යෝධ ඇමැති මණ්ඩලයක් රටට අවශ්‍යද?

ප්‍රතිචාරයක් ලබාදෙන්න

m prash

2020/07/29 – ලංකාදීප

‍තව සතියකින් 2020 පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැත්වීමට නියමිතය. අපේක්ෂකයන් අතර තියුණු තරගයක් තිබේ. පක්ෂ අතර පමණක් නොව එකම පක්ෂයයේ අපේක්ෂකයන් අතර ද මනාප තරගය බලවත්ය. වැඩිම මනාපයක් ගෙන ජය ලබන අතර ආණ්ඩුවක් පිහිටුවීමෙන් පසු බලවත් ඇමැතිවරයෙකු වශයෙන් පත්වීම එකම අරමුණ බව පෙනේ.

සාමාන්‍යයෙන් ලෝකයේ බොහෝ රටවල ඇමැති මණ්ඩලය

සීමිත පිරිසකි. ධුරයකට පත් කරන්නේ රටට වැඩ කරන්නට විනා මැතිවරණ කොට්ඨාශයකට නොවේ. ශ‍්‍රී ලංකාවේ පිලිවෙල අනුව විශාල ඇමැති මණ්ඩලයකි. ඇමැති ධුරයක් ඉල්ලන්නේ පාක්ෂිකයන් සහ අනුගාමිකයන් බලාගැනීමටය. පුළුල් වගකීමක් ඉතා පටු පරමාර්ථයක පැවැතීම සුදුසු නැත.

බි‍්‍රතාන්‍යයේ ඇමැති මණ්ඩලය විසි දෙදෙනෙකි. ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමය පවතින ලොව විශාලතම රට ඉන්දියාවයි. එහි කැබ්නට් මණ්ඩලය ලොක් සභාවෙන් සියයට පහලොවකට සීමා කර තිබේ. ලොක් සභාවට පත්වන මන්ත‍්‍රීවරු ප‍්‍රමාණය 550 කි. ඇමැති, රාජ්‍ය ඇමැති හා නියෝජ්‍ය ඇමැති යන සියළුම දෙනාය. ශ‍්‍රී ලංකාවේ දැනට පවතින ව්‍යවස්ථාව අනුව බලයට පත්වන ආණ්ඩුවට පත් කළ හැකි කැබිනට් ඇමැති ගණන තිහකි. එතැනින් නතර නොවේ. රාජ්‍ය ඇමැතිවරු, ව්‍යාපෘති ඇමැතිවරු සහ නියෝජ්‍ය ඇමැතිවරු පත් කළ හැකිය. සියළු දෙනාට කාර්යාල, නිලධාරීන්, යාන වාහන ඇතුළු පහසුකම් සැපයේ. විශාල වියදමකි. පාර්ලිමේන්තුවට අමතරව පලාත් සභා මට්ටමින් ද ඇ

scan0306

මැතිවරු සිටින බැවින් මෙම පත් කිරීම් අති විශාල නාස්තියකි. දියුණුවෙන කුඩා රටකට නොගැලපේ.

ඇමැති තනතුරු සීමා කළ හැකිය. නොලැබුණහොත් කලකිරීමට පත්වෙති. අපේක්ෂා කරන තනතුර හා අදාල ආයතන ලැයිස්තුව නොතිබුණොත් කේවල් කරති. අඩු ආසන සංඛ්‍යාවක් සහිතව ආණ්ඩු පිහිටුවුවහොත් ඇමැතිකමක් ඉල්ලා පක්ෂ නායකයන් අපහසුතාවයට පත්කරන අතර විපක්ෂයට එකතුවන බවට තර්ජනය කිරීම පවා  සිදුවෙයි. ඉතිහාසය පුරා එවැනි අවස්ථා ගණනාවකි. ඇමැති ප‍්‍රශ්න නිසා ආණ්ඩු පෙරළුන අවස්ථා තිබේ. ප‍්‍රතිපත්තියක් නැති ආත්මාර්ථකාමීන්ගේ සිද්ධි බරපතල ගැටළු ඇති කර ඇත.

