රටක ඉදිරි ගමනට එකගතාව අවශ්‍ය ඇයි ?

ප්‍රතිචාරයක් ලබාදෙන්න

2021/01/27 -දේශය

ඇමරිකානු ජනාධිපතිවරණය සහ අලූත් ජනාධිපති තෝරා පත්කරගැනීම ගැන තිබුණ කලබැගෑනිය එක්තරා අවසානයක් කරා පැමිණ තිබේ. පැන නැගී තිබුණ තියුණු විවාද අවසන් කළේ ජනී ජනයාගේ සොම්නස සමගය. සංකීර්ණ සහ දැඩි ආරක්ෂාවක් මැද පැවැති ජනාධිපති ජෝ බයිඩන්ගේ පදවි ප‍්‍රාප්තිය සංකේතාත්මක සිද්ධි වලින් බහුලය. තරුණ කිවිදියක ගේ කාව්‍යමය ඉදිරිපත් කිරීම ඇවිලෙමින් තිබුණ හදවත් තෙත් කළේය. ලේඩි ගාගා ජාතික ගීය ගායනා කළේ ඇයට ආවේනික ශෛලියකිනි.

ජනාධිපතිවරයා නිල උත්සව අවස්ථාවේ අංග අතර ශ්‍රේෂ්ඨ කවියෙකු වේදිකාවට පැමිණ නිර්මාණයක් ඉදිරිපත් කිරීම සම්ප‍්‍රදායකි. මෙවර එම අවස්ථාව ලබාගත්තේ විසි දෙහැවිරිදි දක්ෂ කිවිදියක හා සමාජ කි‍්‍රියාකාරිණියක වන ඇමෙන්ඩා ගෝමන් ය. එක්සත්භාවය හා එකමුතුවීමේ පණිවුඩය ඇගේ පරිනත නිර්මාණය තුළ තිබුණි. ‘‘කිසියම් දවසක කෙළවරක් නැති අදුරු සෙවනැලි අවසානයේ දී අප ආලෝකය සොයනු ඇති’’ බව ඇය මුල් වචන වලින් දැක්වූවාය. නොයෙක් බෙදීම් වලින් හෙම්බත්ව තිබුණ ඇමරිකානු සමාජයට එම වදන් මහත් අස්වැසිලිලක් විය. ජෝ බයිඩන් ජනාධිපතිවරයා ඇමන්ඩා තෝරා ගත් පසුබිම ද විචිත‍්‍රය. ඇය ශ‍්‍රවණ හා කථන ආබාධ සහිතය. පසුව මහත් වෑයමෙන් ආබාධ මැඩගෙන තිබේ. බයිඩන් ජනාධිපතිවරයා ද කුඩා කාලයේ දී කථන දුර්වලතා සහිතය. ඔහු අත්විදි ගැහැට සහ වේදනා මැඩ පැමිණි ජයග‍්‍රාහී මාවත ඔස්සේ එන්නට ඇමන්ඩාට ද අවස්ථාවක් නිර්මාණය කළේය. ලාබාල ඇය ඉතා දක්ෂ ලෙස එයින් ප‍්‍රයෝජන ගත් බව ජාත්‍යන්තර මාධ්‍ය වර්ණනා මැනැවින් සනාථ කරයි.

