රටේ සැබෑ ප‍්‍රශ්නය ව්‍යවස්ථාවද? ආර්ථිකයද?

ප්‍රතිචාරයක් ලබාදෙන්න

2022/01/26 – ලංකාදීප

අලූත් ව්‍යවස්ථාවක් ගැන අදහස යළිත් පැන නැගී ඇත. දශක ගණනක් එකම මාතෘකාව වරින්වර මතුවෙමින් තිබේ. ව්‍යවස්ථාව අවශ්‍ය දේශපාලනඥයන්ටය. එකිනෙකට වෙනස් මතවල සිටින දේශපාලන පක්ෂ, තමන්ට පමණක් ගැලපෙන ව්‍යවස්ථා ගැන සිහින දකිමින් සිටිති. අදහස් එකතු කර එකගතාවයකට එන්නට සූදානම් නැත. සාකච්ඡාකර නිගමනයකට එළැඹිය හැක. ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ගරුකරන අප සියළු දෙනා තුළ තිබිය යුතු උසස් ගුණාංගයකි. සංස්කෘතිය, ආගම, විනය ගැන ඉහළින් සිතන අප අතර සම්මුතිය නැත. මෑත ඉතිහාසය තුළ ව්‍යවස්ථා සාකච්ඡා කාලය සහ වචන නාස්ති කළ ව්‍යායාම ලෙස අවසන්ව තිබේ.

ජනතාවට ද ප‍්‍රශ්න තිබේ. ඒවා ව්‍යවස්ථාව ගැන නොවේ. පවතින ආර්ථික දුෂ්කරතා පිලිබදවය. ව්‍යවස්ථාවලින් ප‍්‍රශ්න විසදිය හැකිනම් 1994 සිට අද දක්වා ව්‍යවස්ථා හා ඒවායේ සංශෝධනවල ප‍්‍රතිඵල අනුව රට පාරාදීසයකි. එදිනෙදා ජීවිතය ගැටගසා ගැනීම ජනතාවට දැනෙන ප‍්‍රශ්නයකි. ජීවන වියදම ඉහළය. අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා හිගය. කොවිඞ් වසංගතය ඇති කරන ලද ගැටළු බව රහසක් නොවේ. පවතින තත්ත්වය තුළ දරුවන්ගේ අනාගතය පවා අවිනිශ්චිතය. වර්තමානය පමණක් නොව අනාගත පරපුරට ද විසදුමක් අවශ්‍යය. පීඩාවට පත්ව ඇති තැන් නිවැරදිව හදුනාගෙන තීරණ ගැනීම මෙරට මහජන නියෝජිතයන් සතු වගකීමකි.

පාර්ලිමේන්තු සැසිවාරය විවෘත කරන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විද්වත් කමිටුවක් ව්‍යවස්ථා රාමුව සකස් කිරීමට කටයුතු කරන අතර එය කැබිනට් මණ්ඩලයට හා පාර්ලිමේන්තුව හමුවේ තබන බව කියා සිටියේය. ජනාධිපතිවරයා ගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය හා ඔහුගේ සැලැස්ම තුළ ඇති ඉදිරි පියවර අලූත් ව්‍යවස්ථාවක් ගැන අදහසක්  ප‍්‍රකාශ කරන්නට බල කරන ලද බව වටහා ගත හැක. ඇත්ත තත්ත්වය එය නොවේ. ජනතාවට පැවැත්ම වෙනස් කරගන්නට උවමනා වී තිබේ. ව්‍යවස්ථාව වෙනුවට ඉතාම දක්ෂ පිරිසක් මෙහෙයවා නිසි ආර්ථික ප‍්‍රතිපත්ති හදාගැනීම වැදගත්ය. තද තීරණ ගෙන සංවර්ධන ක‍්‍රියාවලිය වේගවත් කළ යුතුය. රැකී රක්ෂා උත්පාදනය හා අතට ආදායමක් ලැබෙන මාර්ග ඇති කරන්නට අවශ්‍යය. කොළඹ වරාය නගරය මංතීරු ගැන සාමාන්‍ය ජනතාව දක්වන උනන්දුව මෙයට එක උදාහරණයකි. දස දහස් ගණනින් ජනතාව එහි පැමිණ තිබේ. නුවර අධිවේගී මාර්ගයේ කොටසක් විවෘත කිරීමෙන් පසු එම කොටස පරිහරණයට ඉදිරිපත්ව සිටින පිරිස තවත් පැත්තකි. දුම්රිය වැඩවර්ජනය සමග අදහස් දක්වන ලද මගී ජනතාව දෙපාර්තමේන්තුව පුද්ගලීකරණය කර හොද සේවාවක් ලබාදෙන ලෙස බලකර සිටියේය.