ඇමැති ධුරයකට පත් කරන්නේ පාක්ෂිකයන් බලා ගන්නට නොවේ. වෙනත් රටවල මහජන නියෝජිතයෝ ජනතාවට සේවය කළ යුතු බැවින් ඇමැති ධුර ප‍්‍රතික්ෂේප කරති. ඇමැති ධුරයේ වගකීම භාරගත් පසු අමාත්‍යංශයේ රාජකාරි ඉටු කළ යුතුය. ප‍්‍රතිපත්ති සකස් කර රට ඉදිරියට ගෙන යන වැඩ පිලිවෙල සකස් කරයි. ඒවාට පත් කරන්නේ විෂය අවබෝධයක් ඇති පළපුරුදු පුද්ගලයන්ය. යුරෝපා රටවල පමණක් නොව ඉන්දියාවේ පවා මහජන ඡුන්දයෙන් පත්වන ඇතැම් මන්තී‍්‍රවරු අමාත්‍යංශයකට වී සිටිම වෙනුවට ආසනයට ගොස් ජනතාව සමග කටයුතු කිරීමට කැමැතිය. මෙරට ඇත්තේ අනෙක් න්‍යායයකි. නිලධාරීන් ට අනුව සමහර ඇමැතිවරයෙකුට අමාත්‍යංශය ගැන දැක්මක් හෝ කැක්කුමක් නැත. ඡන්ද දායකයන්ට කියන්නේ අමාත්‍යංශයේ රාජකාරි අධික බැවින් ආසනයේ ප‍්‍රශ්න ගැන සොයන්නටවත් වෙලාවක් නැති බවය. වරප‍්‍රසාද හා වරදාන ලබන ඇමැතිවරු මහජන මුදලින් යැපෙන අතර තම පාක්ෂිකයන් හා පවුලේ ඥාතීන් ට පමණක් වැඩ කරන තැනට පත්ව තිබේ.

මෑත දශක තුන හතර තුළ ඇමැති ප‍්‍රතිරූපය පිරිහී ඇත. ජනතාව කතා කරන්නේ උපහාසයෙන්ය. ආණ්ඩුව හා ඇමැති මණ්ඩලය සම්බන්ධ බැදීම් විකෘති වී තිබේ. රටට ප‍්‍රතිපත්ති හදන, රට සංවර්ධනය කරන තනතුරක් වෙනුවට පුද්ගලික අභිමතාර්ථ සාක්ෂාත් කරගන්නා තැනට පත්ව තිබේ. එය ඉතාම කණගාටුදායකය. අතීතයේ සිටි ඇමැතිවරුන්ගේ දැනුම, ක‍්‍රියාකාරීත්වය හා රටට කළ සේවය ගැන ගැන මතක ඇති මෙරට ජ්‍යෙශ්ඨ පුරවැසියෝ වත්මන් භාවිතාව ගැන කිසිම ප‍්‍රසාදයක් නොදක්වති. අලූතින් පත්වන ආණ්ඩුවට වගකීමක් තිබේ. මහජන නියෝජිතයන්ට බලවත් යුතුකමක් ඇත. කැබිනට් ඇමැති ධුරයේ ප‍්‍රතිරූපය නැවත ඔසවා තැබිය යුතුය. කුඩා ඇමැති මණ්ඩලයකින් රටට වැඩ කරන තැනට පත් කරගත යුතු අතර පාක්ෂිකයන් හෝ මැතිවරණ කොට්ඨාශයට සේවය කළ යුතු නම් ඇමැති ධුරයක් භාර නොගැනීම සුදුසුය.

