දොස්තර අන්තර්ජාලයෙන් නිවෙසට එන දිනය ළඟයි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

25/11/2020- ලංකාදීප

පාවහන් නැති වෛද්‍යවරයා එනම් “ඛෙයා ෆුට් ඩොක්ටර්” සංකල්පය අතීතයේ චීනයේ භාවිතා වූ සංකල්පයකි. පහසුකම් හිග එකල වෛද්‍යවරු චීනයේ දුෂ්කර ගම්මාන වල කදූ නගිමින්, බසිමින් සහ පාගමනින් ගොස් ජනී ජනයාට සේවා සපයා ඇත. චීනයේ පමණක් නොව ලෝකයේ කොතැනත් අද වනවිට වෛද්‍ය පහසුකම් දියුණුය. ජපානය තවත් පියවරක් ඉදිරියට තබා තිබේ. විශේෂඥ වෛද්‍ය සේවා අන්තර් ජාලයෙන් සැපයීමේ ව්‍යාපෘතියක් අරඹයි. එකී සංකල්පය අලූත් දෙයක් නොවේ.

 කොවිඩ් වසංගතයෙන් හුදෙකලා වූ ජනතාවට සත්කාරක සේවා සඳහා අන්තර් ජාල ප්‍රතිකාර අංශය පුලූල් කිරීමට ජපාන රජය තීරණය කර ඇත.
ලෝකයේ හොොඳ සෞඛ්‍ය පහසුකම් සහිත රටවල් අතර පළමු තැන අයිතිකරගෙන ඇත්තේ ජපානයයි. වැසියන්ගේ සාමාන්‍ය ආයුකාලය වසර අසූ පහකි. මෑත කාලය තුළ එහි වෙනස්කම් සිදුවිය හැකි බව සලකා බලා තිබේ. එයට හේතුව තුන් ලක්ෂ විසි හත් දහසකට වැඩි වෛද්‍ය විශේෂඥයන් අතුරින් සියයට පනහකට වඩා වයස්ගත පිරිසක් වීමය.

2015 වසරේ දී ජපාන රජය ටෙලි මෙඩිසින් සේවාව ප්‍රතිපත්තියක් වශයෙන් පිලිගෙන තිබේ. අලූත් අගමැති සුගා යොෂිහිදෙයි මහතා ප්‍රතිසංස්කරණ පියවරක් වශයෙන් සෑම ක්ෂේත්‍රයකම තාක්ෂණ භාවිතාව දියුණු තියුණු කරන සේ උපදෙස් නිකුත් කර ඇත. කෙසේ නමුත් එරට වෛද්‍ය පාලක මණ්ඩලය අන්තර් ජාලයෙන් ප්‍රතිකාර වෙනුවෙන් වැඩි කැමැත්තක් නැත. එයට හේතුව ජපානය පුරා සෑම වෛද්‍ය මධ්‍යස්ථානයකටම එක හා සමානව අන්තර් ජාල පහසුකම් නොතිබීම ව පැවසේ. අනෙක අන්තර් ජාල ප්‍රතිකාර කරන අවස්ථාවල දී ලියැකියැවිලි ගණනාවක් සම්පූර්ණ කිරීමට සිදුවීමයි.

රෝගියා මුහුණට මුහුණ හමුවී හඳුනාගැනීමට වඩා තමන්ම සටහන් තබන ක්‍රමයට අනුගතවීමට ජපාන වෛද්‍යවරු පවා එතරම් හුරු නැත. සියයට එකක පමණ සුළු අනුගතවීමක් දක්නට ලැබුණි. දැන් එය අනෙක් පැත්තට හැරී තිබේ. වෛද්‍ය ප්‍රතිකාර සඳහා පිරිවැය අවම කරන සහ අන්තර් ජාලයෙන් වෛද්‍යවරයා හමුවීම කොවිඩ් ආරක්ෂිත පියවරක් වශයෙන් සලකයි. අන්තර් ජාල ප්‍රතිකාර ක්‍රම සියයට පහලොවක් දක්වා වර්ධනය වී ඇත. ප්‍රතිකර මධ්‍යස්ථාන අතුරින් සියයට හතලිස් දෙකක සම්පූර්ණ නවීකරණයක් සිදුවි තිබේ. රෝගීන්ගේ දත්ත සියයට අසූපහක් පමණ ජාලගතවීම වැදගත්ම කාරණයක් බව දැක්වෙයි.