උතුර නැගෙනහිර ජීවත්වන ජනතාව ගේ හඩ අපට වැදගත්ය. දශක ගණනක් ත‍්‍රස්තවාදයෙන් බැට කෑ ඔවුහු අලූත් ජීවිතයක් අපේක්ෂා කරති. මාර්ග සංවර්ධනය, අලූත් කර්මාන්ත හා ව්‍යාපාර ඔවුන් ගේ ඉල්ලීම වී තිබේ. පැවැත්ම සහ සංවර්ධනය ගැන වෙනම උතුරු නැගෙනහිර ජන කොටස්වලට ඇත. ජනතා මතය වෙනුවට අපට දැනෙන්නේ අතරමැදි දේශපාලනඥයන්ගේ හඩයි. දේශපාලනඥයෝ ඉල්ලන්නේ බලය හා බලතල බව පෙනේ. රට තුළ කරන යෝජනාවලින් පැවැත්ම සාක්ෂාත් කරගැනීම වෙනුවට ජාත්‍යන්තරය තුළ මතයක් ඇති කර ස්වභාවය සංකීර්ණ කරන්නට ඇතැම් දේශපාලන නායකයෝ සූදානම්ය. ලෝකයේ වෙනත් රටකින් අපට විසදුමක් ලැබෙන්නේ නැත. සෑම රටක්ම එක හා සමාන අලූත් සමාජ භාවයන්ට ගොදුරු වී සිටී.

පවතින ව්‍යුහය අධ්‍යයනය කළහොත් පෙනෙන ප‍්‍රධාන කාරණයක් තිබේ. ජනතාව ඉල්ලන දෙයක් ඇත. දේශපාලනඥයන් ගේ අරමුණ අනෙක් එකකි. ජනමාධ්‍යවලින් ද මෙම පැති දෙක අතර සංවාදයක්, සබදතාවයක් ඇති කරන්නේ නැත. අප ගමන් කරමින් සිටින්නේ අවුල් ජාලයකින් තවත් අවුල් සහගත තැනකටය. මෙහි ප‍්‍රතිඵල අපට දැනෙන්නට තිබේ. ජනතාවට දේශපාලනය එපා වී ඇත. දේශපාලනඥයන් කෙරෙහි තිබුණ විශ්වාසය පිරිහී ඇති බව පෙනේ. දේශපාලනඥයන්ට සමීප සමාජ නායකයන් හා ආගමික නායකයන්ට ද එම ඉරණම අත්ව ඇති බව ඉතාමත් පැහැදිලිය.

සියළු දෙනාටම එකගවිය හැකි ව්‍යවස්ථාවක් පමණක් නොව පවතින සංවර්ධන සැලසුම් සම්බන්ධයෙන් පොදු එගතාව ඇති කරගැනීම අවශ්‍ය වී තිබේ. එය තුළ සාධාරණත්වය හා යුක්ති සහගත බව ප‍්‍රශ්න කළ හැක. පවතින ආර්ථික හා සමාජ ගැටළුවලට වර්ණවත් උත්තර නැත. නිල්, කොළ, රතු හෝ වෙනත් වර්ණයකට දැනට ලෝකයේ පවතින ආර්ථික මුලධර්ම වලට එපිටින් යා නොහැක.

