විදේශ ප‍්‍රතිපත්තියට දේශපාලනය ගෑවීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

2021/03/31 – ලංකාදීප

  

රටවල් සමග සබදතා ශ‍්‍රී ලංකාවට වැදගත්ය. ලෝකයේ සියළුම රටවල් සමග විවෘතව කටයුතු කිරීමේ අවශ්‍යතාවයක් තිබේ. රටවල් අතර සම්බන්ධතා වල දී සංස්කෘතික, ආර්ථික සහ සමාජ ආදී වශයෙන් විවිධ පැති වලට ව්‍යාප්ත වෙයි. රටවල් අතර උවමනා එපාකම් අනුව සංකීර්ණ මුහුණුවරක් ගනී.

සිංගප්පූරුවේ ජ්‍යෙශ්ඨ රාජ්‍ය තාන්ත‍්‍රිකයෙකු වියට්නාමයේ විදේශ කටයුතු භාර ප‍්‍රධාන පෙලේ නිලධාරියෙකු ගෙන්, එක්තරා අවස්ථාවක දී බලවත් රටවල් සම්බන්ධයෙන් ඔවුන් අනුගමනය කරන විදේශ ප‍්‍රතිපත්තිය ගැන විමසා තිබේ. ආදර්ශයට ගත හැකි පිලිතුරක් ලැබී ඇත. ‘‘බලවත් රටවල් සමග ඉතාම සුහදව කටයුතු කළ යුතුය. රට වෙනුවෙන් පෙනී සිටිම අත්‍යවශ්‍යය. මෙම කරුණු දෙකම එකවර සාක්ෂාත් කළ යතුය. එකවර අනුගමනය කළ නොහැකි කිසිවෙකු නායකත්වයට නුසුදුසුය.’’  බලවත් රටවල් සමග සම්බන්ධකම් වල දී විවෘතව ක‍්‍රියා කළ යුතු අතර අවසාන අරමුණ රට වෙනුවෙන් බව මෙයින් අගවන වැදගත්ම පණිවුඩයයි.

මෑත කාලයේ ශ‍්‍රී ලංකාවේ විදේශ සම්බන්ධතා පසුබිම සංකීර්ණය. ශ‍්‍රී ලංකාවේ ආණ්ඩු ගන්නා සෑම පියවරක් පාසා පසුගිය කාලයේ ප‍්‍රශ්න ඇති වී තිබේ. නායකයන් තීරණ ගන්නේ රට වෙනුවෙන්ය. ඇතමෙකුට නොයෙක් කුමන්ත‍්‍රණ හෝ පාවාදීම් ඇත. ආණ්ඩුව ගන්නා තීරණය විපක්ෂයට නොගැලපේ. විපක්ෂය නගන අදහස් ජන සමාජය තුළ විරෝධාකල්ප ඇතිකරයි. විපක්ෂයේ සිට බලයට එන විට අනුගමනය කරන ප‍්‍රතිපත්ති වෙනස්ය. රටවල් අතර නොහොද නෝක්කාඩු ඇති කරන මෙවැනි සිද්ධි අනුචිතය. නායකයෝ රටවල් සමග සුහදව ක‍්‍රියා කළ යුතුය. එසේම එම සම්බන්ධතා රට වෙනුවෙන්ය. පටු පරමාර්ථ අනුව නොවේ.

රටවල් අතර හිත මිතුරුකම් ගැන ඉන්දියාවේ ප‍්‍රකට සදහනක් ද මෙහි ලා සදහන් කිරීම උචිතය. ඉන්දියානුවන් දක්වන පරිදි ‘‘අභ්‍යන්තර දේශපාලනය මුහුදු වෙරළින් අවසන්ය’’. රටින් බැහැර නිල අවස්ථාවක එරට නායකයන් ඉන්දියාවේ අභ්‍යන්තර දේශපාලන තීන්දු අනුව ස්වභාවය වෙනස් කරන්නේ නැත. එය වැදගත් පිලිවෙලකි. සංකීර්ණ සමාජ ආර්ථික වටපිටාවක් ඇති ඉන්දියාවට ලෝකයේ සෑම රටක් සමගම ගනුදෙනු කරන විලාසයක් තිබේ. අභ්‍යන්තරයෙහි ඇති මත වාද එහි ලා ගැඹුරින් අවධානයට ලක් නොකරන බව මෙයින් ඇගවෙයි.

වියට්නාමයෙන් හා ඉන්දියාවෙන් එන අදහස් ශ‍්‍රී ලංකාවට අනුගමනය කළ හැකි මාවත දක්වයි. බලවත් රටවල් සමග රාජ්‍ය තාන්ත‍්‍රික සම්බන්ධතා තහවුරු කරගන්නා පිලිවෙලක් තිබේ. ඒවා සියුම්ය. අන්‍ය න්‍යාය පත‍්‍රවලට ගොදුරු විය යුතු නැත.