 

 

වගා වැඩ පිළිවෙළක් නැතිව ආනයන තහනම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

m prash

2020/07/22 – ලංකාදීප

කහ කුඩු නැතිව ආහාර පිලියෙල කරන්නට ගෘහණියෝ සමත්ව සිටිති. පරිප්පු ව්‍යංජනයක් සකස් කරන විට කහ ස්වල්පයක් එක් කරති. කහටක් ඇති එලවලූවක් සකස් කරන අවස්ථාවක කහ කුඩු ටිකක් මිශ‍්‍ර කර හොදින් අත ගා ගැනීම ගැන නොදන්නෝ නොවෙති. මාස කිහිපයක සිට වෙළද සැල්වල කහ කුඩු නැත. රට පුරා කහ හිගයක් පවතින අතර මෙරට වගා කරන සීමිත අස්වැන්න ඉතා අධික මිලකට අලෙවි වෙමින් තිබේ. කහ ආනයනය හා ප‍්‍රති අපනයනය රජය තහනම් කර ඇති අතර කහ කුඩු කිලෝවක් අළෙවි කළ හැකි උපරිම සිල්ලර මිල රුපියල්  හත් සිය පනහක් වශයෙන් නියම කර ඇත.

කහ මෙරට ජනතාවට අත්‍යවශ්‍යම කුළු බඩු විශේෂයක් නොවෙන බව නිලධාරීහු කල්පනා කරන බව පෙනේ. කහ අවශ්‍යකරන්නේ ආහාර සකස් කිරීම වෙනුවෙන් පමණක් නොවේ. ආයුර්වේදය අනුව එය වටිනා ඖෂධයකි. හින්දු භක්තිකයන්ට කහ දියර ඉසීම සංස්කෘතික වතාවතකි. විෂබීජ නාශකයක් වශයෙන් භාවිතා කෙරේ. උස් පහත් බේධයක්, ජාතිය හෝ ආගම පසුබිමක් රහිතව කහ ප‍්‍රයෝජනයට ගැනෙන අතර මාස ගණනක් තිස්සේ පවතින හිගය ගැන නොසලකා හැරීම එපමණ සුදුසු තත්ත්වයක් නොවේ.

රටට ආනයන වියදම ගැන ප‍්‍රශ්නයක් තිබේ. අත්‍යවශ්‍ය නොවන ද්‍රව්‍ය ආනයනය පාලනය කරන තීරණය එහි එක පියවරකි. මෙරටට ආනයනය කරන කහ, කුරුදු හා ගම්මිරිස් වැනි කුළු බඩු ඇතුළු ඇතැම් වෙළද ද්‍රව්‍ය ප‍්‍රති අපනයනයක් සිදුවූ අතර එය ව්‍යාපාරයකි. ප‍්‍රති අපනයනය අතර තුර සිදුවන වංචා සහ රට තුළට එන තොග ප‍්‍රමාණය හෙයින් මෙරට ගොවි ජනතාවට ප‍්‍රශ්නයක් වූ අතර ගොවියන් ගේ විරෝධය ද ආනයනය පාලනයට බලපා තිබේ. විනිමය හිගය හා ආනයනය ගැන ගොවියන්ගේ විරෝධය මෙරට සමස්ථ පාරිභෝගික ජනතාවටම ප‍්‍රශ්නයක් වී තිබේ. මිල පාලනය කළ නොහැකිවීම මත වෙළද පොළ විකෘතියක් ද සිදුවී ඇති අතlllllllpppර අයුතු ලාභ උපයන අතරමැදි පිරිස පාලනය කිරීමට හැකිවී නැත.

රජයේ ප‍්‍රතිපත්ති තීරණ අනුව ආනයන හා අපනයන සම්බන්ධ තීරණ වෙනස් කිරීම ගැටළුවක් නොවේ. එයින් ඇතිවන ප‍්‍රතිවිපාක ගැන ද සැලකිලිමත් විය යුතුය. වසරකට මෙරටට අවශ්‍ය කහ ප‍්‍රමාණය මෙටි‍්‍රක් ටොන් හත් දහසකට ආසන්නය. රට තුළ නිපදවන්නේ මෙටි‍්‍රක් ටොන් දෙදහසකි. කහ වගා කරන කන්නය අනුව අස්වැන්න ලැබෙන්නට මාස නමයක් ගත වෙයි. අස්වැන්න ලබා ගත් පසු වියලි කහ බවට පත් කිරීමට ද කාලයක් අවශ්‍යය. ඉන්දියාව ලෝකයේ කහ වගා කරන රටවල් අතර ඉදිරියෙන්ම සිටී.  ලෝක අවශ්‍යතාවයෙන් සියයට අසූවක් පමණ එරටින් සැපයෙයි. වාර්තා දක්වන පරිදි 2014-2018 කාලය තුළ ඇමරිකාව කහ ආනයනය තුන් ගුණයකින් ඉහළ නංවා තිබේ. එයට හේතුව කහ එකතු කරගත් තේ පානය ප‍්‍රචලිතවීම බව පැවසේ. විශ්ව විද්‍යාල ඇතුළු ජාත්‍යන්තර ආයතන විශාල ප‍්‍රමාණයක් කහ ගැන පර්යේෂණ පවත්වා ඇති අතර ඒවායේ වාර්තා දක්වන පරිදි කහ නිෂ්පාදනවලට නොනවතින වෙළද පොලක් ඇත. ආහාර, පාන පමණක් නොව රූප ලාවන්‍ය කටයුතු සදහා ද අලූතින් අවස්ථා ඇති වෙමින් තිබේ. කහ හිගය ගැන පමණක් නොව අනාගතයේ ඇති විය හැකි ඉල්ලූම ගැන ද අවධානය යොමු කිරීම වැදගත්ය.