සිංගප්පූරුව අන්තර් ජාලයෙන් ප්‍රතිකාර ස`දහා ඇති දියුණුම තැනක් බව ද මෙහි දී ස`දහන් කිරීම අවශ්‍යය. නගරයේ තැනින් තැන ඇති මධ්‍යස්ථාන වලට එන වැසියන්ට රුධිර පීඩනය, රුධිරයේ සීනි මට්ටම යනා දී සමහර පරික්ෂා වහාම තමන්ටම කරගත හැකිය. ඒවා ස්වයංක්‍රීයව කලින් දත්ත සමග සස`දා වෛද්‍යවරයෙකු වෙත යොමු කර උපදෙස් ලබා ගැනීමේ පහසුව සම්පාදනය කර ඇත.
ජපානයේ හා සිංගප්පූරුවේ ස්වභාවය සමග සසඳන විට ශ්‍රී ලංකාව තවමත් ප්‍රාථමික මට්ටමකය. පැවැත්ම ඩිජිටල් කරන්නට ආණ්ඩුවට උවමනා කර තිබේ. සෑම අංශයකම වෙනස්කම් සඳහා බලවත් උත්සාහයක් පවතින බවට වාර්තා ලැබේ. හැඳුනුම්පත, රියැදුරු බලපත්‍රය, ගමන් බලපත්‍රය හා උප්පැන්න සහතිකය වැනි දේ වඩා ඉක්මනින් නිකුත් කරන්නට ගන්නා වෑයම සම්පූර්ණයෙන් සාර්ථක කරගන්නට හැකියාව ලැබී නැත. නිලධාරීන්ගේ දුර්වලකම් හා පවතින නීති වල හරස්කැපීම් විශාල අවහිරයකි. තාක්ෂණික අමාත්‍යංශයක් පිහිටුවා ජනාධිපතිවරයා අතට ගෙන තිබේ. යම් පරිවර්තනයක් අපේක්ෂා කළ හැකිය.

එවැනි පසුබිමක් මත අන්තර් ජාල වෛද්‍ය ප්‍රතිකාර ආරම්භ කිරීමට තීරණය කළහොත් විශාල විරෝධයක් පැන නැගෙනු නිසැකය. ජීවිත සමග සෙල්ලම් එපා යැයි ඇතැම් විපක්ෂ දේශපාලනඥයන් ඝෝෂාවක් නගන්නට බැරි නැත. ප්‍රතිකාර ක්‍රමයේ පරිවර්තනයක් යෝජනා වුවහොත් පළමුවෙන් විරුද්ධ වෙන්නේ සමහර වෛද්‍යවරු බව ද සඳහන්කළ යුතු කරුණකි.
පවතින රාමුව තුළ ස්වකීය යැපෙන ව්‍යුහය හදා ගෙන ඇති වෘත්තීයවේදීහු කිසිම ක්ෂේත්‍රයක් පවතින ස්වභාවයෙන් වෙනස් කර ජනතාවට කෙලින්ම සේවා සම්පාදනය කරන්නට ඉඩ දෙන්නේ නැත. නීතිය, වෛද්‍ය, අධ්‍යාපනය, රාජ්‍ය සේවය යනාදී වශයෙන් ලැයිස්තුවක් දක්වන්නට හැකිය. ආණ්ඩුව කියන තරමට නොකෙරෙන්නට ක්‍රමය සකස්වීමටට ද, එය එක හේතුවක් බව පෙනේ