විදේශ ප‍්‍රතිපත්ති සම්බන්ධයෙන් කුඩා රටවලට සෑහෙන ගැටළු තිබේ. බලවත් රටවල් අතර ඇති පරස්පරතා වලින් ගැලවි ස්වාධීනව ක‍්‍රියා කිරීම පැන නැගෙන බලවත් අභියෝගයකි. ඇමරිකාව සමග පවතින සබදතා තවත් බලවත් රටකට නොගැලපෙන්නට ඉඩ ඇති අතර චීනය හෝ ඉන්දියාව සමග ක‍්‍රියා කිරීමේ දී ද නොයෙක් පැති මතුවීම ස්වභාවිකය. බි‍්‍රතාන්‍ය, රුසියාව හෝ යුරෝපා ප‍්‍රජාව සමග පවත්වන සම්බන්ධතා අනෙක් රටකට නොගැලපෙන්නට බැරි නැත. මැද පෙරදිග හෝ අප‍්‍රිකානු කලාපය ගැන දක්වන ආකල්ප අනෙක් එකක් වෙන්නට ඉඩ තිබේ. එහෙත් මෙම සියළුම රටවල් සමග අඩු වැඩි වශයෙන් නමුත් එක හා සමාන ස්ථාවරයක පිහිටීම අවශ්‍යය. පටු අරමුණු පසෙත තැබීම සුදුසුය.

විදේශ ප‍්‍රතිපත්තියට ද දේශීය දේශපාලනය මුහු කිරීම අපගේ සිරිතය. අවශ්‍ය වූ අවස්ථාවක හොද හිත පෙන්වන අතර අනවශ්‍ය අවස්ථාවල නොයෙක් ආකාරයෙන් විවිධ රටවලට ප‍්‍රහාර එල්ල කරන බව පෙනේ. ඒවායේ ඉලක්කය ඡන්ද පදනම බව ද අමතක කළ යුතු නැති තවත් පැත්තකි. රටවල් සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ප‍්‍රතිපත්ති සහ නායකයෝ පෙනී සිටිය යුතු ස්ථාවරය ගැන මෙම කරුණු ඔස්සේ අවධානය යොමු කළ යුතුය.

උගත් පාඩම් අමතක කරන රටක්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

 2021/03/24 ලංකාදීප

හොදත්, නරකත් යන දෙකම දවසක්, දෙකක් ඇතුලත අමතක කිරීම සිරිතක් වී තිබේ. එය ලාංකේය සංස්කෘතියෙහි එක පැතිකඩක් දැයි කල්පනා කිරීම සුදුසුය. පසුගිය සතිය අවසන් වූයේ ශෝකාන්තයකින්ය. අවිනීත රියැදුරෝ සිදු කළ පස්සර බස් රථ අනතුර දහ හතරදෙනෙකු ගේ ජීවිත රටට අහිමි කළහ. තවත් තිස් ගණනක් තුවාල ලබා ඇත. ජීවිත අහිමි වූ අයවලූන්ගේ සමීපතමයන්ට සහ තුවාලකරුවන් ජීවිත කාලය තුළ සිද්ධිය අමතක නොකරනු ඇත. එහෙත් සමාජයක් වශයෙන් අප සියළු දෙනා ඉක්මනින් මතක නැති කරන බවට සැකයක් නැත. මෙම භයානක සිද්ධියෙන් පාඩමක් ඉගෙන ගෙන මාර්ග අනතුරු වලක්වා ගන්නා විධිමත් වැඩ පිලිවෙලක් ගැන අවධානය යොමු කිරීම සුදුසුය.

සමාජය දියුණුවන විට විනය ගරුක බවක් ඇතිවෙයි. ශ‍්‍රී ලංකාව දියුණුවෙමින් පවතින බව ඉලක්කම් වලින් පෙන්වන නමුත් අපට එදිනෙදා පැවැත්මේ දී දැනෙන්නේ නැත. අනෙක් වාහනය ඉස්සර කරගෙන යන්නට සමහර කෙනෙකුට ඇත්තේ පුදුම හදිස්සියකි. ඉතාම අපරීක්ෂාව, බරපතල උවමනාවකින් අනෙකා පරයා ගොස් නතර වූ පසු කරන වැඩදායක කාර්යය කුමක්දැයි කිසිසේත් පැහැදිලි නැත. දිනපතා කොතැනක හෝ අනතුරකි. බොහෝ විට එයට හේතුව අපරීක්ෂාකාරීවීමය. නොසැලකිල්ලය. නීතිය, අධිකරණ ක‍්‍රියාමාර්ග හෝ දඩුවම් වලින් වාහන හසුරුවන්නන්ගේ චර්යාවෙහි කැපී පෙනෙන වෙනසක් ඇති කරන්නට අසමත් බව පැහැදිලිව පෙනෙන කාරණයකි.