කහ ආනයනය තාවකාලිකව තහනම් කරන අතරතුර මෙරට අවශ්‍යතා සහ අපනයනය ඉලක්ක කරගෙන කහ වගා කළ හැකිය. උසස් ප‍්‍රමිතියකින් යුතු බීජ ආකන්ද සැපයිය යුතුය. ගොවියන් සංවිධාන ගත කර මහා පරිමානයෙන් වගා කරන්නට පෙළඹවීම සුදුසුය. එය වෙනම ව්‍යාපාරයක් වශයෙන් දියුණු කළ හැකිය. සම්ප‍්‍රදායික වගාවට වඩා වෙනස් පැති සදහා ගොවි ජනතාව යොමු කරන අතර භාවිතා නොකරන රජයේ ඉඩම් ගොවියන්ට හෝ ගොවි සංවිධාන වලට බෙදා දිය හැකිය. එය දිරිගැන්වීමකි. එවැනි කිසිම ඉදිරි දැක්මක් රහිතව කහ ආනයනය තහනම් කිරීම ප‍්‍රශ්න ගණනාවක් ඇති කර තිබේ. අතුරු ප‍්‍රතිඵල නොතකා, සැලසුමක් රහිතව තීරණ ගැනීම නුසුදුසු බව පෙන්වා දිය යුතුය.

 

 

 

 

 

කාර්ය මණ්ඩලවලට බිරිය දූලා පුතාලා දාගන්න අපේ මැති ඇමතින්ට ප්‍රංශ පාඩමක්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

m prash

 

2020/07/15 -ලංකාදීප

ජනතා වරමෙන් බලයට පත් වන නියෝජිතයන් මහජන මුදල් අවභාවිතාව ගැන පරෙස්සම් විය යුතුය. ප‍්‍රංශයේ හිටපු අගමැතිවරයාට එරෙහිව ලැබුණ අධිකරණ තීන්දුව හොද උදාහරණයකි. ප‍්‍රංශ ජනාධිපතිධුරය දක්වා ගමන් කළ හැකි හොද අනාගතයක් තිබුණ දක්ෂ පාලකයෙකු වූ ෆැන්කෝසි ෆිලන් ගේ දේශපාලන කටයුතු වසර දහයකට තහනම් කර ඇති අතර එය ඉතා කණගාටුදායක අවසානයක් සනිටුහන් කර තිබේ.

