අදුරේ දිගටම සිටිමුද? ආලෝකය සොයා වේගයෙන් යමුද?

ප්‍රතිචාරයක් ලබාදෙන්න

2021/12/29 – ලංකාදීප

ඉන්ධන මිල වැඩි කිරීම ගැන විශාල විවේචනයක් තිබේ. ලෝක වෙළද පොලේ බොරතෙල් මිල හා රට තුළ තෙල් අලෙවියේ දී ලබන අලාභ සලකා බලන විට ආණ්ඩුවට වෙනත් විකල්පයක් නැත. වාර්තා දක්වන පරිදි මෙරටට ගෙන්වන ඉන්ධන වලින් සියයට හැටක් විදුලිය බලය උත්පාදනයටය. දැවිතෙල් සහ ගල් අගුරු වලින් විදුලිය නිපදවීම අත්හරිමින් පවතින කාලයකි. පැරණි ගල් අගුරු යුගය ආරක්ෂා කරගැනීම සදහා අපි සියළුම දෙනා මහත් වෑයමකින් සටන් කරමින් සිටින බව පෙනේ.

මෑත කාලය තුළ තුන් වතාවක් මුළු රටේ ම විදුලිය විසන්ධි විය. කරුණු සොයාබලන්නට කමිටු පත් කළේය. ඒවායේ වාර්තා වගකිව යුතු අංශවලට බාර දී ඇත. විදුලිය නැති අවස්ථාවක පැය ගණන් අදුරේ සිටින්නට ඇතැම් පලාත්වල ජනී ජනයාට සිදුවී තිබේ. පැයක් දෙකක් අන්ධකාරයේ ගත කිරීම කොපමණ අපහසු ද යන්න පැහැදිලි කළ යුතු නැත. විදුලිය බලය නොලැබීම ඉගෙනුමට ද බාධාවකි. දැන් දරුවෝ ඉගෙන ගන්නේ තාක්ෂණයෙන්ය. විදුලිය නැති අවස්ථාවක අන්තර් ජාලය ද අවහිරවෙයි. මෙහි දී මතක් කර දිය යුතු එක කරුණක් තිබේ. දැනට පවතින විසන්ධිවීම සුළු ප‍්‍රශ්නයකි. රටට අවශ්‍ය විදුලිය ප‍්‍රමාණවත් පරිදි උත්පාදනයට නිසි කි‍්‍රයාමාර්ග අනුගමනය නොකළහොත් ඉදිරි වසර කිහිපය තුළ අන්ධකාරය සාමාන්‍ය දෙයක් විය හැකිය. ඇතිවන ගැටළු ඉතාම සංකීර්ණය.

ජල විදුලිය උත්පාදන හැකියාවේ උපරිම තලයට අප ළගා වී සිටී. රටට අවශ්‍ය විදුලියෙන් සියයට විස්සක් හෝ ජල විදුලි බලාගාරවලින් නිපදවන්නේ නැත. පරිසරය ආරක්ෂා කරන, අඩුම වියදමකින් නිපදවෙන ජල විදුලිය හැරුණු කොට අනෙක් ප‍්‍රභව ගැන සොයන්නට අපට වගකීමක් ඇත. සුළං විදුලිය උත්පාදනය කළ හැකිය. රජය හෝ පුද්ගලික අංශය කටයුතු කළහොත් මෙගාවොට් 5000 ක් පමණ උත්පාදන අවස්ථා ඇති තැන් සොයාගෙන තිබේ. ඒවා වාසිදායකය. දැවි තෙල් හෝ ගල් අගුරු වලින් නිපදවන විදුලිය ඒකකයක මිල ඉහළ යමින් තිබේ. තාක්ෂණය වේගයෙන් වෙනස් වන අතර එයට අනුගත නොවුනහොත් උත්පාදනයේ අකාර්යක්ෂමතාවක් ඇතිවෙයි. විදුලිය බල මණ්ඩලය කරුණු වාර්තා කර ඇති පරිදි වසර 2040 වන විට රටට අවශ්‍ය කර විදුලිය ප‍්‍රමාණයක් තිබේ. එම විදුලිය අවශ්‍යතාව අපට නොවේ. අපගේ දරුවන්ටය. මතු පරම්පරාවටය.

රටක් දියුණුවන විට විදුලිය පරිභෝජනය වැඩිවෙයි. අපගේ අනාගතය සදහා අවශ්‍ය තරමට විදුලිය නිපදවන්න තීරණ ගැනීමට අද අපොහොසත් වුවහොත් එහි විපාක දරුණු විය දැකිය. ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය නරක තැනකය. විනිමය සංචිත හිදී ඇත. ණය ලබා ගැනීමේ අවස්ථා ද, සීමාවෙමින් තිබේ. අලූත් විදුලිය බලාගාරයක් දෙකක් හදාගන්නට කිසිම හැකියාවක් නැත. මෙවැනි තීරණාත්මක අවස්ථාවක හොදම දේ වෙනුවට, ප‍්‍රායෝගිකව කළ හැකි දේ ක‍්‍රියාත්මක කිරීම අප සියළු දෙනාගේ වගකීමකි.