මෙම අනතුර සිදු වූ මාර්ගයෙහි අවහිරයක් තිබුණ බව පැවසේ. එය ඉවත් කරන්නට කලබලයක් තිබී නැත. අවහිරය තිබිය දී පමණක් නොව අවදානමක් ඇති බව දැනගෙන දෙනෝ දාහක් දෙනා එහා මෙහා යන්නට ඇත. සිද්ධිය වූ ස්ථානයේ කළ යුතුව තිබුණ නඩත්තු කටයුතු අතපසු කර තිබේ. අඩුම තරමින් මාර්ග බාධකයක් හෝ යොදන්නට තිබුණි. ඇතැම් අවිනීත රියැදුරන් එවැනි බාධක පවා පෙරළාගෙන වාහන පදවන බව නොරහසකි.

වාහන අනතරු සිද්ධි වලින් ජීවිතක්ෂයට පත්වන ප‍්‍රමාණය නිතිපතා ඉහළ ගොස් තිබේ. පර්යේෂකයන්ට අනුව කොවිඞ් වසංගතයට වඩා මිනිස් ජීවිත ප‍්‍රමාණයක් වාහන අනතුරු නිසා අහිමි වෙයි. ඉකුත් දශක දෙක තුළ අනතුරුවලින් සිදුවන බලපෑම හා ඒවා වලක්වා ගැනීමට ගත යුතු ක‍්‍රියාමාර්ග ගැන සෑහෙන සාකච්ඡා සිදුවී ඇත. පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කර ගැඹුරින් සොයා බලා තිබේ. රියැදුරන්ගේ නොසැලකිල්ල නිසා පදිකයන් හා පාපැදිකරුවන්ට සිදුවන අනතුරු එහි වඩා අවධාරණය කර ඇත. මෙම වාර්තා මගින් හෙළිවන කරුණු පදනම් කරගෙන අලූත් තීන්දු නොගැනීම වරදකි.

මහ පාරේ ඇති ඉඩ කඩ ඉක්මවන තරමට අධික වාහන ප‍්‍රමාණයක් දිනපතා ධාවනය වෙයි. එයින් ඇති කරන තදබදය රියැදුරන්ට අධික පීඩනයක් බව නොරහසකි. පොදු ප‍්‍රවාහන සේවා දියුණු කළහොත් වාහන තදබදය අවම කළ හැකිය. යතුරු පැදි, ත‍්‍රීවිලර් හා සැහැල්ලූ කාර් වලින් ගමන් බිමන් යන පිරිස් පොදු ප‍්‍රවාහනයට යොමු කර ගත හැකි දීර්ඝ කාලීන සැලැස්මක් සම්පාදනය කළ යුතුය. මහ පාරේ වාහන අඩු කරන සැලැස්මක දී දුමිරිය සේවා විධිමත් කිරීම අවශ්‍යතාවයකි. නිශ්චිත වෙලාවට මගී පහසුව ඇති කරන දුම්රිය සේවා ජනතාවට පහසුවක් වනු ඇති අතර එය ආර්ථිකයට ද විශාල සහනයකි. පුද්ගලික වාහන භාවිතය හේතුවෙන් අධික තදබදය පමණක් නොව ඛනිජ තෙල් භාවිතය ද රටට ඔරොත්තු නොදෙන තරමට පත්ව තිබේ. මගී ප‍්‍රවාහනයේ යෝග්‍යතා සලකා බලා නැවුම් වෙනස්කම් කිරීම වැදගත්ය. අනතුරු වලින් සිදුවන විනාශය ඉදිරියේ ඉගෙන ගත යුතු පාඩමකි. තවත් දෙතුන් දවසකින් සිද්ධිය අමතක කරනු ඇති අතර පුරුදු පරිදි රියැදුරෝ හැසිරෙනු ඇත. වාහන ධාවන බලපත‍්‍ර නිකුත් කිරීම වෙනස් කිරීම හෝ දඩ නියම කිරීම තාවකාලික අස්වැසිල්ලකි. රටට අහිමි වූ අහිංසක ජීවිත ගැන සලකා බැලිය යුතුය. වන්දි පමණක් ප‍්‍රමාණවත් නොවේ. මෙැවැනි ඛේදවාචක නැවත ඇති නොවන සැලස්මක් සදහා අලූතින් හිතන්නට අවශ්‍යය.