සංස්කෘතික ප්‍රශ්න වලින් දෙදරන පක්ෂ නායකත්වය

ප්‍රතිචාරයක් ලබාදෙන්න

2022.01.19 ලංකාදීප

බ්‍රිතාන්නය අගමැති බොරිස් ජොන්සන් මහතා වහාම ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවට කරන විරෝධතා උණුසුම් මුහුණුවරක් ගෙන ඇත. ඔහුගේ කාර්ය මණ්ඩලය උදෙසා අගමැති නිල නිවසේ පවත්වන ලද සාදය බරපතල වරදක් බව ප්‍රකාශ වී තිබේ. කොවිඩ් අවදානම මැද, සෞඛ්‍ය විධිවිධාන නොසලකා, එම සාදය සංවිධානය කිරීම ගැන විවේචන එල්ල වෙමින් තිබේ. තමන්ගේ පක්ෂ නායකයා ද වන අගමැතිවරයා ගේ හැසිරීම වැරදි බව අවධාරණය කරන බ්‍රිතාන්‍ය කොන්සවේටිව් පක්ෂයේ මන්ත්‍රීවරු පනස් හතරදෙනෙකු ඔහු විශ්වාසය කඩකල බවට චෝදනා කරන ලිපියක් ද බි්‍රතාන්‍ය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත. මෙම සාදය සමාජ දුරස්ථ භාවය ආරක්ෂා කරගෙන කාර්ය මණ්ඩලය සඳහා පැවැති බව පිලිගෙන ඇති අගමැතිවරයා එයට යටහත් පහත්ව සමාව ඉල්ලා තිබේ. එහෙත් ඔහු ගේ ක්‍රියාකලාපය අශෝබන බව දක්වන විරෝධතා අවසන් නැත. බොරිස් අගමැතිවරයා හා සමානව ලෝකයේ අනෙක් බලවත් නායකයන් ගණනාවක ගේ ද ජනප්‍රියත්වය පහත වැටී ඇත. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි, ඇමරිකානු ජානාධිපති ජෝ බයිඩන් ප්‍රංශ අගමැති එම්මානුවෙල් මැක්රොන් යනාදී වශයෙන් දැක්විය හැකිය. මහත් ඉහළින් සිටි නායකයෝ අප්‍රසාදයට පත්ව සිටී. කොවිඩ් වසංගතය පාලනය සඳහා ගත් පියවර, එයින් බලපවත්වන ආර්ථික දුෂ්කරතා සහ ප්‍රතිවාදී පක්ෂවල විවේචන එයට හේතු වී ඇති බව පෙනේ. කෙසේ නමුත් බොරිස් ජොන්සන් අගමැතිවරයාට ඔහුගේ පක්ෂය ඇතුලතින් එල්ලවන පීඩනය මෙහි දී විශේෂිතය.

බි්‍රතාන්‍යයේ ප්‍රජාතන්ත්‍රවාදයේ ලක්ෂණ අනුව, නායකයන් ගේ ජනප්‍රියභාවය අඩුවන විට පක්ෂ සාමාජිකයෝ අනුකම්පාවක් රහිතව හැසිරෙති. ජගත් ප්‍රජාව අතර යකඩ ගැහැණියක වූ මාග්‍රට් තැචර් පක්ෂයෙන් ඉවත් කළ ආකාරය එයට එක උදාහරණයකි. ජයග්‍රහණය කරා ගෙන යන තරමට ප්‍රසාදයක් නායකයා කෙරෙහි රට තුළ නොපවතින බව සමාජ මතවලින් ඔප්පුවන අවස්ථාවේ දී තැචර් ඉවත් විය යුතු බවට බල කළේ ඇයගේ ම සමීප කණ්ඩායම බව දැක්විය යුතුය. කම්කරු පක්ෂය බලයට ගෙනඒම සඳහා මහත් කැපවීමකින් ක්‍රියා කළ එම පක්ෂයේ නායක ටෝනි බ්ලෙයාර් මහතාට ද එම ඉරණමට මුහුණ දෙන්නට සිදුවිය.වෙස්මිනිසිටර් ප්‍රජාතන්ත්‍රවාදය හදවතක් නැති දේශපාලන ක්‍රමයක් සේ පෙනෙන අතර පක්ෂය ආරක්ෂා කරගැනීම සඳහා අභ්‍යන්තර ප්‍රතිසංස්කරණ සඳහා නොපැකිලව තීරණ ගැනීම විශේෂත්වයකි. යුරෝපා හවුලෙන් බි්‍රතාන්‍ය ඉවත්විය. එය විසඳාගෙන ඉදිරියට එනවිට කොවිඩ් වසංගතය බි්‍රතාන්‍ය අකර්මන්‍ය කළේය. රට ගලවා ගත් බොරිස් අගමැතිවරයාට පක්ෂයෙන් සමාවක් නැති බව පැහැදිලිව පෙනෙන කරුණකි.