ගොවියා ශක්තිමත් කිරීමට පැරණි ග්‍රහණ වලින් මුදාගනීමූ

ප්‍රතිචාරයක් ලබාදෙන්න

18/11/2020- ලංකාදීප

ඉන්දියානු රජය පසුගිය දා ගොවි ජනතාවට බලපාන අලූත් පණත් තුනක් සම්මත කළේය. කෘෂි නිෂ්පාදන මිල දී ගැනීමට රජයට පමණක් තිබුණ බැඳීම එමගින් ඉවත් කෙරේ. නව නීති අනුව ගොවියන්ට කෙලින්ම පුද්ගලික වෙළෙඳුන්ස මග ගනුදෙනු කළ හැකිය. අවශ්‍යනම් සමාගම් සමග ඉදිරි ගිවිසුම් වලට අත්සන් කිරීමට අවකාශය සැපයේ. මෙතෙක් ඉන්දියාවේ අනුගමනය කළ නීති අනුව  පුද්ගලික අංශය අත්‍යවශ්‍ය ආහාර ද්ව්‍ද්‍රව්‍ය වලතොග රැස් කිරීම නීති විරෝධීය. අනිසි ලාභ ලැබීම දඬුවම්ලැ බිය හැකි වරදකි. ගොවියා සිය නිෂ්පාදන ආණ්ඩුවටම අලෙවි කළ යුතු වූ අතර හැමදාම පවතින එකම මිල හෙයින් ගොවි ජනතාවගේ ආදායම නොවෙනස්ය. මෙමගින්  පාරිභෝගිකයන්ට වාසි අත්පත්වන නමුත් ගොවි ජනතාවගේ ජීවිත දුක්බරය. නරේන්ද්‍ර මෝදි අගමැතිවරයා සිය ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දී ගොවියන්ගේ ආදායම දෙගුණ කරන බවට පොරොන්දු වූ අතර මෙකී පණත් එහි එක ප්‍රතිඵලයකි.
කෙසේ වෙතත්, නිෂ්පාදන අලෙවියට විවෘත අවස්ථා ඇති කිරීම බරපතල තුරුම්පුවක් සේ ඉන්දීය දේශපාලන විරැද්ධවාදීහු හුවා දක්වති. කලූ කඩ වලට ඉඩදීමක් සහ ධනේෂ්වර ක්‍රමයේ වහලූන් බවට පත් කිරීමක් සේ ප්‍රධාන විපක්ෂය චෝදනා කර තිබේ.

ඉන්දියාවේ ධාන්‍යාගාරය සේ සලකන හර්යානා සහ පන්ජාබ් ප්‍රාන්තවල ගොවියෝ විශාල වශයෙන් විරෝධතා වලට එකතුවූහ. කෙසේ වෙතත් නරේන්ද්‍ර මෝදි අගමැතිවරයාට අනුව අලූත් නීති අනුව කෘෂි අංශයේ ආයෝජන වර්ධනය කෙරේ. මෙතෙක් නොයෙක් බැඳීම්ව ලින් කොටු කර සිටි පිරිසට විවෘත අවස්ථාවක් හිමිවෙයි. වාර්තා පෙන්වන පරිදි ඉන්දියාවේ ජනගහනයෙන්න හරි අඩක් කෘෂිකර්මයෙහි නිරත නමුත් එරට ජාතික ආර්ථීකයට දක්වන දායකත්වය සියයට 15 කට සීමා වී තිබේ. මෙම ව්‍යුහය වෙනස් කරන විප්ලවීය තීරණ අවශ්‍ය බව අගමැතිවරයාගේ අදහසය.
සහන දෙන බව හුවා දක්වා ශ්‍රී ලංකාවේ ගොවියා හා ගොවිතැන පත්කර ඇති ඉරණම ද මෙයට නොදෙවෙනිය. විශාල ජන කොටසක් ගොවිතැන් කරති. ජාතික ආර්ථීකයට දෙන දායකත්වය සියයට හතකට සීමා වී තිබේ. කිසිම ගොවියෙකු තමන්ගේ දරුවා ගොවිතැනට යොමු කරන්න අදහසක නැත. එය කිසිම ලාභයක් නැති, සූරාකෑමකට ලක් වූ ක්ෂේත්‍රයක් සේ නොයෙක් පර්යේෂණ වාර්තා පෙන්වා දී තිබේ.