රට හදන්න කලින් මනස සන්සුන් කරවමු

ප්‍රතිචාරයක් ලබාදෙන්න

2021/03/17 – ලංකාදීප

‘‘බඩ වියත’’ වෙනුවෙන් යැයි ගැමි ව්‍යවහාරයක් තිබේ. හැම දෙයක්ම කරන්නේ කුස පුරවා ගන්නටය. මිනිසුන් පමණක් නොව සියළු සතුන්ට ද පොදු ධර්මතාවයකි. වේලක් දෙකක් කුසගිනි දරාගත හැකිය. අනතුරුව කොතැනකින් හෝ මොනවා හෝ සොයාගන්නට පෙළැඹෙති. එය ස්වභාවිකය. සමාජ විනය බිදවැටීම, ප‍්‍රචණ්ඩත්වය සහ සන්නද්ධ අරගල තුළ දරිද්‍රතාවය යනු ප‍්‍රබල සාධකයකි. අද මෙරට පවතින සමාජ ව්‍යුහය අනුව ආදායමට අනුව ප‍්‍රමාණවත්ව ආහාර සපයාගැනීමට නොහැකිවීම දරිද්‍රතාවයෙන් පෙළෙන ජන කොටස් මුහුණ දී ඇති එක ප‍්‍රශ්නයකි. 

කුසගින්න ගැන ආගමික නායකයෝ විවිධ අවස්ථාවල දේශණා කර ඇත. සීවලී මහ රහතන්වහන්සේ කරන ලද කුසලයක් හේතුකරගෙන සෑම අවස්ථාවකම ආහාර ලැබුණ බව ධර්මයෙහි කියැවේ. දහම් දෙසන්නට කලින් ශාවකයාගේ ආහාර ගැන බුදු රජාණන් වහන්සේ අවධානය යොමු කර ඇත. අධික ආහාර ගෙන නොසන්සුන්ව සිටි කොසොල් රජු දැක ආහාර පිඩ බැගින් අඩු කර පහසුව ඇති කරගැනීමට උපදෙස් දී තිබේ. තමන්ගේ ගවයෙකු සොයා නොයෙක් තැන ඇවිදිමින් අවසානයේ දී අහම්බෙන් බුදුන් වැඩ සිටි ස්ථානයට පැමිණි ගොවියෙකුට පළමුවෙන් ආහාර සපයන ලද බව බෞද්ධ සාහිත්‍ය දක්වන තවත් කාරණයකි.

අරමුණ කරා යන ගමන තුළ ජනතාවගේ කුස ගින්න ගැන අවධානය යොමු කිරීම සුදුසුය. ශ‍්‍රී ලංකාව තීරණාත්මක මංසන්ධියකය. මැදි ආදායම් රටක මට්ටමක පසුවන නමුත් සෑහෙන පිරිසක් දුෂ්කරතාවයක බව නොරහසකි. පුරුදු ආදායම් මාර්ග ඇවිරී තිබේ. සමහර පිරිසක ගේ රැකී රක්ෂා අහිමි වී ඇත. එදිනෙදා වියදම දෙගුණ තෙගුණ වී ඇති අතර අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ගණන් ඉහළ ගොස් ඇත. ආහාර ද්‍රව්‍ය ගණනාවක් ආනයනය පාලනය කර තිබේ. හිගය හා සාමාන්‍ය පාරිභෝගිකයන්ට දරාගත නොහැකි පරිදි මිල වැඩිවීම එහි ප‍්‍රතිඵලයකි. වගකිව  යුතු රජයක් වශයෙන් මෙම අවස්ථාවේ දී, දුෂ්කරතා ගැන සැලකිල්ල යොමු කළ යුතුය. සහල් මිල වැඩිවන විට, පොල් මිල දරාගත නොහැකි පසුබිම තුළ සහ පරිප්පු මිල ගණන් ඉහළ ගොස් ඇති අවස්ථාවක එදිනෙදා ජීවන වියදම සැලකිය යුතු ප‍්‍රශ්නයකි.  කිරි පිටි හා ගෑස් මිල ගණන් වැඩිවන බව කියැවෙන අවස්ථාවක අස්වැසිල්ල තුරන් වෙයි. ජලය හෝ විදුලිය වෙනුවෙන් බිල්පත් පවා ගෙවා ගත නොහැකි තැනට සමහර දෙනෙකු පත්ව සිටී. ප‍්‍රශ්න ඉදිරියේ ජනී ජනයා නොසන්සුන්වීම වැලැක්විය නොහැකිය. ආර්ථික දුෂ්කරතා සහිත තෝරා ගත් පිරිසකට සහන සැපයීමට රජය වගබලාගෙන ඇති බව පිලිගත යුතුය. එහෙත් සහන ලැබිය යුතු පිරිස කොපමණ ද සහ කවර ජන කොටසක් ද යන්න නැවතත් සොයා බැලීම මෙම අවස්ථාවේ දී ඉතා වැදගත්ය.