මෑත කාලය තුළ විදුලිය අංශයේ ආයෝජනය සදහා ඉදිරිපත් වූ ඇමරිකාව, චීනය හා ඉන්දියාව යන රටවල ව්‍යාපෘති ගැන මෙරට දේශාපලනඥයන්ට හා වෘත්තීය සමිතිවලට අප‍්‍රමාණ ප‍්‍රශ්න ඇත. ඒවා කලින් ද නොතිබුණා නොවේ. මහවැලිය කඩිනම් කරන විට නැගුණ විවේචන අමතක කළ යුතු නැත. නොරොච්චෝල බලාගාරය සම්බන්ධයෙන් විරෝධතා ඇතිවිය. එය රට පුරා තැනින් තැනට ගෙන ගියේය. ඉහළ කොත්මලේ බලාගාරය ගැන තිබුණ සටන මතකද? බොහෝ ප‍්‍රමාදව, විශාල අලාභ ද සහිතව මෙම යෝජනා අවසානයේ දී ක‍්‍රියාත්මක කර ඇත. ඒවායේ අවාසි අදටත් අපට දැකගත හැකිය.

ආණ්ඩුවෙන් හෝ පුද්ගලික අංශයෙන් හෝ වෙනත් රටකින් වේවා විදුලිය නිපදවන යෝජනා ක‍්‍රම වහාම ආරම්භ කළ යුතුය. රටට ගැලපෙන විද්‍යාත්මක නියාමන ක‍්‍රමයක් හැර අනෙක් කිසිම දේශපාලන ප‍්‍රලාපයක් වැදගත් නැත. විදුලිය හිග වුවහොත් අවුල් වන ජන ජීවිතය, කර්මාන්ත හා ව්‍යාපාර වලට සිදුවන අවහිරතා ගැන කල්පනා කරන්නට අද අත්විදින සුළු බිද වැටීමක් හොදටම ප‍්‍රමාණවත්ය. සුළු පිරිසක් මහත් ඝෝෂාවක් ඇති කරමින් සිටී. විදුලිය පරිභෝජනය කරන අප සියළු දෙනා මධ්‍යස්ථව ප‍්‍රශ්න දෙස බලන්නට අවශ්‍යය. ගින්දර නරක නමුත් එය අවශ්‍යය. පිහිය තියුණුය. ගින්දර ද මුවහත ද ප‍්‍රයෝජනවත්ව හසුරුවන තරම ගැන අපට අවබෝධයක් තිබේ. විදුලිය අංශයේ ආයෝජන ගැන ද නිසි පිලිවෙල, නියාමනය හැර එයට බියවීම සමාජයක් වශයෙන් සුදුසු නැති බව සදහන් කළ යුතුය.

රක්ෂණය හා දුරකතන සේවාව ගැන ද මෙවැනි විරෝධතා තිබුණි. දුරකථන සම්බන්ධතාවයක් ලබාගැනීමට දේශපාලන මැදිහත්වීමක් අවශ්‍යව තිබුණ කාලය ගැන අද අපට මතක නැත. දුරකථන සැපයුම, ප‍්‍රතිසංස්කරණයක් නොවී, රජයට පමණක් අයිති ව්‍යවසායක්ව තිබුණි නම් අද අප මුහුණ දෙන ඉරණම කුමක්ද? රක්ෂණයේ තරගකාරීත්වයක් නොතිබුණ කාලයේ වාහන අනතුරක දී පත් වූ අපහසුතා කිසිසේත් අමතක කළ යුතු නැත. විදුලිය බලය සම්බන්ධයෙන් ද රටට අවශ්‍ය එවැනි ලිහිල් ව්‍යුහයකි. එය කරගත හැකිවුවහොත්, එහි වාසිය පාරිභෝගික පොදු ජනතාවටය. දේශපාලනඥයන්ට නොවේ.

ගැලවුම්කාරයෝ අපිම වෙමු කිසිවෙක් එය බාර නොගනිති

ප්‍රතිචාරයක් ලබාදෙන්න

2021/12/22 – ලංකාදීප

උදුවප් මාසයේ සීතල දැනෙන-නොදැනෙන කාලවකවානුවකි. රට තුළ අසාමාන්‍ය උණුසුමක් පවතී. ස්වභාවික පරිසරයේ සීතල පරාජය කරන තරමට ජන සමාජය රත් වී ඇත. අවුරුද්දක් අවසානයේ සිතට ඇතිවන පහන් සිතිවිලි බොහෝ දෙනෙකුට නැත. ආපසු හැරී බලනවිට පසුකරන ලද දුෂ්කර, භයානක අවධිය මතකයට නැගේ.