ආසියාවේ ප්‍රජාතන්ත්‍රවාදය මෙම ලක්ෂණ වලින් වෙනස් බව සඳහන් කළ යුතුය. ඉන්දියාවේ අගමැතිවරයාගේ ජනප්‍රියත්වය පහලටම වැටී තිබේ. උත්තර ප්‍රදේශ්, පන්ජාබ් ඇතුළු ප්‍රාන්ත පහක මැතිවරණ මෙම වසරේ පළමු කාර්තුව තුළ පවත්වන්නට නියමිතය. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ගේ සහ භාරතීය ජනතා පක්ෂයේ ජනප්‍රියත්වය අඩුය. ජයග්‍රහණ කෙසේවෙතත් පක්ෂ නායකත්වයට ඇති ලැදියාව ඉන්දීය මැතිවරණ ව්‍යාපාරය තුළ මැනැවින් විද්‍යමාන ලක්ෂණයකි. පක්ෂය කෙරෙහි ජනතා මතය වේගයෙන් පිරිහෙන අවස්ථාවක පවා පක්ෂ නායකත්වය වටා එකතුවීම ආසියාවේ සංස්කෘතිය බව පෙනේ. කලාපයේ රටවල ප්‍රජාතන්ත්‍රවාදයේ දැකිය හැකි මෙම ලක්ෂණය ගැන විශේෂ අවධානයක් යොමු කළ යුතුව ඇත.කොළඹ මැතිවරණ කාර්යාලයේ ලියා පදිංචි කර ඇති දේශපාලන පක්ෂ ගණන මෙම සංස්කෘතියෙහි එක පැත්තක් විදහා දක්වයි.

පක්ෂ නායකයා ගේ පිරිහීම ඉවසනු නොහැකිවන පිරිස අන්තිම මොහොතේ වෙනම පක්ෂයක් ලියා පදිංචි කරති. පක්ෂ වැඩිවීම ප්‍රජාතන්ත්‍රවාදයට යහපත් විය හැකිය. පක්ෂ තුළ අහිමිවන ප්‍රජාතන්ත්‍රවාදය රටට සහ මහජනතාවට ඇතිකරන ප්‍රජාතන්ත්‍රවාදයක් නැත.මෙරට දේශපාලනයෙහි දැවැන්ත කොටස්කරුවන් බව අඟවන සුළු පක්ෂ අති විශාල ප්‍රමාණයක් ජන සමාජයේ පැවැත්මට ලබා දෙන පිටිවහල කුමක්ද? සුළු වෙනස්කම් හැර බහුතර පක්ෂවල අරමුණු හා පරමාර්ථ නොවෙනස්ය. පක්ෂ බිහිවීමේ මූලික සාධකය පක්ෂ නායකත්වය පමණකි. එය ධනවාදී පක්ෂවල පමණක් නොව සමාජවාදී පක්ෂවල පවා දැකිය හැකි ලක්ෂණයකි. ජනප්‍රියත්වය අඩුවන අවස්ථාවක, පක්ෂය ආරක්ෂා කරගැනීම සඳහා නායකයා ඉවත් කරන තීරණය අමානුෂික එකක් බව පෙනේ. නායකයෙකු, රටට සමාජයට ඉටු කළ සේවය නොතකා, නොසලකා බැහැර කිරීම කෘතවේදී නොවන බව හැඟෙන්නට පුළුවන. තෙරේසා මේ බි්‍රතාන්‍යයේ හිටපු අගමැතිනිය බලයෙන් පහකර පත්වන බොරිස් ජොන්සන් ද බි්‍රතාන්‍යයේ ජනප්‍රිය චරිතයක් නොවේ. ඔහු මුහුණ දී ඇති අර්බුදය බි්‍රතාන්‍ය ජන සමාජය තුළ පක්ෂ ව්‍යුහය සම්බන්ධ ඇතුලාන්තය අපට කියා දෙමින් සිටී.