නමුත් ගොවිතැන තුළ අනුගත වී සිටින අකාර්යක්ෂම ලක්ෂණ වෙන්කරන ප්‍රතිපත්ති වලට රට තුළ කිසිම ඉඩක් නැත. ඉඩම, සහනාධාර, පොහොර හා කෘෂි රසායන භාවිතය, මහා පරිමාන වගාව හෝ විද්‍යාත්මක ක්‍රම භාවිතා කරන්නට යෝජනා කළහොත් එය ඊළග ඡන්දයෙන් ආණ්ඩුව ගෙදර යවන තීරණයක් වනු ඇත. ගොවියන්ට ඇති බලවත්ම හිරිහැරය ඉඩම් අයිතිය බව පෙනේ. පරම්පරා ගණනක් තුළ නොඛෙදුනු ඉඩම් හා අද ගොවිතැන ඉතාම නිරස තත්ත්වයන්ය. ගොවියන් ගෙන් බහුතරයකට ඉඩමක අයිතිය නැත. අයිතිය තහවුරු කරගැනීමට අධිකරණ තීන්දුවකට යා යුතුය. ඉඩම් නඩු පරම්පරා ගණනක් විභාග වන අතර අවසානයේ දී තීන්දුව ලැඛෙනවිට පැමිණිලි පාර්ශවයේ කොටසක් ජීවතුන් අතර නැත. නීතියෙහි ඇති දුබලතා වලින් දුප්පත් ගොවියන්ට සහනයක් නැත. නීතිඥයෝ යහමින් උපයති. ඉඩම් ප්‍රශ්න නිරාකරණයට හෝ අලූත් ඉඩම් ඛෙදා දෙන කිසිම තීරණයකට රට තුළ පහසුවක් නැත. එය මහා අපරාධයක් සේ සලකා ජනතාව පාරට තල්ලූ කරන්නට විරුද්ධ දේශපාලන පක්ෂ සූදානම්ව සිටිති. අද බලයේ සිටින පක්ෂය පවා හෙට විපක්ෂයට ගියහොත් හැසිරෙන ආකාරය එකමය. ගොවි ජනතාව දුප්පත්ව, පීඩිතයන් සේ තමන්ගේ ග්‍රහනයේ තබාගතහොත් ඡන්ද කාලයට දේශපාලනඥයන්ට වාසියකි.


කම්කරු පැලැන්තිය තුළ අද වෙනස්කම් සිදුවී තිබේ. වහලූන් සේ වැඩ කරන ශ්‍රමිකයන් නැත. ශ්‍රමයට වටිනාකමක් ලැඛෙන වෙළද පොලක් යම් පමණකට සකස් වී තිබේ. කෘෂි කර්මාන්තයට ද එම අවස්ථාව අයිති විය යුතුය. ගොවියා ශක්තිමත් කරන හා යැපෙන තත්ත්වයෙන් ගලවාගන්නා වානිජ කෘෂිකර්මයක් රටට අවශ්‍යය. ගොවි ජනතාවට ඉඩම් අයිතිය දෙන හා දැනට නීත්‍යානුකූල නොවන සියළු ඉඩකඩම් ගැන සොයා ඒවා නිරවුල් කිරීම විශාල අවශ්‍යතාවයකි. අනාගතයේ දී ඇතිවන ආහාර අවශ්‍යතා සහ කෘෂිකර්මයෙහි වෙනස්කම් තුළින් මෙරට ගොවියන්ට තැනක් ලැඛෙන්නට නම් මෙම අන්ධකාරයෙන් මුදවා ගැනීම අවශ්‍යය.

ජීවිතය සහ ජීවත්වීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

 2020/11/11- ලංකාදීප
සාමාන්‍ය ජන ජීවිතය ගැටළු සහගත තැනකය. ජීවත්වීම පමණක් නොව ජීවිතය ගැන ද අවධානය යොමු කරන්නට සිදුවී තිබේ. දෙවැනි වතාවට කොවිඩ් රැල්ලක් නැගී ඇති අවස්ථාවක ජීවිත ආරක්ෂා කරගෙන ජීවන සටනට මුහුණ දිය යුතුව ඇත. විශේෂඥ වාර්තා අනුව වසර දෙකක් පමණ ෙඉදිරියට කොවිඩ් -19 වසංගතය සමග පවතින්නට සිදුවිය හැකිය. එවැනි අනාවැකි තිබිය දී දීර්ඝ කාලයක් රට ලොක් වඩුන් කිරීම ප්‍රායෝගික නැත. 