අලූත් යුගයක් සමග අලූත් බලාපොරොත්තු ජන සමාජයට තිබුණි. සාක්ෂාත් කරගත හැකි වූ තරම ඉතාම සීමිතය. එක දෙයක් සදහන් කළ යුතුව තිබේ. ආර්ථික හා සමාජ වශයෙන් බලවත් අර්බුදකාරී වාතාවරණයක් මැද පවා කොවිඞ් එන්නත්කරණ වැඩ සටහන සාර්ථකව ක‍්‍රියාවට නංවා ඇත. සමහර රටවල් සමග සසදනවිට ශ‍්‍රී ලංකාව සාර්ථකය. ඉදිරියෙන් සිටී. තුන්වැනි මාත‍්‍රාවක් නිකුත් කරන තරමට සංවිධානාත්මකය. ජන ජීවිත ආරක්ෂා කරගන්නට උපරිම වශයෙන් කටයුතු කර ඇති බව පිලිගත යුතුය.

ජීවනෝපාය සම්බන්ධ ප‍්‍රශ්න පැන නැගී ඇත. ජීවන වියදම දරාගත නොහැකි මට්ටමකය. ආදායම සීමිතය. වැඩ කරන ජනතාවගේ අතට ලැබෙන ආදායම සීමා වී තිබේ. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් මිශ‍්‍ර අදහසකි. අන්තර් ජාලයෙන් ඉගෙනුම ලබන තරමට දියුණු වූ නමුත් එය සම්පූර්ණ අවස්ථාවක් වූයේ නැත. පවතින ව්‍යුහය ගැන සාකච්ඡුා කර නැවතත් නැගී සිටින ප‍්‍රයත්නයක් අපට අවශ්‍යය.

නත්තල සමග ජෝෂප් හා මරියා යන දෙපොල සිහිපත් කෙරේ. ඔවුහු බෙත්ලෙහෙමට කැදවන්නේ සංගණනයක් සදහා බව ඉතිහාසය දක්වයි. නවාතැන් සම්පූර්ණයෙන් පිරී ඉතිරී යන අතර අවසානයේ දී මෙම දෙපොල නතරවෙන්නේ ගව මඩුවකය. ගැලවුම්කාරයාණෝ උපත ලබන්නේ නත්තල් දිනයේ දී දිළිදු ගවලෙනකය. ජේසුස් වහන්සේ ගේ උපත සදහා දෙවියන් වහන්සේ තොරාගත්තේ බෙත්ලෙහෙම බව කිතුනුවෝ විශ්වාස කරති. එහෙත් එකල පාලකයෝ සියළු වැසියන් කැදවන්නේ සංගණනයකටය. සංගණනයට හේතුව නිසි පරිදි බදු අය කරගැනීමය.

යේසුස් වහන්සේ දුප්පත් ජනී ජනයා වෙනුවෙන් පෙනී සිටියහ. සත්‍ය පෙන්වා දුන්හ.  එම දර්ශනය ප‍්‍රතික්ෂේප කරන ලද පිරිස් ඔහු කුරුසයේ තබා ඇන ගැසූහ. එහෙත් ශාස්තෘන්ගේ දර්ශනය විනාශ නොවේ. කිතුණු පමණක් නොව, සියළුම ආගම් වලින් මනුෂ්‍යයන්ට යතාර්ථය පෙන්වා දෙන්නට උත්සාහ කර ඇත. ආගම තුළින් සමාජ විනය, එකගතාවය හා යුක්තිය අපේක්ෂා කෙරේ.

අද වාතාවරණය අනුව ජනතාව ඉතා තීරණාත්මක කාල පරිච්ඡේදයක් පසු කරමින් සිටී. පැවැත්මට තර්ජන එල්ල වී ඇත. විද්‍යාව හා තාක්ෂණය දියුණුය. ජනතාව බුද්ධිමත්ය. මනස නිරවුල්ව තබාගත යුතුය. මෙබදු වකවානුවක අලූත් ගැලවුම්කාරයාණෝ පහලවෙන්නේ නැත. තාරකාවෙන් මග අසාගෙන තෑගි රැගෙන පැමිණි රජවරුන් තිදෙනෙකු ගැන කිතුණු කැරොල් කණ්ඩායම් කියයි. ගැලවුම්කාර භූමිකාව පමණක් නොව තෑගි රැගෙන මෙරටට එන කිසිවෙකු සිටින බවක් ද පෙනෙන්නට නැත.

අප සියළු දෙනා අප ගේ අනාගතයේ උත්සාහවන්තයෝය. අද කැපකිරීමක් කළහොත් අපගේ දරුවන් සැපයෙන් සිටිනු ඇත.