ප‍්‍රංශ අධිකරණයේ විභාග වූ නඩු වාර්තාව අනුව අගමැති පදවියට පත් ෆැන්කෝසි සිය කාර්ය මණ්ඩලයට ඔහුගේ බිරිද බදවා ගෙන තිබේ. එහෙත් අගමැති ආර්යාව විශේෂ රාජකාරියක නිරත වී නැත. එක්තරා අවස්ථාවක අගමැති බිරිද පෙනිලෝප් තමන් අගමැති කාර්ය මණ්ඩලයේ සාමාජිකාවක වශයෙන් වැටුප් හා වරප‍්‍රසාද ලබා ගන්නා නමුත් විශේෂ සහායක් නොදක්වන බව ප‍්‍රකාශ කර තිබුණ අතර එය පදනම් කරගෙන හිටපු අගමැතිවරයාට විරුද්ධව නඩු පවරා තිබේ. අධිකරණය මෙම යුවල වරදකරුවන් බව තීරණය කර ඇත. හිටපු අගමැතිවරයාට වසර පහක් හා ආර්යාවට වසර තුනක් සිර දඩුවම් නියම කරන ලදද අතර දඩුවම වසර තුනකට අත්හිටුවා තිබේ. යුරෝ මිලියනයක දඩයක් නියම කර ඇති අතර රජයෙන් ගත් වැටුප් ආපසු ගෙවන සේ නියම කර තිබේ. එයට අමතර වශයෙන් හිටපු අගමැතිවරයාට වසර දහයකට දේශපාලනය කිරීම තහනම් කර ඇත.

ප‍්‍රංශ ක‍්‍රමය අනුව පුද්ගලික කාර්ය මණ්ඩලයට පවුලේ සාමාජිකයන් බදවා ගැනීම වරදක් නොවේ. එහෙත් ජනතාව ගෙවන බදු වලින් නඩත්තු වන බව අමතක කළ pplයුතු නැත. රටට සේවයක් කළ යුතුය.

මහජන මුදල් අවභාවිතා කරන ලද පළමු වැනි මහජන නියෝජිතයා ප‍්‍රංශයේ හිටපු අගමැතිවරයා නොවේ. අවසාන සිද්ධිය නොවෙන බව සහතිකය. මහජන මුදල් අනිසි ලෙස පරිහරණය කරන ලද අනෙක් මහජන නියෝජිතයන් සෑහෙන ප‍්‍රමාණයක් අධිකරණයකින් මෙවැනි පාඩමක් ඉගෙනගෙන නැති බව අවිවාදිතය.

මහ මැතිවරණයක උණුසුම රට තුළ තිබේ. බලයට පත්වන ආණ්ඩුවකින් ජනතාව අපේක්ෂා කරන පළමු වගකීම අමතක කළ යුතු නැත. මහජන මුදල් උපරිම වශයෙන් ප‍්‍රයෝජනයට ගත යුතු අතර නැති නාස්ති කිරීම වරදකි. ජනතාව උපයන්නේ පහසුවෙන් නොවේ. නොයෙක් දුක් ගැහැට මැද හරි හම්බකරන දෙයින් කොටසක් රජය අය කර ගනී. බදු වශයෙන්ය. බදු ගෙවන ධනවත් පිරිසක් රට තුළ සිටින අතර දුප්පත් ජනී ජනයා එදිනෙදා කන බොන, අදින පළදින හා පරිහරණය කරන සියළුම දෙය මිල දී ගැනීමේ දී වක‍්‍ර බද්දක් ගෙවයි. මෙම බදු රජයේ වියදමට වැය කරන අතර බලට පත්වන මහජන නියෝජිතයන් මහජනතාවගෙන් අය කරන බදු සම්බන්ධයෙන් පරෙස්සම් විය යුතුය.

මෙරට ඉතිහාසය දෙස ආපසු හැරී බලන විට සාමාන්‍ය පුද්ගලයන් වශයෙන් දේශපාලනයට ඇතුළු වන ඇතැමුන් පසුව එයින් වැජඹෙන්නේ මහ ඉහළින්ය. මහජන මුදල් පරිහරණය ඉදිරියේ කිසිම විලි ලැජ්ජාවක් නැත. අමාත්‍යංශ වල සුඛවිහරණය ඇමැතිවරුන්ට පමණක් සීමා වී නැත. නිලධාරීහු පවා අසීමිත වරප‍්‍රසාද භුක්ති විදිති. මැති ඇමැතිවරුන්ට ලැබෙන නිල වාහන, කාර්ය මණ්ඩලය, කාර්යාල පහසුකම් සහ අවසානයේ දී විශ‍්‍රාම ජීවිතයේ දී ලැබෙන වරප‍්‍රසාද මෙරට දහඩිය හෙලන ජනතාවගේ දුක හා කදුළු බවව පෙන්වා දිය යුතුය.