රටවල් හා සංවිධාන ගණනාවක් කොවිඩ් වයිරසය ස`දහා එන්නතක් සොයා ගැනීමට පර්යේෂණ කරමින් සිටී. ඉන්දියාව, චීනය, සිංගප්පූරුව, රුසියාව හා කියුබාව ඇතුළු රටවල් ගණනාවක් කොවිඩ් ස`දහා එන්නත් නිපදවීම ආරම්භ කර ඇති අතර සායනික මටට්මින් භාවිතා කෙරේ. එන්නත් අලෙවිය ආරම්භ වී ඇත. මිලියන ගණනින් ඇනැවුම් කරන බව අනාවරණය වෙයි. පළමු වටයේ දී එය මිල අධික විය හැකිය. එහෙත් තම පුරවැසියන්ගේ ජීවිත ආරක්ෂා කරගැනීමේ චේතනාව ඇති රටවල් යුහුසුළු වී තිබේ. අසල්වැසි ඉන්දියාව මහා පරිමානයෙන් ඖෂධ වානිජ වශයෙන් නිපදවන රටකි. ලෝකයේ එන්නත් වලින් සියයට හැටක් පමණ එහි නිපදවෙන බව දැක්වෙයි. ජාත්‍යන්තරව පිලිගත් කොවිඩ් එන්නත නිපදවීම අරඹා ඇති ඉන්දියාව එය සමීප රටවලට නිකුත් කරන්නට තීරණය කර තිබේ. 


කොවිඩ් මර්දනයෙහි නිරත ඉදිරිපෙල කාර්ය මණ්ඩලයට සහ රෝගයෙන් අවදානමක් ඇති පිරිසට වහාම එන්නත ලබා දීමට පියවර ගැනීම රජයේ වගකීම වනු ඇත. අධිශීතරක පරිසරයක ප්‍රවාහනය කර මාත්‍රා දෙකක් අවස්ථා දෙකක දී ලබා ගැනීමෙන් ප්‍රතිශක්තිකරණයක් ලැබෙනබව තහවුරු වී තිබේ. දැනට අවම වශයෙන් මෙරට ජනගහනයෙන් සියයට විස්සකට එනම් මිලියන පහක ජන කොටසකට එන්නත් ලබා දිය යුතු යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කර ඇත. එය පහසු කාර්යයක් නොවන අතර විශාල පිරිවැයක් දැරිය යුතු හා ලෝක තරඟකාරීත්වය ඉදිරියේ ඉක්මනින් කරගත යුතු කාර්යයක් බව සඳහන්කළ යුතුය. බංගලාදේශය දැනටමත් ලෝක සෞඛ්‍ය සංවිධානයේය අනුමැතිය ලැබූ ඉන්දියාව නිපදවන එන්නත් මිලියන තිහක් ඇනවුම් කර තිබේ. 


සාමාන්‍යයෙන් සිදුවන පරිදි කොවිඩ් එන්තත් කිරීම හා ඒවා මිල දී ගැනීම ගැන ඉදිරියේ දී සෑහෙන වාද විවාද ඇති විය හැකිය. වෛද්‍ය විශේෂඥයන්, වෘත්තීය සමිති පමණක් නොව දේශපාලනඥයෝ ද එහි කොටස් කරුවෝ වෙන්නට ඉඩ තිබේ. මාධ්‍ය සහ සමාජ මාධ්‍ය අවුලවනු ඇත. මැතක සිද්ධි එයට හොද උදාහරණයකි. පටු ආකල්පයෙන් කරන අවලාද අවංක අභිලාශයන් ද අධෛර්යයට පත් කරන්නට ඉඩ තිබේ. එය භයානකය. තීරණාත්මක අවස්ථාවේ දී අනවශ්‍ය වාද අතහැර ජනතාවගේ ජීවිත ගැන තීරණ ගැනීමට දෙවතාවක් කල්පනා කළ යුතු නැත. රට වෙනුවෙන් සහ රටේ ජනතාව වෙනුවෙන් තීරණ ගැනීමේ දී ඉලක්කයකට අනුව කාර්යක්ෂමව ක්‍රියා කළ යුතුව ඇත. බලවත් රෝග වලින් ජනතාව ගලවා ගැනීමේ එන්නත් ක්‍රම සාර්ථකව භාවිතා කළ රටක් වශයෙන් ශ්‍රී ලංකාව ඉතිහාසයට එක්ව ඇත. පෝලියෝ සහ මැලේරියාව මර්දන වැඩ පිලිවෙල ජාත්‍යන්තරයේ පැසසුමට ලක්විය. කොවිඩ් එන්නත සම්බන්ධයෙන් ද ප්‍රමාදයකට හේතු අනවශ්‍යය. ඉක්මන් තීරණ ගෙන යුහුසුළුව වැඩ කරන්නට සෞඛ්‍ය අංශ වලට නිසි බලය පැවැරීම සුදුසුය. නියාමනය හා නිසි රෙගුලාසි යටතේ පුද්ගලික අංශයට ද විවෘත කළ යුතුය.