පරිවර්තනයක් සදහා සූදානම් විය යුතුය. කාර්මික, කෘෂිකාර්මික හා සේවා අංශවලින් නැවතත් නැගී සිටීම හැර අනෙක් විකල්පයක් නැත. ලෝකයේ නොයෙක් රටවල් දුෂ්කර කාල පරිච්ෙඡ්දවලට මුහුණ පා සිටි බව ඉතිහාසය කියයි. බලවත් රටවලින් ආධාර හා අනුබල ලැබුණි. ජාත්‍යන්තර සංවිධාන මගපෙන්වා ඇත. බොහෝ රටවල් අන්ධකාර යුගය පසුකර දීප්තිමත් අවස්ථාවකට පැමිණ ඇත. පවතින වසංගත තත්ත්වය අනෙක් රටක ප‍්‍රශ්නවලට උපකාර කළ නොහැකි තරමට අප සියළු දෙනා හුදෙකලා කර තිබේ. අප අපගේ ගමන තෝරා ගත යුතුය. වාද විවාද, තර්ක හෝ දෝෂාරෝපණ වලින් දුප්පත් ජනතාවගේ වේදනාවට උත්තරයක් නොවේ. සැපයක් ඇති කරන්නේ නැත. සියළු නායකයෝ එක්සත්ව එක පණිවුඩයක් නිකුත් කළ යුතු අවස්ථාවකි. ධෛර්යයයෙන් නැගී සිටියහොත් නිදහස් නිවහල් රටක් වශයෙන් ජාත්‍යන්තරය සමග එකතු විය හැකි බව සදහන් කළ යුතුව තිබේ.

නිසි වෙලාවට නිසි තීරණ නොගැනීමේ විපාකය

ප්‍රතිචාරයක් ලබාදෙන්න

2021.12.15 – ලංකාදීප

ආර්ථික ක‍්‍රමය තුළ වෙනස්කම් තිබිය හැකිය. ක‍්‍රමය භාවිතා කරන ආකාරය ගැන අත්හදාබැලීම් වලට ඉඩ තිබේ. මෙතෙක් සොයා ගෙන ඇති ආර්ථිකයේ මුලධර්ම වෙනස් වෙන්නේ නැත. ඉල්ලූම හා සැපයුම යන න්‍යාය වෙනුවට වෙනත් එකක් හදුන්වාදෙන්නට මෙතෙක් සමත්ව නැත. ආර්ථික විද්‍යාවේ මුලික සංකල්ප ලෝකයේ  ඕනෑම වෙළද පොලකට පොදුය. එය අප සියළු දෙනාට පිලිගන්නට සිදුවී ඇති  කරුණකි. අලූත් පිලිවෙලක් සොයාගතහොත් අනුගමනය කරන්නට ලෝක ප‍්‍රජාව සූදානම්ය.

ජීවත්වීම සදහා උවමනා කරන මුලික අවශ්‍යතා ආර්ථිකයෙහි කොටසකි. ඒවා සපයාගත යුතුය. නිෂ්පාදනය කරගත යුතුය. නිපදවන ආකාර ඇත. නිපදවන දේ සදහා ඉල්ලූමක් තිබේ. අවශ්‍ය ප‍්‍රමාණයට නිපදවන්නේ නැති අවස්ථාවක හිගයක් ඇති වෙයි. ඉල්ලූම ඉහළ යන අතර එය වෙළද පොල අසමතුලිතතාවයක් ඇතිකෙරේ. අධික සැපයුම ද වෙළද පොල අසමතුලිත කරයි. සැපයුම ඉහළ ගිය පමණින් අධි පරිභෝජනයක් සිදුනොවේ. දෙපැත්ත සමබර කිරීම පුලූල් වගකීමකි.

ශ‍්‍රී ලංකාව මුහුණ දී ඇති ආර්ථික ගැටළු ගැන මෙම මුලික ද්‍රෘෂ්ඨිවාදය තුළ තිබේ. ඉල්ලූම හෝ සැපයුම තද පාලනයකට යා හැකිය. එය සාමාන්‍යකරණය නොවේ. විකෘතියකි. වෙළද පොල විකෘති වන විට ගෙවන වන්දියක් ඇත. වන්දි ගෙවන්නේ පොදු ජනතාවය. ක‍්‍රමය වෙනස් කරන්නට වෑයම් කිරීම තුළ ඇති වන විකෘතියෙන් ජන සමාජය පීඩාවකට පත්වන බව ඇත්ත කාරණාවකි. දුගී දුප්පත් සමාජයට එයින් අත්වන හානිය ඉතාම බරපතලය. හිස ඔසවන්නට වෑයම් කරන ජනී ජනයා නැවත පහල තලයට තල්ලූකිරිම සුදුසු තත්ත්වයක් නොවේ. සිද්ධාන්තවලට එරෙහිව අනුගමනය කරන පියවර හේතුවෙන් අසරණ වන ජන සමාජය මුහුණ දෙන ගැටළු ගැන වගකිවයුතු අංශ ඉතා  ඕනෑකමකින් සොයා බැලීම යුතුය.