දුබලතා පිලිගැනීම සහ ඒවා උසුලූ විසුලූ වලට හේතුවක් කර නොගැනීම කොපමණ අගය කළ යුතුද? ශාරීරික ආබාධ හෝ පසුබිම අවස්ථා අහිමි කරන්නට හේතුවක් නොවන බව නැවත වතාවක් ඇමරිකානු ජන සමාජය ලෝකයට පෙන්වා දී ඇත. ජනාධිපතිවරයෙකු දිවුරුම් දෙන අවස්ථාව ඉතා ගාම්භීර හා මැනැවින් ප‍්‍රදර්ශනය විය යුතු නමුත් ගතානුගතිකත්වයෙන් ගැලවී අලූත් අර්ථකථන හා සමාජ සංකේත වෙනුවෙන් යෙදවීම අභිමානයට කැළලක් වූයේ නැත. තවත් සමාජානුබද්ධ කරන්නට සමත්විය. ඇමන්ඩා ගේ කවිය හා ලේඩි ගාගා ශිල්පිනිය වෙනස් ශෛලියකට ඇමරිකානු ජාතික ගීතය ගායනා කිරීම අමිහිරි සිද්ධි අමතක කර නැවුම් වාතාශ‍්‍රයක් සපයන කවුළු විවර කරන්නක් බවට පත් වූ බව සදහන් කළ යුතුය. මාස කිහිපයක් තිබුණ කැළඹිලි, කැපිටල් මන්දිරය ආක‍්‍රමණය කර සිදුවූ ගැටුම්, ජනාධිපතිවරණ ප‍්‍රතිඵලය ප‍්‍රතික්ෂේප කරන විරෝධතා යනාදිය තුනී කර අලූත් පරිසරයක් මොහොතකින් ඇතිකරන්නට හේතුවිය.

රටක් ඉදිරියට ගමන් කරන්නට එකගතාවයක් අවශ්‍යය. ශ‍්‍රී ලංකාවට ඉගෙනගත යුතු පාඩමක් තිබේ. හැම තැනෙකම, හැම දෙයකටම බේධ ඇති කරගනිමින් සිටිමු. එකිනෙකා බෙදී මහා ඝෝෂාවකි. මාධ්‍ය භාවිතාව තුළ පවා විවාදය හැර අනෙකක් නැත. සමාජ මාධ්‍ය එම වාද විවාද තවත් විකෘති කරමින් සිටී. සියළුම අවස්ථාවලදී විරුද්ධ වන නමුත් සමහර අවස්ථාවල දී සමාජයක් වශයෙන් එකට එකතුවිය යුතුය යන සංකල්පය අපට නැත. එය අභාග්‍යයකි. පෞඩ ඉතිහාසය ගැන අභිමානයෙන් සිටින ශ‍්‍රී ලංකාවේ වර්තමානය ගැන ඉතිහාසයේ ලියැවෙන්නේ කෙසේද? කෙබදු පැවැත්මක පසුවූ ජන කොට්ඨාශයක් වශයෙන්ද?

රටට නිදහස ලැබුණු දිනය සමරන දවස එළැඹෙමින් තිබේ. සුපුරුදු සම්ප‍්‍රදායික පෙළ ගැසීම හැර අනෙක් අංගයක් ඇතුලත් කළ නොහැකි ඇයි? හේතුවක් තිබේ. දේශපාලනඥයන්ගේ කතා සහ හමුදා උත්තමාචාර හැර වෙනස් දෙයක් කරන්නට උත්සාහ කළහොත් අවඥාවට ලක් වනු ඇත. මරාගෙන මැරෙන විරෝධතා ඇති කරනු නිසැකය. එක රටක්, එක ජාතිකයක් වශයෙන් නැගී සිටින්නට කලින් එක දෙයක් වෙනුවෙන් හිස ඔසවන්නට සූදානම් විය යුතුය. සම්ප‍්‍රදාය පමණක් නොව සමාජය ඔසවා තබන සංකේත ගැන ද අත්සවයක දී යුහුසුළුවීම ඉතා වැදගත්ය. නිදහස් උළෙල පමණක් නොව රටේ හැම තැනකම පවත්වන එකිනෙකට වෙනස් උත්සව වල දී ජනතාවාදී අවස්ථා ඇති කරන්න. පවතින කොවිඞ් වයිරස තත්ත්වය ඇතැම් පාලනයකට හේතුවක් විය හැකිය. එහෙත් අලූත් ආරම්භයකට ද අවස්ථාවකි. ජාති, ආගම්, කුල, පන්ති හා පැලැන්ති පැත්තකට කර රටක් ගොඩනගන්නට තරම් ශක්තිමත් අලූත් අදහස් රටට අවශ්‍යය.