නොසන්සුන් සිත් ඇවිලවීම පහසුය. විරුද්ධ පක්ෂ දේශපාලනඥයන් සහ නොයෙක් මතධාරීහු විවිධ අදහස් විසුරවමින් සිටී. සමාජ මාධ්‍ය ඒවා තවදුරටත් අවුලවන තැන්ය. අනෙක් පාර්ශවයන් ගෙන් එල්ලවන ප‍්‍රහාර දෙස බලන්නට කලින් තමන් නිසි අවස්ථාවේ දී ගත යුතු පියවර ගැන අවධානය යොමු කිරීම සුදුසුය. ආහාර වෙනුවෙන් අරගලයක සිටින ජන කොටසකට වසංගතය දුරු කර පසුව ආයෝජන කැදවා ආර්ථිකය වේගයෙන් සංවර්ධනය කරන බව දැක්වීම නිරර්ථකය. ත‍්‍රස්තවාදී ගැටුම් තිබුණ කාලයේ දී ද, ජනතාව ට මෙම පණිවුඩය හැර අනෙකක් ලැබුණේ නැත. යුද්ධය අවසන් කර ආදායම වැඩි කරන බව එවකට තිබුණ ආණ්ඩු  ප‍්‍රකාශ කළ නමුත් එය සාර්ථක උත්තරයක් නොවිණි. ‘‘ආණ්ඩුව බණ කියනවා. අපිට ජීවත්වෙන්න විදියක්  නැහැ. ’’ යනුවෙන් සමහර පිරිසක් මැසිවිලි නගන ලද බව අමතක කළ යුතු නැත.

ආදායම දුර්වල අතර වියදම අධික පසුබිමක ශ‍්‍රී ලංකාව පවතින බව ප‍්‍රකාශ වෙමින් තිබේ. මෙහි දී කොවිඞ් වසංගත තත්ත්වය දරුණු අවහිරයකි. දියුණු රටවල් සැහෙන ධනයක් ජනතාව වෙනුවෙන් වියදම් කර ඇත. ශ‍්‍රී ලංකාව එපමණ ආර්ථිකයක නැත. එන්නත්කරණය හා අලූත් ආයෝජන තත්ත්වය වෙනස් කරමින් සිටී. වෙනස්වන ලෝකය තුළ අපනයන අවස්ථා සහ ලෝක තරගකාරීත්ව අවස්ථා අතර තැනක් සොයා ගැනීම රටට වැදගත්ය. නිසි ප‍්‍රතිපත්ති අනුව අවස්ථාවෝචිතව තීරණ ගෙන, ප‍්‍රතිසංස්කරණ කිරීම ආණ්ඩුවේ වගකීමකි. රට බෙදන, රට බේරා ගන්නා ඝෝෂා නිරර්ථකය. ජන සමාජය වෙනුවෙන් පෙනී සිටින, නියම නායකත්වයක් ජනතාවගේ අපේක්ෂාවය. නිසි මග පැහැදිලිව පෙනෙන නමුත් සුළු සිද්ධි පදනම් කරගෙන ජන මතය වෙනස් වූ අතීතයෙන් පාඩම් ඉගෙනගත යුතුය. සුළු පිරිසක ගේ කලකිරීම, තීරණාත්ම අවස්ථාවක දී පීඩනයකි. එය අවධානයට ගැනීම සුදුසුය. 

ඕනෑ එකටත් එපා එකටත් කට දාන්නන් කරන වින්නැහිය

ප්‍රතිචාරයක් ලබාදෙන්න

2021/03/10 – ලංකාදීප

සන්සුන්ව තිබිය යුතු රටක් එකම කෝලාහලයකි. ජනතාව අපේක්ෂා කරන්නේ සැනසිල්ලේ ජීවත්විය හැකි පසුබිමකි. නමුත් හැම තැනෙකම නොසන්සුන්ය. නිතර ඇවිලෙයි. අවශ්‍ය දෙයකට පමණක් නොව අනවශ්‍ය දෙයකට පවා විශාල වාද විවාද පැන නැගේ. ඒවායෙන් ඇති කරන ඝෝෂාව ජන ජීවිතයට බලවත් පීඩනයක් එල්ලකර තිබේ. අනෙක් තර්කයක් පරදවා තමන් ගේ මතය පමණක් තහවුරු කරන්නට දරන සමහර ප‍්‍රයත්නක් අතිශය විකාර සහගතය. 