ණයත් පඩිත් ගෙව්වම තවත් ණය වෙන රටක්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

2022/01/12 – ලංකාදීප

ණයත් පඩිත් ගෙව්වම තවත් ණය වෙන රටක්

ප‍්‍රජාතන්ත‍්‍රවාදය පොදු ජනතාව සමග එළැඹෙන ගිවිසුමකි. හොදම ප‍්‍රතිලාභ ජනී ජනයාට ලැබෙන ක‍්‍රමයක් සකස් කළ යුතුය. මහජනතාව පත්කරන පාර්ලිමේන්තු නියෝජිතයන්ට පැවරෙන කාර්යයකි. ආණ්ඩුව සතු වගකීම පුලූල්ය. විපක්ෂ දේශපාලනඥයන් ද කාර්යභාරයක් තිබේ. පටු විවේචනය වෙනුවට විවිධ පැති අධ්‍යයනය කර ක‍්‍රමය නිවැරදි කිරීම සදහා පෙළැඹවීමක් අවශ්‍යය.

පාර්ලිමේන්තුවේ දී කරන සංවාදයකින්, ආර්ථික හා සමාජ පැවැත්මේ දී මෙතෙක් අනුගමනය කර ඇති ක‍්‍රමය තුළ ඇති වැරදි හදා ගත යුතුය. විශාල ප‍්‍රපාතයකට ගමන් කරන විට දෙපැත්තට වී එකිනෙකාට චෝදනා කරගැනීමෙන් ලැබෙන වාසියක් නැත. නිදහසට පසු ගෙවී ගිය දශක හතකට වැඩි කාලය තුළ වගකීම ඉටුකොට ඇතිබවක් නොපෙනේ. ආර්ථිකය මුහුණ පා ඇති අභාග්‍ය සම්පන්න ඉරණම එයට සාක්ෂියකි. එක කොටසක ගේ හෝ එක පුද්ගලයෙකු ගේ වරදක් නොවේ. අප  සියළු දෙනාම පවතින ඉරණමෙහි කොටස්කරුවෝ වෙති. ප‍්‍රතිපත්ති අනුගමනය නොකරන්නටත්, පටු වාසි තකා නිසි පිලිවෙලට ඉඩ නොදෙන්නටත් යුහුසුළු වූ අපට ආර්ථික මුලධර්ම මගින් අමතක නොවන පාඩමක් උගන්වා තිබේ.

අලූත් වාර්තා පෙන්වන පරිදි, ජාතික ආදායම ණය පොලිය හා රජයේ වැටුප් වියදමට ප‍්‍රමාණවත් නැත. ණය පොලිය සදහා ආදායමෙන් සියයට හැත්තෑවක් වියදම් කරන්නට සිදුවී ඇත. රජයේ සේවක වැටුප් හා විශ‍්‍රාම වැටුප් වෙනුවෙන් වෙන් කරන්නට සිදුවී ඇති කොටස සියයට අනූවකි. මෙම කොටස් දෙක පමණක් ජාතික ආදායමෙන් සියයට එකසිය හැටක් වන බරපතල ප‍්‍රතිශතයක් බව පෙනේ. රුපියල් සියයක් උපයන පුද්ගලයෙකු කලින් ගත් ණය හා වැටුප් වියදම් වශයෙන් රුපියල් එකසිය හැටක් ගෙවන්නේ කෙසේද?

