදා වූ බව කල්පනා කර මධ්‍යම රාත‍්‍රියේ සිට පහන් වන තුරු සාද පවත්වන ලද ඇතැම් දෙනෙකු පවා රටක ජීවත්වන ජනී ජනයා පවත්වන උත්සවවල උල්පත අවබෝධ කරගෙන සිටිය යුතුය. තයිපොන්ගල් දිනය හුදෙක් නිවාඩු දිනයක් නොවේ. එයට එපිටින් බලවත් දර්ශනයක් ඇත. ශ‍්‍රී ලාංකිකයන්ගේ අනන්‍යතාව හා සමානව සෞභාග්‍යය හා තෘප්තිය ගැන ප‍්‍රවේශයක් තිබේ.

අනෙක් පාර්ශවයේ අනන්‍යතා හැදිනනගෙන ඒවාට ගරු කිරීම අප සියළු දෙනාගේ වගකීමකි. තයිපොන්ගල් දිනයේ දී දෙමල ජනතාව සතුටුවන අන්දමට සිංහල අවුරුද්දේ දී සිංහලයන් ප‍්‍රමෝදයට පත් විය යුතුය.

ජන ජීවිතය, ආහාර සහ පැවැත්ම ගැන අතීතයෙන් එකතු වී ඇති දර්ශනය ගැන නැවත වතාවක් හිතන්නට කාල වකවානුවක් එළැඹ තිබේ. මෙම තයිපොන්ගල් සහ එළැඹෙන සිංහල අවුරුද්ද එයට පදනමකි. ලෝකය පුරා පවතින කාලගුණ හා ස්වභාවික කැළඹිලි ක‍්‍රමයෙන් තීරණාත්මක තැනකට ප‍්‍රවේශ වී තිබේ. අනෙකා ගේ පැවැත්ම නොඉවසන රටාවක් තුළ ස්වභාවිකත්වය අගය කරන මානසිකත්වයක් ඇති කරගැනීමට පුලූවන්කමක් නැත. අනෙක් පාර්ශවය ගැන මනස යොමු නොකරන  වරද තුළ සියළු විපත් හා අර්බුද පැන නැග ඇති බව අවධානයට ගත යුතුය. සංස්කෘතික අනන්‍යතා තුළ ඇති උරුමය වටහා ගැනීම වැදගත්ය. සන්සුන් සිතින් මැදහත්ව ජීවත්විය යුතු අතර සොබා දහම හා සමීපවීම සාර්ථකත්වයට හේතුව බව ඉතිහාසය මනාව සනාථකර ඇති ධර්මතාවයකි.

බලයට උඩගු නොවී සාමාන්‍ය සෙබලෙකු සේ සිටි සුලෙයිමානි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

m prash

2020/01/08 – ලංකාදීප

ඉරාන හමුදා ප‍්‍රධානි කසෙම් සුලෙයිමානි ගේ ඝාතනය ලෝකය පුරා කැළඹීමක් ඇති කර තිබේ. ඉරාකයේ බැග්ඩෑග් ගුවන් තොටුපොල අසල දී එල්ල කරන ලද ඩෝන ප‍්‍රහාරයකින් ඔහු ජීවිතක්ෂයට පත් විය. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් ගේ අනුදැනුම ඇතිව මෙම ප‍්‍රහාරය එල්ල කරන ලද බව සදහන්ය. ඉරානයේ උත්තරීතර නායකයාට පසු බලවත්ම චරිතය වශයෙන් ඉමහත් ගෞරවයට පාත‍්‍ර වි සිටියේය. මරණයෙන් පසු දෙවියන්ගේ දොරටුව විවෘත වන යහපත් පුද්ගලයන්ගේ වරම ජීවත්ව සිටිය දී හිමිකරගෙන සිටි හෙතෙම ඉරානයට එපිටින් ඇති මැදපෙරදිග රටවල ෂියා අයිතිවාසිකම් වෙනුවෙන් පළ කළ නිර්භීත බව එයට හේතු විය.