මෑත කාලය තුළ සිද්ධි හත අටක් පමණක් මතකයට ගන්න. කොවිඞ් වයිරසය පාලනය කළත් වැරදිය. නොකළත් ප‍්‍රශ්නයකි. දේශීය වශයෙන් නිපදවන ලද බෙහෙතක් ගැන දැවැන්ත ආන්දෝලනයක් හටගත්තේය. කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සම්බන්ධ සිද්ධිය තවත් උදාහරණයකි. එහි ගිණි නිවෙනවිට අධිවේගී මාර්ගයෙහි ඇති දුර්ලභ ශාඛයක් ගැන ඇවිලිණි. කොවිඞ් වැළ`දී ජීවිතක්ෂයට පත්වන ඉස්ලාම් ජාතිකයන්ගේ සිරුරු සම්බන්ධ ප‍්‍රශ්නයක් ගැන මාස ගණනක වාදයක් තිබේ. පාස්කු ඉරිදා කොමිෂන් වාර්තාව තවත් එකකි. ජිනීවා හි මානව හිමිකම් සභාව අනෙක් වාදයකට හේතු වී තිබේ. ජනාධිපතිවරයා ගමකට ගොස් ජනතාව හමුවීම ද අපහාසයකට, උපහාසයට පමණක් නොව විවේචනයකට ද ලක් කර ඇත. දේශපාලනඥයන්, විද්ව වෘත්තීයෙවිදීන්, වෘත්තීය සමිති නියෝජිතයන්, සංඝයා වහන්සේලා ඇතුළු පුජ්‍ය පුජක උතුමන්, සමාජ මාධ්‍ය පරිශීලකයන් පමණක් නොව අදහසක් පළ නොකළහොත් රට බේරාගැනීමට නොලැබෙන බව සිතන සමහර පිරිස් ද අප ස`දහන් කරන වාද විවාද වල බරපතල කොටස්කරුවෝය. 

සිද්ධියකට පැටලෙන ඇතැමෙකුට එහි හරය හෝ අභ්‍යන්තරය ගැන කිසිම වැටහීමක් නැත. කැමරාවක් එල්ල කළහොත් වචන විසිකරන්නට සූදානම් විශාල පිරිසක් සිටී.  අනවශ්‍ය සහ කිසිම සම්බන්ධයක් නැති දෙයකට පැටැලී ඇති බව නොදන්නා අතරවාරයේ පවා නොනැවතී සටන් කරමින් සිටිති. මෙම සියළු දුක්ඛ දෝමනස්ස ආලින්දයට ගෙනැවිත් අතහරින ජන මාධ්‍ය භාවිතාව මෙම ප‍්‍රශ්නය උත්සන්න කර තිබේ.  සමාජ වගකීම් හා යුතුකම් අමතක කර ඇති අතර සමාජ මාධ්‍ය එහි ලා වැඩිම හානියක් සිදුකරනන බව පෙනේ.

සට්ඨිකූඨ පේත වස්තුව සම්බන්ධ කරුණක් එක්තරා අවස්ථාවක බුදු රජාණන් වහන්සේගේ දේශනා කර ඇති බව බෞද්ධ සාහිත්‍යයෙහි දැක්වෙයි. බරුණැස් නුවර සිදුවූ බව දක්වන සිද්ධියකි. රජ වාසල පුරෝහිතයෙකු දන්නා නොදන්නා හැම දෙයකටම කට දමන අතර දීර්ඝ කතා පවත්වයි. රජුටත් අනෙක් ඇමැතිවරුන්ටත් හිරිහැරයකි. කරගත හැකි දෙයක් නැත. එක්තරා අවස්ථාවක පිලා නමැති ආබාධිත තරුණයෙකු රජුට හමු වී තිබේ. ඔහු ඉලක්කයට ගල් කැට විදීමෙහි දක්ෂයෙකි. රජු හෙතෙම රජවාසලට කැ`දවා එළු බෙටි නැලියක් දී ඉහළ මාලයක ර`දවා ඇත. මුලින් කී පුරෝහිතයා දිග කතාවකට කට හරිනවිට එක බැගින් එළු බෙටි විදින්නැයි රජතුමා උපදෙස් දී ඇත. කට අරින විට, කටට වැටුණ දේ ගිල දැමූ පරෝහිතයා නැවත කතාව අරඹයි. ආබාධිත පිලා, එළු බෙටි නැලිය විද අවසන් කළ පසු රජු සිය පුරෝහිතයා අමතා සිද්ධිය හෙළි කරන ලද බව දැක්වෙයි.  ඕනෑම අවස්ථාවක කට අරින සෑහෙන පිරිසක් අප අතර සිටී. සිද්ධිවලට මැදිහත්වන පිරිස අනව සැලකීමේ දී විදින්නට තරම් එළු බෙටි ප‍්‍රමාණවත් නොවන තරමට කණ්ඩායම විශාලය. ආබාධිත නමුත් පිලා වැනි තරුණයෝ දස දහස් ගණනින් උවමනා කර තිබේ.