රටත් සමාජයත් අවුල් කරන අන්තවාදීන් ගැන දෙවරක් සිතමු

ප්‍රතිචාරයක් ලබාදෙන්න

2012/01/20- ලංකාදීප

ජන සමාජය නිතිපතා මුහුණ දෙන ප‍්‍රශ්න සංකීර්ණ මුහුණුවරක් ගනිමින් තිබේ. නොසිතන පැති වලින් අරගල පැන නැගෙන අතර ඉතා තාක්ෂණිකය. තොරතුරු සන්නිවේදනය හා සමාජ මාධ්‍ය භාවිතය ඔස්සේ ජන සමූහ දේශ සීමා රහිතව ජාල ගතවන බව නිරීක්ෂණය කළ හැකිය. ජාල ගත අරමුණු සදහා පොළඹවන අදිසි බලවේග බලවත් කැළඹිලි ඇති කරන්නට සමත්ව තිබේ. සංවර්ධන අභිලාශය හා සැනසිලිදායක ජන ජීවිතය ගැන තිබුණ අපේක්ෂා වෙනස් පැතිවලට යොමු වී ඇත.

අතීතයේ දී ආහාර සොයා ගැනීම සදහා දඩයම් කළ මනුෂයෝ සුනඛයෝ ඇති කළහ. වැදි ජනතාව මෑත කාලය දක්වා දඩයමට සුනඛයෝ ඇති කළ අතර ආර්. එල්. ස්පිට්ල් ශූරීන් ගේ කෘති වල වැද්දන් හා දඩයමට දක්ෂ බල්ලන් සමග තිබුණ තද සම්බන්ධතා මැනැවින් විග‍්‍රහ කර තිබේ. විධානයට කඩා පැනීමේ සමත් සුනඛයෝ ගොදුර අත නොහරිති. උසිගැන්වීමේ දී හාම්පුතා ගේ විසිල් හඩට අවනත වෙති. නූතන සමාජ මාධ්‍ය හැසිරවීමේ දී ‘‘ඩෝග් විසිල්’’ සංකල්පයක් ගැන කියැවෙයි. කොතැනකින් හො මතුකරන ශබ්ධයකට බුරා පැන නැගෙන ව්‍යාපාර මතු වී තිබේ. මෙම ශබ්ධ ඇති කරන්නෝ විශේෂිතය. සමාජය අනතුරකට පත් වන බව නොසලකන අතර නොයෙක් අන්තවාදී අදහස් වපුරවමින් සිටිති.

ෆේස්බුක්, ඉන්ටග‍්‍රෑම්, ටිවිටර් හා වට්ස් ඇප් වැනි සමාජ මාධ්‍ය ජාලා ආරම්භ කරන්නේ විනාශය අරමුණු කරගෙන නොවේ. හිතමිතුරු සමාජ හා අදහස් හුවමාරුව අරමුණු කරගෙනය. සමාජ සම්බන්තා අලූත් වටයකින් දියුණු කිරීමටය. පොදු අරමුණු පරාජය කර බියකරු අභිමතාර්ථ ඉදිරියට පැමිණ ඇති අතර බටහිර සිදුවන මෙකී විපර්යාස දියුණු වෙමින් පවතින රටවල් ආක‍්‍රමණය කරමින් සිටී.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කරන්නට සමාජ මාධ්‍ය සහ තොරතුරු සන්නිවේදන ජාලා මහත් පිටිවහලක් වනු ඇති බවට කරන පුරෝකථන විනාශවීම මෙහි භයානක පැත්තකි. බටහිර රටවල සිදුවන දේ ගැන විමර්ශණශීලීව සිටින චීනය වැනි රටවල් පවා ස්වකීය සමාජ වලට නුදුරු කාලයේ දී එල්විය හැකි අනතුර ගැන තද අවධානයක් යොමු කර ඇති බව වාර්තා දක්වයි.