මැලේසියාව දියුණු කළ මහතීර් මොහමඞ් මහතා සමකාලීන දේශපාලනඥයන්ට වටිනා උපදෙස් දී තිබේ. රටක් පාලනය කරන්නට බලය ඉල්ලන අය අඩුම තරමින් සුළු ව්‍යාපාරයක හෝ අත්දැකීමක් තිබිය යුතු බව ඔහු කියා සිටියේය. ඉතිහාසයේ සිට අපට වෘත්තීය දේශපාලනඥයෝ සිටියහ. මහතීර් කියන සුදුසුකම තිබුණේ නැත. බලය අල්ලා ගන්නට අති සමර්ථය. විපක්ෂය ද ආණ්ඩු අපහසුවට පත් කරන්නට දක්ෂ කණ්ඩායමකි. ආණ්ඩුවත් විපක්ෂයක් එකතු වී දැවැන්ත ආගාධයක් අභිමුවට රට කැදවා ඇත. දේශපාලන අනුග‍්‍රහය ඇති මිත්‍යා මතවලින් හිස් පුරවා ගත් වෘත්තීය සමිති ද මෙම විනාශයෙහි එක පාර්ශවයකි. නිසි අවස්ථාවේ දී රටට අවශ්‍ය මග පෙන්වීම මගහැර සිටි ප‍්‍රායෝගික අදහස් තිබිය යුතු බුද්ධිමත් කොටස් ද අද ප වතින කණගාටුදායක තැන දක්වා ගමන් කරන්නට අත්වැල අල්ලා ඇත.

මෙම අවස්ථාවේ දී තීරණ දෙකක් ගත හැකිය. ආදායම වැඩි කරගැනීම සදහා අලූත් වටයකින් බදු නංවන්නට සිදුවේ. එය දුගී දුප්පත් ජනතාව තවත් දුෂ්කර තැනකට පත් කිරීමකි. අනෙක රජයට බදු ආදායම උපයා ගත හැකි වන පරිදි ආර්ථිකය පුලූල් කිරීමය. අලූත් කර්මාන්ත හා ව්‍යාපාර ඇති කරන පසුබිමක් ගොඩනැගීමය. ව්‍යවසායකත්වය සදහා රට තුළ ඇති අපහසුතාව රජයේ නිලධාරීන් සහ දේශපාලනඥයෝ දන්නේ නැත. යමක් අලූතින් කරන්නට වෑයම් දරන පිරිස් අධෛර්ය කරන වටපිටාවක් රට තුළ තිබේ. තීරණ ගැනීමේ අලසභාවය හා යල්පැන ගිය නීති ව්‍යවසායකත්වයට කිසිම ආකාරයකින් සහායක් දෙන්නේ නැත. අතිශය පීඩාවක සිටින තරුණ පිරිස ක‍්‍රමය ගැන කලකිරීමට පත්ව සිටිති. දක්ෂ පිරිස කෙසේ හෝ වෙනත් රටකට පැනගොස් ජීවත්වීමේ අධිශ්ඨානයකය. ඉගෙනගත් තරුණ තරුණියන් අනාගතය උදෙසා නගන හඩ ඉදිරියේ මෙරට දේශපාලනඥයන්ට ඇති උත්තරය කුමක්ද? ඝෝෂාවෙන් හා විරෝධතාවලින් රටට සිදුවී ඇති යහපතක් නැත.

කොවිඞ් වසංගත තත්ත්වයෙන් පසු නැවතත් නැගී සිටින්නට අවශ්‍යය. විශාල ප‍්‍රතිසංස්කරණ කරන්නට සිදුවේ. ආර්ථික හා සමාජ වෙනස්කම් කළ යුතුය. ආකල්ප වෙනස් කිරීමට පියවර ගත යුතුව තිබේ. අධ්‍යාපන ක‍්‍රමය, සෞඛ්‍ය, ප‍්‍රවාහනය, මුල්‍ය පද්ධතිය ඇතුළු අංශවල පවතින ක‍්‍රම සමාජ ප‍්‍රගතිය ඇති කරන්නේ නැත. අවශ්‍ය වෙනස්කම් සදහා ආයෝජනයට ධනය නැති ආණ්ඩු හුදෙක් එදිනෙදා පැවැත්ම ගැන පමණක් අවධානය යොමු කරන තැනට පත්ව සිටී. ව්‍යුහය වෙනස් නොකළහොත් අනාගතයේ බලයට පත්වන ආණ්ඩුවකට පවා අලූත් යමක් කරන්නට නොහැක. ආණ්ඩුව පමණක් නොව විපක්ෂය ද එකතු වී ආර්ථිකය තුළ ඇති අර්බුදය නිරාකරණය කරන පරිවර්තනය කරන අලූත් සැලැස්මක් සදහා වහාම පියවරගත යුතුව තිබේ.