ශ‍්‍රී ලංකාවේ ආර්ථික ක‍්‍රමය ගැන, අද වන විට යම් අතෘප්තියක් පවතී. එයට බලපා ඇති කරුණු ගණනාවකි. අර්බුදකාරී අවස්ථා හටගන්නා අවස්ථා තිබේ. ඒවා පාලනයට ප‍්‍රතිපත්ති තීරණ ගැනීම වරදක් නැත. ඇතැම් තීරණ කැළඹිලි ඇතිකරනු ඇත. කැළඹීමකට පසු මතු කරගත යුතු යහපත් වාතාවරණයකි. කැළඹිලි අවසානයේ දී අලූත්, සාධාරණ ව්‍යුහයක් හැදෙන බව සමාජයට ඒත්තු ගන්වන්වන්නට අවශ්‍යය. ආර්ථික විද්‍යාවේ මුලික මුලධර්ම වෙනස් කරන සාමාන්‍යයෙන් සිදු නොවෙන වෙනස්කම්වලින් රටකට ලැබෙනන වාසියක් නැත.

කොවිඞ් වසංගත තත්ත්වය සමග රටට මුහුණ පාන්නට සිදුවූ ප‍්‍රශ්න ගැන අප සියළුම දෙනාට අවබෝධයක් තිබේ. අගහිගකම් මතුවෙන විට ගත හැකි තීරණ ගැන අප නොදන්නවා නොවේ. අතමාරුවක්, ණයක් එහෙමත් නැතිනම් දේපොලක් විකුණා තාවකාලික පිලියමක් සපයා ගැනේ. නැවත සුපුරුදු වාතාවරණය ඇති වූ පසු ණය ගෙවන, විකිණු දේපොල වෙනුවට අලූත් සම්පත් උපයා ගැනීම අපේක්ෂා කෙරේ. අවස්ථාවෝචිතව ගත හැකි නිසි ක‍්‍රියාමාර්ග නොගෙන නිරුත්සාහිකව සිටීම සාධාරණ තත්ත්වයක්ද?

ණය බරින් මිරිකී ඉතාම නරක තැනකට වැටුණ දරු පවුලකට පවා විසදුමක් තිබේ. ආහාර, සෞඛ්‍ය, අධ්‍යාපනය, ප‍්‍රවාහන සහ ඇදුම් පැළදුම් යනාදී අවශ්‍යතා වෙනුවෙන් පවුලේ අය නොනවත්වා මැසිවිලි නගන විට දෙමවුපියෝ නොකරන දෙයක් නැත. අප මුහුණ පා සිටින ඉරණම හැම අතින්ම, එයට සමානය. විසදුමක් අවශ්‍යය. ඉතාම දුෂ්කර පසුබිමක් තුළ ක‍්‍රමය වෙනස් කරන අත්හදාබැලීම් වරදක් නොවේ. ශ‍්‍රී ලංකාව පාලනය කරන ලද ආණ්ඩු ආර්ථිකය ගැන විවිධාකාරයේ අත්හදා  බැලීම් කර ඇත. ඒවායෙන් පාඩම් ඉගෙනගත යුතුය. නැවත නැවතත් කරන එකම අත්හදා බැලීම් අපට ලබා දෙන වාසිය කුමක්ද?

මුලික අවශ්‍යතා සම්පාදනය වෙනුවට තර්ක ගොඩනැගීමෙන් පලක් නැත. යතාර්ථය මුහුණ දිය යුතුය. ක‍්‍රමය වෙනස් කරන නමුත් වෙළද පොල මුලික මුලධර්ම වෙනස් කරන්නට පුලූවන්කමක් නැත. ඉල්ලූම පාලනය කළ හැකි සීමාවක් තිබේ. ජනතාව ඉල්ලන්නේ සෞභාග්‍යයයි. කාලානුරූපව තිරණගත යුතුය. ලෝකයේ අනෙක් සියළුම රටවලට වඩා වෙනස් ක‍්‍රමයක් අපට පමණක් නැත. නිසි අවස්ථාවේ දී හොදම තීරණය නොගැනීමෙන් අහිමි වන දේ ආපසු දිනාගන්නට නැවත වාරයක් ලැබෙන්නේ නැති බව ද මෙහි දී සදහන් කළ යුතුව තිබේ.

අවදානම අමතක කළොත් බරපතල අවදානමක්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

2021/12/08 – ලංකාදීප

‘‘ගිණි පෙනෙල්ලෙන් බැට කෑ මිනිහා  කණාමැදිරියාටත් බය ය’’ . ජන ව්‍යවහාරයේ එන ප‍්‍රකට කියමනකි. ගෑස් සිලින්ඩරයක ප‍්‍රමිතිය ගැන වාද කරන නූතන සමාජය ගිණි පෙනෙල්ල ගැන දන්නේ නැත. කණාමැදිරියා ගැන පවා ගූගල් සෙවුම් යන්ත‍්‍රයෙන් සොයන යුගයකි. ඉතිහාසය අපට පාඩම් උගන්වා තිබේ. උගත් පාඩම් අමතක කළ යුතු නැත. වැරදුණ තැන් නිවැරදි කරගත යුතුය.

