ඊලග ඡන්දය ගැන නොව රට ගැන සිතා තීරණ ගනිමු

ප්‍රතිචාරයක් ලබාදෙන්න

2022/03/23 – ලංකාදීප

අප ගැන අපට ඇත්තේ මහත් ආඩම්බරයෙකි. අපේකම ගැන කතාකරන්නේ ඉහළින්ය. කිසිම රටකට හෝ ජාතියකට දෙවැනි වෙන සූදානමක් නැත. අපේකම කෙසේ වෙතත් එදිනෙදා පැන නැගෙන ප‍්‍රශ්නවලට උත්තර සොයන්නේ පිටස්තරයන්ගෙනි.

දේශපාලන, ආර්ථික හෝ සමාජ ප‍්‍රශ්න පැන නැගීම සාමාන්‍ය දෙයකි. වරින් වර ගැටළු ඇතිවෙයි. නිරාකරණය කරගැනීමේ නොහැකියාවක් නැත. පමා කළහොත් දැවැන්ත අර්බුද බවට පත්වෙන්නේ සුළු ප‍්‍රශ්න බව සදහන් කළ යුතුය. නියපොත්තෙන් කඩාදමන්නට හැකි පැලෑටි පොරවකින් කපන්නට පවා නොහැකි තැනට පත්වන තෙක් බලාසිටින්නට සමත්කමක් අපට තිබේ.

මෙවැනි සදහනක් කරන්නට හේතු වූයේ ඇයි? මහජනතාව අතිශය පීඩාකාරී තැනකය. ජීවන වියදම මහත් ප‍්‍රශ්නයකි. භාණ්ඩ හිගයක් පවතින අතර වෙළද පොල පාලනයක් නැත. දේශපාලන පක්ෂ අවුලූවන විරෝධතා සමාජය නොසන්සුන් කර ඇත. කෘෂිකර්ම, අධ්‍යාපන, සෞඛ්‍ය ඇතුළු ක්ෂේත‍්‍රවල පවා සංකීර්ණ තත්ත්ව වාර්තා වෙයි. නිදහසට පසු උද්ගත වූ දරුණු ආර්ථික අර්බුදයක් බව පැහැදිලිය.

විශාල බලාපොරොත්තු සහිතව ආණ්ඩුවක් බලයට පත්කරගත් පොදු ජනතාව කලකිරීමක බව සදහන් කළහොත් එය වරදක් නොවේ. මෙරට ඉතිහාසය මෙවැනි අවස්ථා වලින් බහුලය. ගැටුම්, අර්බුද, විපත් සහ අරගල අලූත් දේ නොවේ. ඒවා අලූත් නොවන හා සමානවම විසදාගන්නට දරන ප‍්‍රයත්න ද පැරණි සම්ප‍්‍රදායික ආකෘති බව සදහන් කළ යුතුය. එන පාර්ශවයක් යෝජනා කරන කිසිම දෙයකට අනෙක් පාර්ශවය එකග නොවේ. අනෙක් පාර්ශවයකට සවන් දෙන්නට සූදානම් බලය ඇති අය සූදානම් නැත.  සමාජය එකතු වී එකමුතු වී විසදුමක් සොයාගන්නට උවමනාවක් නැත. අවසානයේ සිදුවෙන්නේ කුමක්ද? ක‍්‍රමය අර්බුදයකට ලක් වෙයි. ජනතාව විපතකින් තවත් විපතකට පත්වේ. නායකයන්ගේ වගකීම ජන ජීවිතය අපහසුතාවයකට පත් කිරීමද? දැනට උද්ගතව ඇති ව්‍යාකූලත්වය පාලනය කරගන්නට අපට එකතුවිය නොහැකි ඇයි?