සමාජ මාධ්‍යවලින් නිකුත් කරන අදහස් කෙටිය. ඉතා අන්තවාදීය. මේවායේ ඇත්ත නැත්ත සොයන්නට කිසිම අවකාශයක් නැත. වේගයෙන් හඹා එන රැළි සම්ප‍්‍රදායික සමාජ ව්‍යුහ අර්බුදයකට තල්ලූ කරමින් සිටී. ජනිත කරන සමහර අදහස් වලින් අලූත් දෙයක් නිර්මාණය කරන්නේ නැත. ඇතැම් අදහස් කිසියම් කොට්ඨාශයක උද්දාමය වෙනුවෙන් පමණකි. සත්‍ය කුමක් ද යන්න වටහා ගැනීමට ඉඩක් දෙන්නේ නැත. ව්‍යාකූලත්වය ඇතිකරයි. බලය වෙනුවෙන් පවා සමාජ මාධ්‍ය වල ස්ථිර හැසිරීමක් නැත. එහි අන්තවාදී ප‍්‍රවේශය පාලනය කරගැනීමට මෙම මාධ්‍ය නියාමන ආයතන පවා අසමත්ය. ඩොනල්ඞ් ට‍්‍රම්ප් ජනාධිපතිවරයාගේ ඡුන්ද ව්‍යාපාරය එයට හොද උදාහරණයකි. අසත්‍ය පණිවුඩ හා අන්තවාදී අදහස් ක්ෂණයකින් අවුලවන ලද අතර ඒවායෙන් ඇති කරන අවසානය සාමාන්‍ය ජනතාව උන්මත්තකයන් කරන තරමට පත්වූ බව මධ්‍යස්ථ විචාරක මතය වී තිබේ.

උසිගැන්වීමෙන් ඇති කරන කැළඹීම එහි, අවසානයේ දී ඇති කරන සමාජ පැවැත්ම ගැන පූර්ව නිගමනයකට එළැඹිය නොහැකිය. තරුණ පරපුර මෙම බිහිසුණු ඉරණම අභිමුවෙහි සිටී. පුරූෂාර්ථ හා සමාජ සාරධර්ම ගැන තක්සේරුව අවම වී ඇත. භීතිය හා කුමන්ත‍්‍රණ ඇති කිරීමෙන් නඩත්තු වන කල්ලි ජනතාව ඇදගෙන යන අවසානය ගැන කල්පනා කරන්නේ නැත. මාධ්‍ය නිදහස එක කෙළවරකි. අනෙක් කෙළවර නිදහස අයුතු සේ කරන භාවිතාවය. සමාජ මාධ්‍ය භාවිතාව එල්ල කරන පීඩනය ආණ්ඩු වලට පමණක් නොව නිර්මාණශීලීව මෙම ව්‍යාපාර ඇතිකරන සමාගම් ද අනතුරකට තල්ලූ කර තිබේ. ලෝකයේ බලවත්ම ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍ය සේ සැලකෙන ඇමරිකාවේ වත්මන් ජනාධිපතිවරයාගේ සමාජ මාධ්‍ය ගිණුම පවා අවහිර කරන තැනට ඇවිලීම මෙහි තරම විදහා දක්වයි. දියුණුවන රටක, ගුණ දහමින් පෝෂණය වී සිටින සමාජයකට අත්විය හැකි ඉරණම ගැන විද්‍යාර්ථීහු සිය අවධානය වහා අවධානය යොමු කළ යුතුය.