සහන හොදයි ! සල්ලි කොහෙන්ද? ප්‍රතිවිපාකත් බරපතළ වේවි ! 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

2022/01/05 – ලංකාදීප

ආර්ථික ප‍්‍රශ්න වලින් මිරිකී සිටින රටට සහන පැකේජයක් ආණ්ඩුව ප‍්‍රකාශයට පත් කර තිබේ. රජයේ සේවකයන්, විශ‍්‍රාමිකයන්, සමෘද්ධිලාභීන් සහ යුද්ධයේ දී ජීවිත පරිත්‍යාගයෙන් කැපකිරීම් කළ ආරක්ෂක අංශ එයින් ආවරණය කෙරේ. වතුකරයේ ජනතාවට ද තිරිගු පිටි සදහා වෙනම සහනයක් සපයා ඇත. අත්‍යවශ්‍ය භාණ්ඩ හා ඖෂධ සදහා අය කරන බදු සම්පූර්ණයෙන් ඉවත්කොට තිබේ. ජීවන වියදම ප‍්‍රශ්නයක් වී ඇති අවස්ථාවක සහ කොවිඞ් අවදානම මැද ආදායම පිරිහී ඇති ජනකොටසකට අවශ්‍යම කරන උපකාර සැලසීම අගය කළ යුතුය.

සහන ලැබුණ පිරිස මහත් උද්දාමයකට පත්ව ඇති බව සැකයක් නැත. බඩුමිල හා ඉන්ධන මිල ගණන් ඉහළ යෑම ගැන තිබුණ කනස්සල්ල තාවකාලිකව යටපත් විය හැකිය. සහනය සමග මතුවන අනෙක් පැත්තක් ද තිබේ. මෙම සහන දෙන්නේ කෙසේද? ජාතික ආදායම දුර්වල වී ඇති අවස්ථාවක ප‍්‍රකාශයට පත් කරන සහන සදහා වහාම මුදල් උපයා ගැනීමට භාණ්ඩාගාරයට සිදුවේ.

ආදායම ඉක්මනින් නංවා ගැනීමේ දී බදු වැඩි කිරීම හැර අනෙක් ප‍්‍රතිකර්මයක් නැත. සෘජු හා වක‍්‍ර බදු සශෝධනය කරන්නට සිදුවෙයි. මෙම බදු ගෙවන්නට සිදුවෙන්නේ ද දුක්විදින පොදු ජනතාවය. බදු ප‍්‍රතිශත නැවත වටයකින් නංවන අවදානමක් ඇති පසුබිම තුළ එදිනෙදා ජීවිතයේ බර ඉසිලිය නොහැකි ආකාරයකට තවත් වැඩි කරන අවකාශයක් නිර්මාණය වනු ඇති බව සදහන් කළ යුතුව තිබේ. සහන වලට වැය කරන ධනයෙන් උද්ධමනයක් ඇතිවෙයි. එයට මුහුණ දෙන පරිදි හැදෙන ආර්ථිකය මැද පන්තිය හා දුගී දුප්පත් ජනකොටස තවත් අර්බුදයකට තල්ලූකරන අවදානමක් ඇත. ඉදිරි මාස කිහිපය තුළ එහි ප‍්‍රතිවිපාක දැනෙන්නට බැරි නැත. ප‍්‍රපාතයකින් තවත් පහලට වැටෙන්නට පෙර එයින් ගැලවෙන මගක් සොයාගැනීම අවශ්‍යය. ජනප‍්‍රිය තීන්දුවලින් ක්ෂණික වාසි ලැබිය හැකිය. ආර්ථික වර්ධනය අරමුණු කරගෙන තද තීරණ නොගතහොත් ඇතිවිය හැකි දරුණු ප‍්‍රතිවිපාක ද අපේක්ෂා කළ යුතුය.