මහ මැතිවරණ වේදිකාවේ දී දූෂණය හා වංචාව ගැන ආන්දෝලනාත්මක ප‍්‍රකාශ කරන සියළු අපේක්ෂකයන් තමන් බලයට පත්වුවහොත් මහජන මුදල් සම්බන්ධයෙන් ක‍්‍රියා කරන අන්දම ගැන ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශයක් කළ යුතුය. මහජන නියෝජිතයන්ට ජීවත්වන්නට තරම් පමණක් නොව තත්ත්වය ආරක්ෂා කරගැනීමට හොද වැටුප් හා වරප‍්‍රසාද ලැබිය යුතු අතර එය අභිබවා පොදු දේපොල පරිහරණය කරන විට ප‍්‍රංශයේ පාඩම ඉගැන්වීමට වගබලා ගැනීම මහජනතාව සතුය.

 

 

 

 

 

ඉලක්කම් තුනක අභියෝගයක් ‍

ප්‍රතිචාරයක් ලබාදෙන්න

m prash

2020/07/01 – ලංකාදීප

සියුම් අභියෝගාත්මක අවධියක පසුවන ශ‍්‍රී ලංකාව අවධානය යොමුකළ යුතු ඉලක්කම් තුනක් තිබේ. කෘෂිකාර්මික අංශයෙන් යැපෙන මෙරට ශ‍්‍රම බලකාය සියයට විසි පහකි. සමස්ථයෙන් හතරෙන් එකක් මෙරට දළ දේශීය නිෂ්පාදිතයට දක්වන දායකත්වය සියයට හතකි. රජයේ සේවයෙහි නිරත පිරිස සම්පූර්ණ ශ‍්‍රම බලකායෙන් සියයට පහලොවක් බව දැක්වෙයි. එම පිරිස ඉටුකරන මෙහෙවර සහ රටට ඇති කරන උත්පාදනය ගැන අප සියළු දෙනාටම ගැටළු තිබේ. තුන්වැනි ඉලක්කම තොරතුරු තාක්ෂණ යුගයේ අප පසුවෙන ස්ථානය පිලිබදව සනිටුහන් කරයි. ශ‍්‍රී  ලංකාව සාක්ෂරතාවයෙන් ඉහළ රටක් නමුත් තොරතුරු තාක්ෂ1jul20 - ooණ සාක්ෂරතාව සියයට විසි හතකට මදක් වැඩි බව දැක්වෙයි.

කොවිඞ් -19 වසංගතයෙන් ගැලවී මහත් උද්දාමක සිටින අප සියළු දෙනා අප කරා හඹා එමින් සිටින අනතුර දකින්නේ නැත. මහ මැතිවරණ වේදිකාවේ දී දේශපාලනඥයන් වාග් සංග‍්‍රාමයෙන් බලවත් බලයක් දක්වන නමුත්  ශ‍්‍රී ලංකාව මුහුණ දී සිටින ස්වභාවය සාකච්ඡා කරන්නේ නැත. නිෂ්පාදන අංශ දුර්වල වී ඇති අතර ඉදිරියෙන් තිබුණ සේවා අංශය අර්බුදයකය. ජන සමාජය නගා සිටුවනු සදහා බලවත් ප‍්‍රයත්නයක නිරත විය යුතුව තිබේ. ශ‍්‍රී ලංකාව දියුණු ආර්ථිකයක් ඇති රටක් බවට පත් කර ජන සමාජය සැනසිලිදායක තැනක් බවට හරවන්නට නම් මුලින් දක්වන ලද ඉලක්කම් තුන කෙරෙහි සැලකිලිමත් විය යුතුව තිබේ.