පළමු කොවිඞ් රෝගියා වාර්තා වූ ආකාරය මතක තිබිය යුතුය. දෙවැනි සහ තුන්වැනි රැළි වලින් ජන සමාජයට සිදුවූ විපත ගැන තක්සේරුවක් අවශ්‍යය. ආර්ථික පීඩනය ගැන අවධානය යොමු කිරිම වැදගත්ය. දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල්වී ඇති තරම සාකච්ඡා කළ යුතුව තිබේ. දහස් ගණනින් රෝගීන් වාර්තාවන භයානක රැළි කිහිපයකට පසු නැවත, නැවතත් එතැනටම ගමන් කිරීම බලවත් ප‍්‍රශ්නයකි.

කොවිඞ් වයිරසයේ අලූත් ප‍්‍රබේධයක් වාර්තා වී තිබේ. ලෝකයේ එක කෙළවරකින් පළමු රෝගියා වාර්තාවන අතරතුර ශ‍්‍රී ලංකාවේ පවා රෝගියෙකු හදුනා ගෙන ඇත. ව්‍යාප්තිය කොපමණ වේගවත් ද යන්න අපට අනතුරු අගවයි. දැනට කරගෙන යන ක‍්‍රියාමාර්ග වලින් ලැබුණ සාර්ථකත්වය මොහොතකින් ගිලිහී යන අවදානමක් ඇත. ඉතාම සාර්ථකව කොවිඞ් එන්නත ලබාදෙන්නට ආණ්ඩුව සමත්ව තිබේ. වයස්ගත ජන කොටසට තුන් වැනි මාත‍්‍රාව ද, නිකුත් කෙරේ. ආර්ථික දුෂ්කරතා මැද පසුවන අතරවාරයේ පවා නොමිලේ සැපයීම අගය කළ යුතුය. ආරක්ෂා වූ ජීවිත ගණන වාසනාවකි. සෞඛ්‍ය කාර්ය මණ්ඩලය, ආරක්ෂක අංශ කරන ලද කැපවීම සහ බාධක මැද නොනැවතී ඉදිරියට ගිය ගමන දැවැන්ත රැකවරණයක් වූ බව සදහන් කළ යුතුය.

කොවිඞ් වසංගතයේ අවසානයක් දකින දවස විවාදාත්මකය. ලෝක සෞඛ්‍ය සංවිධානය එයට උත්තරයක්  දී තිබේ. කොවිඞ් තුරන් කරන දිනය තීරණය කළ යුතු ජනතාව බව පැහැදිලිව කියා ඇත. එන්නත එක පැත්තක ආවරණයකි. පරෙස්සම අපගේ වගකිමකි. අලූත් ප‍්‍රබේධ මතු වෙමින් තිබේ. සෑම වෛරස් ප‍්‍රබේධයකටම එන්නතක් නැත.

පසුගිය වසර දෙක තුළ අලූත් භාවිතා අපට ලැබී තිබේ. සමාජ දුරස්ථභාවය වැනි දරා ගත නොහැකි සංකල්ප කරා තල්ලූවෙන්නට සිදුවී ඇත. උපතක දී ලබන සතුට පමණක් නොව විපතක දී ලබන වේදනාව ද දුරස්ථව දරා ගන්නට සිදුවී ඇති වකවානුවකි. පැවැත්ම කාලානුරූප කරගැනීමට සිදුවී ඇත. නීති වලින් කළ නොහැක. ආරක්ෂා වුවහොත් ගැලවීමක් තිබේ. ගැලවුම්කාරයා අනෙකෙකු නොවේ.

කොවිඞ් වසංගතය සමග ආකෘති වෙනසක් සිදුවී ඇත. ගැලවීමට මාර්ගයක් තනා තිබේ. වෘත්තීය අවස්ථා, මුල්‍ය සේවා, අධ්‍යාපනය, සෞඛ්‍ය යනා දී සියළු අංශ වලට තාක්ෂණය ඇතුළු වී ඇත. ඉහළ අධ්‍යාපන පසුබිමක් සහ හොද සාක්ෂරතාවයක් ඇති රටක් වශයෙන් මෙම පැතිවලට කාර්යක්ෂමව ප‍්‍රවේශ විය යුතුය.

රැකියා ස්ථානයට පැමිණීම වෙනුවට කොතැනක හෝ සිට රාජකාරිය කරන තාක්ෂණයට හුරු විය යුතුව ඇත. දැනටමත් සමාජයේ සෑහෙන පිරිසකට බැංකු හා මුල්‍ය කටයුතු වල දී නිවසේ සිට කරගත හැකි වී තිබේ. එය තවත් දියුණු කරගත හැකිය. ඉගෙනගැනීම අන්තර් ජාලයෙන් සිදුවෙයි. රෝගීන් පරීක්ෂාව හා වාර්තා කියැවීම පවා අන්තර් ජාලයට පවරා ඇති කාලයකි. භාණ්ඩ මිල දී ගැනීමට වෙළද පොලට යා යුතුම නැත. කොවිඞ් වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීමට, මෙකී රාමුව බලපාන බව අවධාරණය කළ යුතුය. අනෙක් අතට එයින් ලැබෙන පිටිවහල ජීවිතය ක‍්‍රමානුකූල කරයි. කාර්යක්ෂමතාව ඇති කරන බව පැහැදිලිය.