ජාතිකවාදයට එරෙහි ප්‍රබල බලවේගයක්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

2021/01/06 – ලංකාදීප

ජන සමාජ එකමුතුකර, එක අරමුණක තබන වෑයම ඉතා දුෂ්කරය. විවිධ සංස්කෘතී, එකිනෙකට වෙනස් භාෂා, අදහන ආගම් සහ අසමාන සමාජ පසුබිම් ගැටළු ඇතිකරයි. එය සාමාන්‍යයෙන් සිදුවන දෙයකි. සමාජ සංකල්ප එකී අරමුණ සංකීර්ණ කරන තැනකය. ප‍්‍රකට ගවේශනශීලී කතුවරයෙකු වූ ජෝන් ලැකාරේ ප‍්‍රකාශ කරන ද අදහසක් මෙහි දී උපුටා දැක්විය හැකිය. ‘‘දේශපේ‍්‍රමය හා ජාතිකවාදය අතර ප‍්‍රධාන වෙනස්කමක් ඇත’’. ඔහුට අනුව ජාතිකවාදයට සතුරෙකු අවශ්‍යය. අසල්වාසීන් සතුරන් කරන තරම ජාතිකවාදයට බිහිසුණුය. ජෝන් කෝන්වෙල් වන හෙතෙම ආරක්ෂක හා ආරක්ෂක බුද්ධි අංශවල සේවය කළ බි‍්‍රතාන්‍ය ජාතිකයෙකි. හෙතෙම සේවයේ නිරතව සිටිය දී නවකතා රචනා කළේය. විශිෂ්ඨ ප‍්‍රතිචාරයක් හිමිවිය. සාහිත්‍යකරණයට එන්නේ ජෝන් ලැකාරේ යන අන්වර්ථ නාමයෙන්ය.

වෙනත් නමකින් ලියන ලැකාරේ සමාජ සංසිද්ධි වෙනස් මානයකින් විනිවිද දකින්නට උත්සාහ කළේය. පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ දී ජීවිතක්ෂයට පත් වූ හෙතෙම  දැනට මහත් ආන්දෝලනයට පත්ව ඇති ජාතිවාදය හා දේශපේ‍්‍රමය ගැන කරන ලද මෙම නිර්චචනය බලවත් අවධානයකට ලක්ව ඇත.

දේශපේ‍්‍රමය අප සියළු දෙනා රට වෙනුවෙන් දක්වන අප‍්‍රමාණ හැගීමකි. දේශපේ‍්‍රමියෙක් බව අගවන්නට කිසිවෙකු නිල පදක්කමක් පළදින්නේ නැත. එය  රට  වෙනුවෙන් හදවතින්ම කරන පරිත්‍යාගයකි. ජාතිකවාදය එසේ නොවේ. රට අවුල් කරන්නට ජාතිකවාදය සමත්ය. දේශපාලනයේ දී එය ආයුධයකි. සමහර දේශපාලනඥයෝ ජාතිකවාදය පටු පරමාර්ථයෙන් ප‍්‍රයෝජනයට ගනිති. සාමකාමීව, සහජීවනයෙකින් වෙසෙන ජනී ජනයාගේ සිත්සතන් අවුල්කරන අතර විනාශය කැදවන්නට ජාතිකවාදයට හැකියාව ඇත. දේශපේ‍්‍රමයට සතුරන් අවශ්‍ය නැත. ජාතිකවාදයේ දී සතුරෙකු සිටී. සතුරාට අභියෝගකර කෑගසා පෙන්වන ඇතැම් දේශපාලනඥයෝ ජාතිය ගලවාගැනීම සදහා වහා පියවර ගත යුතු බව දක්වති. එම ඝෝෂාව රටට සුගතියක් නොවේ. සතුරෙකු රහිතව ජාතිකවාදයක් පවතින්නේ නැත. දේශපාලනයේ දී ජාතිකවාදය පැතිරවීම බහුලව සිදුවෙයි. සතුරන් මවන දේශපාලනඥයෝ ඒවායෙන් ඇති කරන මහා විනාශයෙන් යැපෙන තැනට පත්ව සිටී. එය ඉතාම ඛේදණීය තත්ත්වයකි.