රටක් යනු විවිධ ක්ෂේත‍්‍ර ගණනාවක එකතුවකි. ඒවායේ එකිනෙකට වෙනස් ක‍්‍රියාකාරකම් සිදුවෙයි. අපට නොගැලපෙන කරුණක් අනෙක් පාර්ශවයක ගේ ජීවිතයේ වැදගත්ම දෙයක් විය හැකිය. ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ උසස් ගුණාංග වලට ගරු කරන්නට අවශ්‍යය. මගේ කැමැත්තට අන් සියළු දෙනා යටත්විය යුතු නැත. තමන් විශ්වාස කරන තරම පමණක් යුක්තිය හෝ සාධාරණත්වය නොවේ. අනෙක් මතයකටත් අවස්ථාවක් තිබිය යුතුය. බලවත් ඝෝෂාවක් ඇති කර බලහත්කාරයෙන් අනෙක් පාර්ශවයේ අදහස් යටපත් කිරීම කිසිසේත් සුදුසු නැත.

දියුණු රටක්, දියුණු සමාජයක් මනින මිණුම් ද`ඩු තිබේ. දේශපාලනඥයෙතු, විද්වතෙකු, වෘත්තීයවේදියෙකු, වෘත්තීය සමිති නායකයෙකු වෙතින් බලාපොරොත්තුවන සංයමයක් ඇත. නායකත්ව ගුණාංග තිබේ. සංඝරත්නය ඇතුළු සියළු ආගමික පුජ්‍ය පූජක පිරිස් වෙතින් සමාජය අපේක්ෂා කරන ආදර්ශය ඉතා ගැඹුරුය. අදහස් කොලාහලයකින් සත්‍ය අනාවරණය වෙන්නේ නැත. අප සියළු දෙනා පවතින ඝෝෂාකාරී පරිසරය තුළ ඉවසිලිවන්තව අලූතින් හිතන්නට අවශ්‍යය.

පරිපාලනය නගරයෙන් ගමට

ප්‍රතිචාරයක් ලබාදෙන්න

2021/03/03 – ලංකාදීප

කොවිඞ් වසංගත තර්ජනය ලෝකයේ නොයෙක් වෙනස්කම් ඇති කළේය. ජන ජීවිතය දුෂ්කර තැනකට පත් කරන ලද අතර බොහෝ රටවල් හා නගර තාවකාලිකව වසා දැමීය. සමාජ පැවැත්ම පාලනය කරන තැනට පත් විය. එන්නතක් සොයා ගැනීම යම් අස්වැසිල්ලකි. එන්නත මගින් ප‍්‍රතිශක්තිකරණය ඇති කෙරේ. ප‍්‍රතිකාර සොයා ගැනීමට එහා ගිය විසදුමක් ගැන අවධානය යොමු කරන්නට ද ඇතැම් රටවල් උත්සාහ කරමින් සිටී. රාජකාරි සදහා නගරයට කැදවනු වෙනුවට, ජනතාව වෙත සේවා අංශ සහ පරිපාලනය යොමු කරන පියවර ආරම්භ කර තිබේ. රජයේ ප‍්‍රධාන කාර්යාල සහ සමහර ආයතන වල කොටස් ප‍්‍රධාන නගරවලින් එපිට ස්ථාපිත කිරීම එක අදහසකි.

ලන්ඩන් නගරය කේන්ද්‍ර කරගෙන තිබුණ ඇතැම් දෙපාර්තමේන්තු පිට පලාත්වල ස්ථාපිත කරන තීරණයක් ගෙන ඇති බව බි‍්‍රතාන්‍යයෙන් වාර්තා වෙයි. සමහර අමාත්‍යංශ හා විශේෂයෙන් මහා භාණ්ඩාගාරයේ කොටසක් උතුරු ප‍්‍රදේශයට ගෙන යන ලද බව දැක්වෙයි. ඉදිරි වසර දහය ඇතුළත රාජ්‍ය සේවයේ නිරත පිරිසගෙන් සියයට විසි පහක් පිට පලාත්වලට යොමු වන පරිදි තීන්දු ගැනෙනු ඇත. ඇමරිකාව ද මේ හා සමාන ප‍්‍රතිපත්තියක් අනුගමනය කරන්නට තීරණයකය. රජයට අයත් අමාත්‍යංශ අගනුවරින් පිටස්තරව ස්ථාපිත කරන්නට පේ‍්‍රමදාස ජනාධිපති තුමාගේ ධුර කාලයේ දී උත්සාහ කළේය. සාර්ථක වූයේ නැත. ජනයා ඒකරාශීවීම වලකන එවැනි තීරණ අද පවතින පසුබිම සලකා බලනවිට ඉතාමත් ප‍්‍රායෝගිකය.