රජයේ ආර්ථික වැඩපිලිවෙල අසීරු තැනක බව මෙහි දී අමතක කළ යුතු නැත. අභ්‍යන්තර හා බාහිර වශයෙන් බරපතල පීඩන දෙකකට මැදි වී සිටී. රජයේ ආදායම පිරිහී ඇත. 2022 වසර සදහා ඉදිරිපත් කළ අය වැය එයට සාක්ෂියකි. සංවර්ධන වැඩකටයුතු සීමා කරන ලද අතර රජයේ ගොඩනැගිලි ඉදිකිරීම් පවා අත්හිටුවීය. රජයේ රැකියා සැපයීම සීමා කර තිබේ. විදේශ විනිමය හිගය බාහිර වශයෙන් එල්ල වූ පීඩනයකි. විදේශ සංචිත ගැන අවධානය යොමු කරන්නට සිදුවී තිබේ. අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිල දී ගැනීමේ දී පවා විනිමය හිග බව වාර්තා වෙයි. රාජ්‍ය ආදායම අඩු, විදේශ විනිමය සංචිත සීමා වී ඇති අවස්ථාවක ප‍්‍රකාශයට පත්කර ඇති සහන 2022 වසරේ සමස්ථ ආර්ථික ක‍්‍රියාකාරකම් කෙරෙහි තියුණු බලපෑමක් එල්ල කරනු ඇත.

පවතින විෂම රාමුවෙන් ගැලවෙන්නට අලූත් පියවර අවශ්‍යය. බදු වැඩි නොකර රාජ්‍ය ආදායම නංවාගත යුතුව තිබේ. රටට විශාල අවස්ථා නැත. විදේශ විනිමය සංචිත තරකර ගත යුතුය. මෙකී වෙනස්කම් සදහා අනුබලයක් ලෝකයේ වෙනත් රටකින් ලැබෙන්නේ නැත. සෑම රටක්ම කොවිඞ් වසංගතයේ ග‍්‍රහණයට හසු වී තිබේ. මහන්සියෙන් වැඩ කරන්නට සිදුවේ. නිෂ්පාදනය නැංවිය යුතුය. මානව සම්පත නිසි සේ උපයෝගී කරගැනීමට සිදුවේ. ඉඩම්, සාගර සම්පත්, බලශක්තිය වැනි පැති කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන්නට අවශ්‍යය. නිෂ්පාදනය වැඩි කරන අතර ඒවා ලෝක වෙළෙද පොලට අපනයනය කළ හැකි ක‍්‍රම ගැන යුහුසුළුවීම වැදගත්ය.

සහන ලබාදෙන අතර සහන සදහා අවශ්‍ය ධනය උත්පාදනය කරගැනීම ආණ්ඩුවේ වගකීමකි. ආදායම උත්පාදනය නොකළහොත් ණය බර තවත් උත්සන්න විය හැකිය. ඉදිරියේ දී තවත් ප‍්‍රශ්න ඇති කරනු ඇත. ණය ගෙවා ගැනීම පවා පහසු නැති අවධියක සිටින අප එවැනි පැති ගැන වඩාත් සැලකිලිමත් විය යුතුය. ආර්ථියක එක පැත්තකට දෙන විදුම අනෙක් පැත්තකින් අනපේක්ෂිත ප‍්‍රතිඵල අත්පත්කරන අතර එහි ප‍්‍රතිවිපාක ඉතාම අහිතකර විය  හැකිය. අසීරු අවස්ථාවක ආර්ථිකයක් පාලනය කිරීම පහසු නැත. වියදම අඩු කරගත යුතු අතර වහාම කළ හැකි ප‍්‍රතිසංස්කරණ වලට යා යුතුය. එවැනි ක‍්‍රියාමාර්ගයකින් බැහැරව ගන්නා තීරණ වල අවදානමක් තිබේ.