ආගමික, වෘත්තීයවේදීන්, බුද්ධිමතුන් හා මාධ්‍යයේ ඇතැම් පිරිස් ජාතිකවාදය අතට ගෙන තිබේ. වගකීමක් රහිත ස්වභාවය තුළ එය ඉහවහා ගොස් ඇත. බුද්ධ දර්ශනය තුළ අන්තවාදයට ඉඩක් නැත. බහුතර බෞද්ධයන් ජීවත්වන සහ ඉතා බාරධුර ශාසනික මෙහෙවරක නිරත මහා ස්වාමීන්වහන්සේලා සිටින පසුබිමක් තුළ පවා අන්තවාදී වෛරී අදහස් පතුරවන තත්ත්වයක් මතු වී තිබේ. වෛරී අදහස් කිසිම ආගමක දර්ශනය නොවේ. ජාතික හෝ ආගමික මතිමතාන්තර විසුරුවීමක් නොකළ යුතුය. එහෙත් එය සිදුවෙමින් තිබේ. ජාතිය, ආගම, පංතිය පමණක් නොව ජාත්‍යන්තරය ද ජාතිකවාදීව පතුරවන පසුබිම රට ආරක්ෂාකරන මහා කඩතුරාවක් සේ දක්වති. ජාතික හා ආගමික නායකයෝ මෙවැනි අභාග්‍ය සම්පන්න පැති හදුනා ගත යුතුය.

ජාතිකවාදීබව සතුරන් ඇති කරන විට එය ප‍්‍රබලව පතුරවන සන්නිවේදන ව්‍යාපාර බහුලය. සම්ප‍්‍රදායික මාධ්‍ය ඉක්මවා කි‍්‍රියාත්මක සමාජ මාධ්‍ය ධාරා අන්තවාදීන්ගේ ඇවිලවීම් වලට තෙල් ඉසින බව පෙන්වා දිය යුතුය. මෑත කාලය තුළ ලෝකයේ සිදුවූ බරපතල සිද්ධි වලට ජාතිකවාදය හා එය පතුරවන ලද සමාජ මාධ්‍ය බලපෑම හෙළිදරව් කර තිබේ. විනාශය හැර අනෙකක් ජාතිකත්වයෙන් ලැබී නැත. ශ‍්‍රී ලංකාවට අතීතයෙන් අත්දැකීම් තිබේ. පැතිරුණ දරුණු ඇවිලවීම් මතකයේ ඇත. ඒවායෙන් දැවී ගියේ ජන හදවත් පමණක් නොවේ. සබදතා පළුදු විය. ආත්මයක් නැති ගර්භිත සමාජ ඉතිරිවී තිබේ. අප සියළුම දෙනා නැවත නැවතත් පණ පොවන ජාතිකවාදයට ගොදුරුවෙමින් සිටින්නෙමු. අලූතින් ගොඩනැගිය නොහැකි මහා පරිහානියක් අභිමුවෙහි පවා ජාතිකවාදී සතුරන් සොයන තැනට පත්ව ඇති රටකි.

දේශපේ‍්‍රමීත්වය රටට අවශ්‍ය කර තිබේ. ජාතිකවාදය සදහා සතුරන් සොයන ව්‍යුහය පරාජය කර ජනතා සිත් සතන් තුළ ඇති දේශපේ‍්‍රමීත්වය මතු කරගත යුතුව ඇත. තමන්ගේ රටට දක්වන ආදරය වෙනස් කළ නොහැකි එකකි. එය අභිබවා රට කෙරෙහි දරුණු වෛරයක් ඇතැම් ජන කොටස් තුළ කොටස් තුළ ඇතිකරන්නට ජාතිකවාදය සමත්ව තිබේ. එහි විපාක වලින් පාඩම් ඉගෙන ගත යුතුය. දේශපේ‍්‍රමීන් වශයෙන් මහත් ආඩම්බරයෙන් එක රටක  ජීවත්වන පදනමක් සූදානම් කිරීම අවශ්‍යතාවයකි. නව වසරේ අධිශ්ඨානය විය යුතුය.