මෙවැනි අංශ කෙරෙහි නැඹුරුවක් අවශ්‍යය. තාක්ෂණයට හුරුවීම වේගවත් කරන ක‍්‍රියාමාර්ග උවමනා කෙරේ. ජනතාව එය වැළද ගත යුතුය. රාජකාරි පහසු කරනු ඇත. වගකීම වැදගත් කරුණකි. අප සියළුම දෙනාට අලූත් ආකාරයකට තීරණ ගැනීමේ වගකීමක් තිබේ. බැට කෑ සමාජයක් නැවත නැවතත් භයානක ලෙස බැට කන තැනට පත්වීම නරකය. බුද්ධිමත් සමාජයක එක කොටසක් වන අපට, වෙනස් මානයකට ඇතුළුවීම අපහසු නැත. කැපවීම පමණක් අවශ්‍ය කෙරේ. අනාගතය හැදෙන්නේ වෙනස්වීමට දරන උත්සාහයෙන්ය. 

හෙට සුබවෙන්න අද වගකීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

2021/12/01 – ලංකාදීප

සැනසිලිදායක හෙටක් සදහා අද තීරණ ගැනීම

පිසූ ආහාර ඇත. දොවන ලද කිරි තිබේ. දල්වන ලද ගිණි ඇවිලෙයි. නිවසට වහලයක් තිබේ. මැසි මදුරු පීඩාවක් නැති අතර මෙම මොහොත සුරක්ෂිතය. දැන් ඉතින් මහා වැස්සක් ඇදහැලූනාට කිසිම ප‍්‍රශ්නයක් නැත. යනුවෙන් කල්පනා කළ ධනිය ගෝපාල ගැන සදහනක් බුද්ධ දේශනාවේ ඇත. ධනිය ගෝපාල සුත‍්‍රයෙහි දැක්වේ. වැසි ලකුණු දකින ධනිය ගෝපාල, සිය දෙනුන් පවා අවශ්‍ය තරම් ආහාර ගෙන ඇති අතර තමන්ට කිසිම කරදරයක් නැති බව සිතන බව එහි වැඩිදුරටත් කියැවේ.

ධනිය ගේ සිතිවිල්ල ගැන අවධානය යොමු කළ හැකි පැති දෙකක් තිබේ. එකක් ඔහු තමන්ගේ ජීවිතය හසුරුවාගෙන ඇත. අනෙක ඔහු ඉතා ආත්මාර්ථකාමීය. පැති දෙකම වැදගත්ය. මහ වැසි තර්ජනයක් ඇති නොකරන තරමට සුදුසු පරිසරය හදාගෙන තිබේ. එය ධනිය ගේ දක්ෂතාවයකි. අන්ධකාර ලකුණු ඔහුගේ පැවැත්මට ගැටළු ඇති කරන්නේ නැත. එහෙත් අධික වැසි ප‍්‍රශ්න ඇති නොකරන්නේ ද නොවේ. ධනිය සුරක්ෂිත නමුත් අනාරක්ෂිත විශාල පිරිසක් ජන සමාජයක ජීවත්වෙති. ඔවුහු මහ වැස්සකින් පසු දුෂ්කරතාවයකට පත්වනු ඇත. කුසගින්න සහ සීතල ජීවිතය අසරණ කරන සාධක බව පෙනේ. සෙසු පිරිස ගැන නොසිතන ධනිය, වැහි කෝඩයක් මෝදු වන ලකුණු තමන්ට ප‍්‍රශ්නයක් නොවන බව කල්පනා කරයි. ඔහුගේ ආකෘතිය වැදගත්ය. නමුත් සිතිවිලි පොදු සමාජ සාරධර්ම ඉදිරියේ නොගැලපෙන එකකි.

බෞද්ධ සාහිත්‍යයේ එන මෙවැනි ආදර්ශ අද පැවැත්මට ගලපා ගත යුතුය. බුදු බණ අහන සමාජයකි. බුදුන් අදහන බව අ`ගවයි. දර්ශනය වටහා ගෙන නැත.