ඝාතනයට ලක්වන විට සුලෙයිමානි, ඉරාක යේ නිල සංචාරයක නිරතව සිටියේය. එරට අගමැතිවරයා මුණගැසීමට නියමිතව සිටි අතර ත‍්‍රස්තවාදියෙකු නොවන හමුදා නායකයෙකු වෙනත් රටක දී ඝාතනය කිරීම ඇමරිකානුවන් පවා මවිත කළ කාරණයකි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අයුක්ති සහගත ඝාතන සම්බන්ධ නිලධාරිනිය ඇතුළු ලෝක නායකයෝ සිද්ධිය හෙළා දැක නිවේදන නිකුත් කර ඇත. ත‍්‍රස්තවාදය තරමටම බලහත්කාරය වර්ධනය වී ඇති අතර ඩ්‍රෝන තාක්ෂණය වැනි උපක‍්‍රම ඉදිරියේ ආරක්ෂාව සම්බන්ධ බරපතල ගැටළු පැන ලෝකයේ පැන නැගී ඇති බව පෙනේ.

1980-88 කාලයේ ඉරාන ඉරාක යුද්ධයේ දී සොලෙයිමානි ගේ දක්ෂතාවය කැපී පෙණින. අයිසිස් ත‍්‍රස්තවාදීන් සමග සටන් කරන විට ඇමරිකාව පැත්තේ සිටි සුලෙයිමාන් ඉරාකය ගලවා ගත්තේය. එය සුලෙයිමානි ගේ නායකත්ව දක්ෂතාවයයි. ෂියා නායකයන් ශක්තිමත්කර මැදපෙරදිග කලාපයෙන් ඇමරිකාව පලවා හරින ප‍්‍රයත්නයේ දී ඔහු ත‍්‍රස්තවාදියෙකු බවට පත්වන බව පෙන්වා දිය යුතුය. මෙම සංකීර්ණ ස්වභාවය තුළ සොලෙයිමාන් එක භූමිකාවක දී වීරයෙකි. තවත් අවස්ථාවක ත‍්‍රස්තවාදියෙකි.  ඇමරිකානු නායකයා කියන පරිදි  නියම් හෝ අනියම් ලෙස ලක්ෂ සංඛ්‍යාත මිනීමැරුම් වලට ඔහු වගකිව යුතුය. එහෙත් ෂියා ජාතිකයන්ට සුලෙයිමානි දැවැන්ත වීරයෙකි. මැදපෙරදිග එක්සත් කරන ප‍්‍රයත්නය ඉදිරියට ගෙන ගිය පුද්ගලයාය. ෂියා දර්ශනය අනුව ඉරානය මෙහෙය වූ නොපෙනෙන හස්තය සේ ක‍්‍රියා කළේය. ජාත්‍යන්තර ප‍්‍රජාව ඔහු ගැන විමසිලිමත්ව සිටි හේතුව ද එයයි.

ඉරාක යුද්ධයෙන් පසු මේජර් ජනරාල් ධුරයට පත් කරන ලද සුලෙයිමාන් අනුගමනය කරන ලද දර්ශනය අනුව එරට කැපී පෙනෙන චරිතයක් විය. ඔහු බලයට බලවත් කෑදරකමක් දැක්වූයේ නැත. තනතුරු හෝ වරප‍්‍රසාද මායිම් කළේ නැත. යුද බිමේ දී සාමාන්‍ය සොල්දාදුවන් ඇසුරෙහි ගැවසුන අතර බලවත් ආත්ම ශක්තියක් පෙන්නුම් කළේය. කවර හෝ මොහොතක හෝ මරණය එතැයි සූදානමින් ලක්ෂ පහකට වැඩි භට පිරිසකට නායකත්වය දුන් හෙතෙම තමන් මිය ගිය පසු සාමාන්‍ය සොල්දාදුවෙකු සේ සලකා සොහොන් කොත සකස් කරන සේ ඉල්ලා තිබුණි. ජීවත්ව සිටිය දී පමණක් නොව මරණයේ දී ද ඉහළම බුහුමන් ඉල්ලන යුද නායකයන්ට සුලෙයිමානි කදිම ආදර්ශයකි. ඉහළම තාන්තර හෝ තරු පහේ ජීවිත පසෙකට කරන ලද හෙතෙම ඉරාන රජයේ නිල සාකච්ඡා වලට සහභාගීවන විට පවා වඩා අවධානයට නොගැනෙන තැනක සාමාන්‍ය අසුනක් තෝරාගෙන පැත්තකට වී සිටි බව ප‍්‍රකාශවෙන කරුණකි.