ජනතාවට ආරක්ෂක පියවර අනුගමනය කරන සේ තද අවවාද කරන රජය අවදානම අඩු ස්ථාන වල රට විවෘත කරන තීරණ ගෙන තිබේ. සෞඛ්‍ය කාර්ය මණ්ඩලය හා ආරක්ෂක අංශවල කැපවීම එකී තීරණ පිටුපස ඇත. සිය ජීවිත අවදානම පවා නොතකා ඉතා වගකීමෙන් ක්‍රියා කරන පාර්ශව වලට පැසසුම හිමිවිය යුතුය. ඔවුහු නිරත මෙහෙවර උදෙසා කොවිඩ් එන්නත්කරණය නිසි වටිනාකමකි. සෑහෙන පිටිවහලකි. අකාලයේ ජීවිතයක් අහිමිවීම අතිශය වේදනාබර මොහොතක් බව නොකිවමනාය. ජනතාව ව්‍යසනයෙන් ගලවා ගැනීම හැර අනෙක් පියවරක් ගැන මෙම මොහොතේ වාදයක් තිබිය යුතු නැත.

කල් දැමීම අතහරිමු පුහුණු කරවීම අරඹමූ

ප්‍රතිචාරයක් ලබාදෙන්න

04/11/2020- ලංකාදීප


සාමාන්‍ය ජන ජීවිතය වෙනදා මෙන් ගත වෙන්නේ නැත. කොවිඞ් -19 වයිරසයේ ව්‍යාප්තිය රට මුහුණ දෙන අර්බුදයකි. රැකී රක්ෂාවල නිරතවීම අවහිර වී තිබේ. වැඩට යන්නේ කවදාදැයි ඇගිලි ගණින පිරිසක් පමණක් නොව සේවයට නොයන නමුත් වැටුප නිසි පරිදි ලැබෙන තෙක් බලා සිටින පිරිසක් ද අප අතර සිටිති. පවතින ස්වභාවය ඉක්මනින් වෙනස්වනු ඇතැයි පර්යේෂණ වාර්තා අනාවරණය කරයි. නිවසට වී සිටින අතරවාරයේ සේවා ඉක්මන් කිරීම ලෝකයේ සාමාන්‍යකරණය වී ඇත. කලින් තක්ස්රු කරන ලද වකවානුවට වඩා ඉක්මනින් රොබෝ යුගය ඇරඹෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. රට නිසොල්මන් නමුත් ලෝකයේ, දියුණු ඇතැම් රටවල ව්‍යුහය වෙනස්ය. ඉදිරි වසර පහක කාලය තුළ දැන් සේවය කරන ශ‍්‍රම බලකායෙන් හරි අඩක් නැවත පුහුණු කළ යුතු යැයි ගණන් බලා තිබේ. මෙම කාලය දුරස්ථ පුහුණුව සදහා ගැලපෙන කාල පරිච්ෙඡ්දයකි.

වැඩ කරන ජනතාවට නැවත වෘත්තීය පුහුණුව අවශ්‍ය බව කල්පනා කරන්නේ ඇයි? ලෝක ආර්ථික සංසදයේ වාර්තාවක් අනුව රොබෝ තාක්ෂණය රටවල් විසි හයක අලූත් යුගයේ රැකී රක්ෂා මිලියන අසූ පහක් බිහිවනු ඇත. එයට පසුබිම හදමින් රොබෝවරු මිලියන අනූ හතක් ද සේවයට එකතු වනු ඇතැයි සැලකේ. රොබෝ ආගමනයය හෙයින් මිනිස් ශ‍්‍රමය අවලංගු වනු ඇති අතර රැකියා අහිමි වියහැකි බවට පැවැති භීතිය අනෙක් පැත්තකට හැරී තිබේ. අලූතින් කරන ලද සමීක්ෂණයකට අනුව සියයට හතලිස් තුනක පිරිසක් තම රැකියා අවදානම ගැන හිතන අතර සියයට තිස් හතරක් දෙනා අලූතින් වෘත්තීය අවස්ථා වලට නැඹුරු විය හැකි වෙතැයි විශ්වාස කරති. ඩිජිටල්කරණයකට සූදානම්ව සිටින පිරිස සියයට අසූහතර ඉක්මවන බව මෙම වාර්තාව පෙන්වා දෙයි.