ජනතාව කොළඹට පැමිණීම සීමා කර ජන ජීවිතය ආරක්ෂා කරන පියවරක් වශයෙන් රජයේ ප‍්‍රධාන අංශ බැහැර ප‍්‍රදේශවල ව්‍යාප්ත කළ හැකිය. ඡන්දයෙන් පත්වන මැති ඇමැතිවරු පදිංචියට තෝරාගන්නේ අගනුවරය. අමාත්‍යංශ හා දෙපාර්තමේන්තු තමන් ආසන්නයේ ස්ථාපිත කරගනී. දුර බැහැර ජනී ජනයා රාජකාරි අවශ්‍යතා වෙනුවෙන් එහි ළගාවිය යුතුය. රජයේ හා අර්ධ රාජ්‍ය සේවයේ නිතර ලක්ෂ පහලොවකට අධික කාර්ය මණ්ඩලයක් මෙකී ආයතන වල රාජකාරි සදහා දිනපතා පැමිණෙයි. නිසි අධ්‍යයනයක් කළහොත් ජනගහනයට සාපේක්ෂව රාජකාරි සදහා විශාල සේවක කණ්ඩායමක් දිනපතා එහා මෙහා යන වාර්තාගත රටක් වශයෙන් නම් කළ හැකිය. විශාල සම්පත් නාස්තියකි. නිලධාරීන් සහ ජනතාව නගරයට කැදවන විට තදබදය ගැන පුදුම විය යුතු නැත. සමාජ දුරස්ථභාවය අද අත්‍යවශ්‍ය කාරණයකි. බස්රියේ හෝ දුම්රියේ නිසි සෞඛ්‍ය පිලිවෙත් අනුගමනය කරන බවක් නොපෙනේ. විශාල වියදම පමණක් නොව ජීවිත අවදානම ද තිබිය දී නගරයට එන පිරිස පාලනය කිරීම අරමුණු කරගෙන නිශ්චිත වෙනස්කම් යෝජනා කළ යුතුය.

ශ‍්‍රී ලංකාවේ යටිතල පහසුකම් දියුණුය. විශේෂයෙන් මාර්ග පද්ධතියට අධිවේගී මාර්ග එකතු වී තිබේ. තාක්ෂණය ආයතන අතර සම්බන්ධීකරණය පහසු කර තිබේ. අනෙක කොළඹ හා තදාසන්න ප‍්‍රදේශවල ඉඩම්  මිල විශාල වශයෙන් ඉහළය. ඇතැම් අමාත්‍යංශ, රජයේ කාර්යාල සහ දෙපාර්තමේන්තු අධික කුලී ගෙවන ගොඩනැගිලි වල පවත්වාගෙන යයි. ඒවායෙන් ඉවත්වීම ද වාසියකි. ඇමැතිවරයා හෝ නිලධාරීයා පෙනෙන මානයෙක සිටිය යුතු අදහස යල් පැන ගිය එකකි. රජයට අයත් සමහර අංශ බස්නාහිර පලාතෙන් එපිට ස්ථාපිත කළ හැකිය. යාපනය, ත‍්‍රිකුණාමලය, ගාල්ල, මහනුවර වැනි නගර ගැන කල්පනා නොකරන්නේ ඇයි? ධීවර අමාත්‍යංශය කොළඹ පවත්වාගෙන යෑම අවශ්‍ය කාරණයක් නොවේ. ධීවරයන් ගේ ජීවිකාව හා ඇමැතිවරයා නියෝජනය කරන මැතිවරණ බල ප‍්‍රදේශය සලකනවිට කාර්යාලය පමණක් කොළඹ පිහිටුවන්නේ ඇයි? කෘෂිකර්ම, ජල සම්පත්, සුළු අපනයන බෝග හෝ ක‍්‍රීඩා ඇතුළු අමාත්‍යංශ අගනුවරින් බැහැර තැනක ස්ථාපිත කරන්නට නොහැකියාවක් නැත. බුද්ධ ශාසන අමාත්‍යංශය පවා මහනුවර හෝ අනුරාධපුරයේ ස්ථාපිත නොකරන්නේ මන්ද? එවැනි තීරණ බලය බෙදන සංකල්පයට ද පිටිවහලකි. මධ්‍යගත ආයතනික ව්‍යුහය අනුචිත හා අකාර්යක්ෂම එකක් බව ඔප්පු වෙමින් තිබේ.

පළමු පියවර වශයෙන් දස අවුරුදු සැලැස්මක් සකස් කිරීම උචිතය. බස්නාහිර පලාතෙන් ඉවත් කර වෙනත් තැනෙක ස්ථාපිත කළ හැකි රජයට අයත් ආයතන ලැයිස්තු ගත කළ යුතුය. කුලී පදනමකින් ලබාගෙන විශාල මුදල් ගෙවන ගොඩනැගිලි ආර්ථික කටයුතු වලට පවරා රජයේ වියදම පාලනය කරගත හැකිය. එය ජනතාවගෙන් අය කරන බදු අඩු කරන වක‍්‍ර පියවරකි. කොවිඞ් කාල පරිච්ජේදයේ දී ජනතාවගේ ආරක්ෂාව සහ ආර්ථික පුනර්ජීවණයක් සෙදහා ගත හැකි සෘජු තින්දුවකි.