මැදපෙරදිග රටවල් අතර ෂියාවරුන්ගේ එක්සත් භාවය වෙනුවෙන් ක‍්‍රියාකරමින් සිටි සුලෙයිමානි ගේ මරණය සමග ඔහු ගේ අභිමතාර්ථ සාක්ෂාත් කරන මාවත උදා වෙමින් තිබෙන බව නිරීක්ෂණය කළ හැකිය. ඉරාක පාර්ලිමේන්තුව විදේශ හමුදා ඉවත්කරන යෝජනාවක් වහාම සම්මත කළේය. යේමනය, සිරියාව, ඉරාකය, ලෙබනනය ඇතුළු මුළු මැදපෙරදිග රටවල් පවා එක මිටට එකතු වී සිටී. ඉරානය රක්ත වර්ණ ධජය ඔසවා ඇති අතර නුදුරු කාලයේ මතුවිය හැකි තත්ත්වය උණුසුම් විය හැකිය. ඉරාකයේ සිට දේහය රැගෙන යන විට ලක්ෂ ගණනින් ඔහු වෙනුවෙන් එකතු වූ අතර අවසන් කටයුතු සිදුවන අවස්ථාවේ දී මිලියන පහලොවකට වැඩි ජනකායක් එකතුවනු ඇතැයි බටහිර මාධ්‍ය වාර්තා කර තිබුණි. සාමාන්‍ය සෙබලෙකු සේ මිහිදන් කරන සේ ඉල්ලා සිටි සුලෙයිමාන් වෙත ඉරාන ජනී ජනයා පෙල ගැසී බුහුමන් දක්වන්නේ මන් ද යන කාරණය පරෙස්සමෙන් අධ්‍යයනය කළ යුතුය.

නොතේරෙන දේ වුවත් ගායනයේදී හදවතට සමීපවෙයි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

m prash

2020/01/01 – ලංකාදීප

අලූත් යුගයක් උදා වෙමින් තිබේ. පවතින දේශපාලන, සමාජ හෝ වෙනත් පැති කෙසේ වෙතත් තාක්ෂණික වශයෙන් දියුණු සහ සංකීර්ණ අවධියකට ලෝකය ගමන් කරමින් සිටී. විශාල බලාපොරොත්තු සහිතව උදා වූ නව වසර පරිවර්තන යුගයක පදනමක් සනිටුහන් කරනු ඇත.

අද පරම්පරාව වසර තිහ හතලිහකට කලින් සිහිනයෙන් හෝ නොසිතූ දේ මෙකල යතාර්ථයක් වෙමින් පවතී. වෛද්‍ය විද්‍යාවේ දියුණුව මවිත කරන සුළුය. ආයු කාලය තමන් තීරණය කරන තැනට පත් විය හැකිය. සන්නිවේදනය හුදෙක් කතාබහකට සීමා වී නැත. දුරකතනය මෙහෙයවන අතැගිලි අග වාහනයක් ගෙන්වා ගැනීමේ සිට ආහාර ඇනවුම් කිරීම හෝ බැංකු කටයුතු පවා තිබේ. ප‍්‍රවාහන ක‍්‍රම, බලශක්තිය තවදුරටත් පැරණි රාමුවෙන් ඔබ්බට ප‍්‍රවේශ වී ඇත. අද උපදින දරුවන්ගේ සමාජ වටපිටාව අනාගතයේ දී කෙසේ සකස්වනු ඇත්දැයි අනාවැකි පළ කිරීමට පුලූවන්කමක් නැත. තාක්ෂණය හා විද්‍යාවේ දියුණුව උපයෝගී කරගෙන අනාගතය සාක්ෂාත් කරගැනීම හැර අනෙක් වාද විවාද සුදුසු නැත.

පසුගිය වසර අවසානයේ දී පමණක් නොව නව වසර උදා වන විට ද පැරණි මතාන්තර නැවතත් අවදිවෙමින් තිබේ. එය ප‍්‍රශ්න ඇති කරනු ඇත. ජාතික ගීය වෙනත් භාෂාවකින් ගායනා කිරීම ගැන වරින් වර මතබේධ ඇති වී තිබේ. වසර තුනකට කලින් ද බලවත් ආන්දෝලනයක් ඇතිවිය. අලූතින් කියැවෙන පරිදි ජාතික ගීය සිංහල භාෂාවෙන් පමණක් ගායනා කළ යුතු යැයි නියම වෙන්නට ඉඩ තිබේ. ජාතික ගීතයෙන් අනෙක් බසකට පරිවර්තනය කිරීම ගැටළුවක් විය හැකිය. නමුත් ගීය ගායනා කරන අවස්ථාවේ දී රට ගැන හැගීමක් ජනිතකර හදවතේ ආදරයක් ඇතිවෙන්නට නම් එයින් කියැවෙන දේ තේරුම් ගැනීමට හැකියාවක් තිබිය යුතුය. ජාතික ගීය විදින්නට සහ එයින් හදවත් පිබිදෙන්නට අවශ්‍යය. නොවැටහෙන පදවැලක් ගායනා කරන අවස්ථාවක දී අප මුහුණ දෙන අත්දැකීම එක රටක ජීවත්වන අන්‍යභාෂාවක් කතා කරන පුරවැසියෙකුට දැනෙන්නට ඉඩ හැරීම සාධාරණ නැත. නවීන ලෝකයක පැවැත්මකට ඇතුළුවෙමින් සිටින අප සියළු දෙනා පුලූල් අවබෝධයක් සහිතව තීරණ ගත යුතුව තිබේ.