ඩිජිටල්කරණයකට සූදානමක් නැති සහ එම පරිවර්තනය හමුවේ තමන්ට අවස්ථා අහිමිවන බවට සැක කරන සමාජ ලෝකයේ තැනින් තැන ඇත. ශ‍්‍රී ලංකාව අයිතිවිය යුතු තැන ගැන දැන් තීන්දු කළ යුතුය. අනාගතයේ ඇතිවන අවස්ථාවලින් උපරිම ප‍්‍රයෝජන ගැනීමට කල්තබා පියවරක් නොගතහොත් නැවත වටයකින් ආපස්සට යන රටවල් අතර එකක් වෙන්නට ඉඩ තිබේ. එය ඉතා අවදානම් සහගතය.
ඉදිරි වසර පහ තුළ සිය ශ‍්‍රම බලකාය නැවත පුහුණු කරන සැලසුම කි‍්‍රයාවට නැගිය යුතු බව සිතන රාජ්‍ය හා පුද්ගලික අංශයේ ව්‍යවසාය විශාල ප‍්‍රමාණයක් ගැන අනාවරණය වී තිබේ. පුද්ගලික අංශයේ ව්‍යවසාය වලින් තුනෙන් දෙකක් තම ආයෝජන නැවත බලගන්වන්නට සිදුවනු ඇති බව ගණන් බලා ඇත. එය පහසු කාර්යයක් නොවේ. කාර්ය මණ්ඩලය පුහුණු කරන්නට හා අලූත් ආයෝජනය සදහා ආණ්ඩු වලට ශක්තිය ඇත. එහෙත් පුද්ගලික අංශයේ මග හැරෙන ව්‍යාපාර හා සේවා අංශ අසීමිත බව දැක්වෙයි. මෙම අංශ නැවත බලගන්වනු සදහා පසු විපරමක් අවශ්‍යය. උවමනා කරන ප‍්‍රාග්ධන අවශ්‍යතා සම්පාදනය කර ඉදිරි තාක්ෂණික යුගයට සූදානම් කළ යුතුය. පස්වන පරම්පරාවේ රුහැන් රහිත සන්නිවේදනයට ආයෝජනය කළ යුතු අතර රූපවාහිනි සේවා ඩිජිටල්කරණය කළ යුතුවේ. මෙම තීරණ ඉතා සංකීර්ණ බව නිසැකය. කළ යුතු වෙනස්කම් තෝරා බේරා ගැනීම අපහසුය. එහෙත් ලෝක ආර්ථික සංසදය පෙන්වා දෙන කරුණු කෙරෙහි අවධානය යොමු කළ යුතුව තිබේ. ශ‍්‍රම බලකායෙන් කොටසක් මෙවැනි පැති කෙරෙහි නැවත පුහුණු කිරීම බලවත් අවශ්‍යතාවයකි.


එක පැත්තකින් රාජ්‍ය ආර්ථිකය දුබල තැනක සහ පුද්ගලික අංශය ආයෝජන ශක්තියෙන් හීන අවස්ථාවක අනාගතයේ එළැඹෙන ව්‍යුහය ගැටළුකාරී එකක් වනු නොඅනුමානය. කොවිඞ් වසංගතයේ පැතිරීම හා එයින් ඇති කරන පීඩනය ඉදිරියේ පවා ඉදිරි පරම්පරාව ගැන කල්පනා කිරීමට වගකීමක් අප සියළු දෙනාටම තිබේ. අත්හැර දැමිය යුතු මොහොතක් නැත. පුනරුදයක් උදෙසා නැවත හැරවිය යුතු තැන් කරා අවතීර්ණ වන්නේ කෙසේ ද යන්න සාකච්ඡා කිරීම අවශ්‍යය. රජය හා පුද්ගලික අංශය එකතු වී සමබර වැඩසටහනක් සම්පාදනය කාලෝචිතය.