ගොවිතැන ඉතා වැදගත්ය. විශේෂයෙන් වී වගාව මෙරට සංස්කෘතියෙහි එක කොටසකි. ජනතාවගේ ආහාර අවශ්‍යතාව සපුරයි. රට සහල් වලින් ස්වයංපෝෂිත තත්ත්වයට ගෙන එන්නට වී ගොවිතැන සමත්ව තිබේ. තේ, රබර්, පොල් සහ අනෙක් වැවිලි බෝගවලින් ද ආර්ථික දායකත්වයක් ඇත. කෘෂි අංශය කාර්යක්ෂම කිරීමෙන් සහ නවීකරණයෙන් මෙම දායකත්වය තවත් වැඩි කරගත හැකිය. ශ‍්‍රමයෙන් සියයට විසි පහක් නිරත වී සමස්ථ දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට හතකට සීමා වීම වහා අවධානයට ගත යුතුය. කෘෂිකර්මයට රජය දෙන සහාය මෙහි දී කල්පනා කළ යුතු පැත්තකි. වී ගොවියන්ට පොහාර නොමිලේ සැපයෙයි. එය නතර කරන සේ යෝජනා කරන්නේ නැත. එහෙත් කෘෂිකර්මයට කරන යෙදවුම් වෙනුවෙන් ලැබෙන ප‍්‍රතිලාභය ඉහළ මට්මකට ගෙන ආ යුතුය. රජයේ සේවය ගැන ද සදහන් කළයුතු එකම කාරණය එයයි. ජනතාවට සේවය කරන්නට අවශ්‍ය ප‍්‍රමාණයට වඩා රජයේ සේවකයන් සිටින අතර මහජනතාවට අවශ්‍ය සේවා නිසි සේ ඉටු නොවීම ගැන තිබෙන කනස්සල්ල ද සැලකිය යුතු මට්ටමකය.

ශ‍්‍රී ලංකාවේ මානව සම්පත ඉතාම දක්ෂ පිරිසකි. ලෝකයේ  ඕනෑම තැනක සේවය කරන හැකියාව තිබේ. තාක්ෂණය භාවිතා කිරීම ගැන පවතින නැඹුරුව ප‍්‍රමාණවත් නැත. අප‍්‍රිකානු කලාපයේ සමහර රටවල් පවා ස්මාට් දුරකතනය හා එහි ඇප් වලින් සෑහෙන ප‍්‍රයෝජන ගන්නා බව අනාවරණය වෙයි. නොයෙක් රටවල මුදල් භාවිතය සීමා වී ඇති අතර ජංගම දුරකතනයෙන් භාණ්ඩ මිල දී ගන්නා සහ මිල ගෙවන බව වාර්තාවන වැදගත් කරුණකි. තාක්ෂණය භාවිතාවට පහසුවෙන් යොමු විය හැකිය. අවස්ථාව ලබා ගැනීමට පෙළඹවීමක් කළ යුතුය.

කෘෂි කර්මය, රාජ්‍ය සේවය හා තොරතුරු තාක්ෂණ සංක්ෂරතාවය යන කරුණු තුන අලලා රට තුළ පවතින තත්ත්වය ගැන පුලූල් අධ්‍යයනයක් කරන්නට අවශ්‍යය. අද පවතින සම්ප‍්‍රදායික රාමුවෙන් ශබ්බට අලූත් යුගයක් ඇතිකරනු සදහා මෙම පැති වලින් අත්පත් කරගත හැකි නවතම අවකාශය ගැන අධ්‍යයනය කළ යුතුය. තීරණගැනීම අවශ්‍යය. නවතම යෝජනා ඉදිරියට පැමිණිය යුතු අතර ඒවා සලකා බලා වහා කි‍්‍රයාවට නංවන්නට ආණ්ඩුව තීරණය කිරීම ඉතාම වැඩදායකය.

ශ‍්‍රී ලංකාව ලෝකයේ අනෙක් රටවල තර`ගකාරී ස්වභාවය ගැන අවබෝධයක සිටිය යුතු අතර ඉදිරියට පැමිණීමෙන් හැර පැවැත්මක් නැත. කොවිඞ් -19 වසංගතයෙන් පසු අලූතින් හිතන, එළැඹෙන මහ මැතිවරණයෙන් පසු බලයට පත්වන අලූත් පාර්ලිමේන්තුව මෙවැනි පැති ගැන අවධානය යොමු කළහොත් රට තුළ පිබිදීමක් ඇති වනු නිසැකය.