රටත්, සමාජයත් ඔසවා තබන සැලැස්ම තුළ ධනිය ගෝපාල සංකල්පය තිබිය යුතුය. අද පවතින ප‍්‍රශ්න දෙස බලන විට පැහැදිලිය. සමාජ, ආර්ථික හා සෞඛ්‍ය අංශවලින් ඉතාම දුප්පත් තැනකය. සැකය හා අවිශ්වාසය ඉහවහා යමින් තිබේ. සුළු සිද්ධියකින් පවා කම්පිතව වැලපෙන ක‍්‍රමයක් බිහි වී තිබේ. වේදනා සහ දෝමනස්ස වැපිරවීමෙන් ලැබෙන ප‍්‍රතිඵලය කුමක්ද? උද්ගත වී ඇති ප‍්‍රශ්නවලට විසදුම් සොයාගත යුතුය. අප සියළු දෙනාගේ වගකීීමකි. ආණ්ඩුව නායකත්වය දිය යුතුය. නිසි ප‍්‍රතිපත්ති සකස් කරන අතර මුලික පහසුකම් සංවිධානය කළ යුතුය. ගොඩනැගීම සහ තමන්ගේ අනාගතය සාක්ෂාත් කරගැනීම අප සියළු දෙනාගේ වගකීමකි. බුද්ධිමත්, දැක්මක් සහිත සමාජ වටපිටාවක් පවතී. දැනුම ඉහළම තැනට පැමිණ ඇත. අවබෝධය රහිත පිරිසකට පවා දැනුම සහ අවබෝධය ලබාගැනීමට පහසුකම් තිබේ. තාක්ෂණික වටපිටාව විශාල ආවරණයක් සපයයි. ගමන් කළ යුතු ආකාරය ගැන ආදර්ශ ලබාගත හැකිය. පටු අදහස් තුරන් කර පුලූල් දැක්මක් සහිතව තීරණ ගත හැකි වාතාවරණයක් පවතී. එහෙත් එම මාර්ගය ඔස්සේ ගමන් කරන්නට අප සූදානම්ද?

කොවිඞ් වසංගතය සමග උද්ගත වූ තර්ජන සම්පූර්ණයෙන්ම කළමණාකරනය කරගන්නට අපොහොසත්ව සිටී. ඉතාම සුළු පිරිසක් ධනිය ගෝපාලවරු බවට පත්ව ඇත. බහුතරයක් දෙනා සැකයෙන් හා අවිශ්වාසයෙන් ජීවත්වෙති. හෙට දවසට මුහුණ දෙන්නේ කෙසේද යන ප‍්‍රශ්නය තිබේ. කොවිඞ් අන්ධකාරය තුළ තව දුරටත් ජීවත්විය යුතු නැත. ආලෝකය සොයා යා යුතුය.

බරපතල ආර්ථික ප‍්‍රශ්න රටට ඇත. කර්මාන්ත හා ව්‍යාපාර ගැටළු සහගත තැනකය. රැකී රක්ෂා අවස්ථා අඩුය. ආදායම සීමිතය. ජන ජීවිතය සහන ඉල්ලා සිටින වකවානුවකි. ජාතික ආර්ථිකය දරුණු පිරිහීමක පවතින අවස්ථාවක තව තවත් සහන බෙදන්නේ කෙසේද? අලූත් තීරණ වලින් නවෝත්පාදනයක් කරා ගමන් කළ යුතුව තිබේ. ව්‍යසන ඉදිරියේ ශෝක නොවන සමාජයක් ගොඩනැගිය යුතුය. ශ‍්‍රී ලංකාව පාඩම් ඉගෙනගත් රටකි. දකුණේ සහ උතුරේ ඇති වූ බිහිසුණු ත‍්‍රස්තවාදය, දස දහස් ගණනින් ජීවිත අහිමි වූ ‘සුනාමි’අමතක නොවන සිද්ධි අතර තිබේ. ඒවාගෙන් ගැලවී. යළිත් මතු වී ඉදිරියට පැමිණීමට සමත් වූ රටකි. කොවිඞ් වසංගත තත්ත්වයට ද අවසානයක් ඇත. සමාජය ශක්තිමත් කර  නැවත ඔසවා තබන පියවර අවශ්‍යය. සමාජය එකමුතු කරන දැවැන්ත සංවිධාන ශක්තියක් සූදානම් කරගත යුතුය.

කලබල වූ සමාජයක හැසිරීම ගැන අප නොදන්නවා නොවේ. විවිධ මත, නොයෙක් අදහස්, එකකට එකක් නොගැලපෙන තර්ක ඇවිලෙයි. ඒවායෙන් ඉතාම සංකීර්ණ ස්වභාවයක් හටගනී. මෙම කුණාටු සහගත අවස්ථාවේ දී තව තවත් අවුලවන උපායවලින් පලක් නැත. ජන ජීවිතය ගොඩනගන, පුනර්ජීවනය ඇති කරන පියවර සදහා යා යුතුය. අද පවතින සමාජ හා ආර්ථික පසුබිම තවත් අමතක නොවන පාඩමකි. මෙවැනි ඉරණමක් පරාජයකර සැනසිල්ලෙන් ජීවත්විය හැකි රටක් දරුවන් වෙනුවෙන් ගොඩනගන්නට නම් අද තීරණ ගත යුතුය.