ඉන්දියාව නොයෙක් ජාතීන් ජීවත්වන බෙදීම් සහිත රටකි. විවිධ භාෂා හසුරුවන රටක ආත්මය බවට එරට ජාතික ගීය පත්ව තිබේ. ඉන්දියාවේ විශිෂ්ඨ ශිල්පීන් වන ආශා බෝස්ලේ සහ ලතා මංගේෂ්කාර් ඔවුන්ට අනන්‍ය ක‍්‍රමයකට ඉන්දීය ජාතික ගීය ගායනා කළ අතර එය අදටත් අන්තර් ජාලයෙන් සවන්දිය හැකිය. ඉන්දියානුවෝ එයින් අමන්දානන්දයට පත්වූහ. සිංගප්පූරුවේ බහුතරය චීන නමුත් එරට නිතිය අනුව ජාතික ගීය ගායනා කළහැක්කේ මැලේ භාෂාවෙන් පමණකි. ඇමරිකාවේ මහා ගායිකාවක වන අරිතා ෆ්රුන්ක්ලින් ඇමරිකානු ජාතික ගීය කලූ අප‍්‍රිකානු ශෛලියකට ගායනා කළාය. මහජන චින සමූහාණ්ඩුවේ ජාතික ගීය පවා කොමියුනිස්ට් ප‍්‍රතිංස්කරණ වලට පසු වෙනස්කර තිබේ. භාෂාව හෝ ගයන ආකාරය ගැන බේධ තිබිය හැකි නමුත් රට කෙරෙහි පවතින අභිමානයට එය පලූද්දක් නොවන බව මෙයින් පෙන්නුම් කෙරේ.

ජාතික ගීය රටක වැදගත් සංකේතයකි. ඒකීය භාවය අරභයා භූමිය එයට ඉදිරියෙන් සිටී. දහතුන් වැනි සංශෝධනය අනුව පලාත් වශයෙන් බලය බෙදා ඇත. ජාතික ගීය අනෙක් භාෂාවකින් ගායනා කිරීමට වඩා එය බරපතලය. රට එකතු කර සමගිය ඇති කරනු සදහා විවිධ සංස්කෘතික හා විවිධ අනන්‍යතාවලට ඉඩ දෙන අතර ඒකීය භාවය තහවුරු කළ යුතුය. දහතුන් වැනි සංශෝධනය අහෝසි කර පලාත් සභා ක‍්‍රමය අත්හැර දැමීම එහිලා වැදගත්ය. ජන නියෝජනය අවශ්‍ය යැයි සිතන්නේ නම් සෙනෙට් සභාවක් පත් කරගත හැකිය. ජන වර්ග නියෝජනය කරන බුද්ධිමත් පිරිසක් නියෝජනය කරන සෙනෙට් සභාව ගැටළු නිරාකරණයට මගකි. ජාතික ගීය එක භාෂාවකින් ගැයීම වෙනුවට ජාතීන්ටඑකතු වී කතාකල හැකි බුද්ධි මණ්ඩලයක් වශයෙන් සෙනෙට් සභාව හ`දුන්වා දී පලාත් සභා ක‍්‍රමය අහෝසි කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතුය. පලාත් වශයෙන් බෙදීම ජාතිය, ආගම හෝ සංස්කෘතික වශයෙන් බෙදීමට වඩා බලවත් වන අතර එක රටක් එක පැවැත්මක් යන පණිවුඩය ආත්මය කරගත යුතුව තිබේ. නව වසරේ අධිෂ්ඨානය එය විය යුතුය.