එකතුවී සාකච්ඡාකර එකගත්වයකට පැමිණෙන සූදානමක් නැති අපි, විසදුම බැහැරින් අපේක්ෂා කරන්නෙමු. ලෝකයේ වෙනත් රටකින් වෙනත් සංවිධානයකින් බලකරන ක‍්‍රමයකට හැඩගැසෙන්නට සූදානම්ය. මානව හිමිකම් ප‍්‍රශ්න ඉදිරියේ අර්බුදයක සිටින ශ‍්‍රී ලංකාවට විසදුම යෝජනා කරන්නේ ජාත්‍යන්තර ප‍්‍රජාවයි. ආර්ථිකය අර්බුදය සලකා ආදායම හා වියදම ගලපන්නට එන්නේ විදේශ රටවල්ය. ජාත්‍යන්තර සංවිධාන අපට රාමුවක් හදන්නට සූදානම්වෙයි. දෙමල ජාතිකයන් සිය ප‍්‍රශ්න ගෙනයන්නේ ඉන්දියාවටය. මුස්ලිම් ජාතිකයෝ තමන්ගේ ප‍්‍රශ්නවලට මැද පෙරදිග රටවලින් සහාය ලැබෙන තෙක් බලා සිටිති. තරුණ පරපුර අනාගතය ගොඩනගාගන්නට තැත් කරන්නේ වෙනත් රටකින්ය. මේවා සාවධානව කල්පනා කළ යුතු කරුණු බව පෙනේ.

අපට විසදුමක් නැති, විසදුමක් සොයාගන්නට ප‍්‍රයත්නයක් නැති පසුබිමක පිටස්තරයන් වෙත නැඹුරුවෙන ප‍්‍රවණතාවයක් ඇත. අපේ ජනතාව ලෝකයේ වෙනත් තැනකින් උත්තර සොයන තැනට පත්වීම ගැන අප සියළුම දෙනා වගකිව යුතුය. ජාතික, ආගමික හා දේශපාලන නායකයෝ කම්පාවට පත්විය යුතු අතර තමන්ගෙන් ඉටුවිය යුතුව තිබුණ කාර්ය භාරය සාක්ෂාත් නොකිරීම ප‍්‍රශ්නවලට මුල බව වටහා ගත යුතුය. පවතින අර්බුද මෙනෙහි කර ජනතාව හමුවට පැමිණ ස්වයං විවේචනයක් කළ යුතුව ඇති අතර එය මෙම තීරණාත්මක අවස්ථාවේ ගත හැකි එක වැදගත් තීන්දුවකි.

ත‍්‍රස්තවාදය තුරන් කළ අපට ජනතාවගේ මානව හිමිකම් ආරක්ෂා කළ හැක. කොවිඞ් වසංගතය පාලනය කර ජන ජීවිත ආරක්ෂා කරගන්නට සමත් වූ අපට පැවැත්ම ආරක්ෂා කරන්නට බැරිකමක් නැත. ආදායම හා වියදම ගැන අවබෝධයක් ඇති, ණය බර ගැන දන්නා අපට අලූත් උත්පාදන අවකාශයක් ඇති කරන්නට ගත හැකි පියවර නොදන්නවා නොවේ. ආර්ථික හා සමාජ ප‍්‍රතිසංස්කරණයකට යා යුතුය. ජනප‍්‍රියත්වය ගැන හිතන, ඊළග ඡන්දයක මනාප ප‍්‍රමාණය ගනින මෙරට දේශපාලන පක්ෂ විසදුමක් සදහා තීරණ ගන්නේ නැත. අලූත් ආකෘතියකට ජනතාව සූදානම් නොකරන අතර ප‍්‍රායෝගික තීරණ ගන්නට ඉඩ දෙන්නේ ද නැත. එහි භයානක ප‍්‍රතිඵල අද අප හමුවේ තිබේ. එය ගණනකට නොගෙන තව තවත් කල් හරිමින් සිටිමු. මුලින් සදහන් කරන ලද පරිදි වෙනත් කොතැනකින් හෝ විසදුම් ලැබෙන තෙක් පොදු ජනතාව බලා සිටිති.

විශාල ප්‍රතිසංස්කරණයක්  නොකළොත් අනාගතය අදුරේ

ප්‍රතිචාරයක් ලබාදෙන්න

2022/03/16 – ලංකාදීප

ගොඩ වෙදකම අපේ සංස්කෘතියේ එක කොටසකි. සාමාන්‍ය අසනීපයක දී අත් බෙහෙත් භාවිතා කරන අවස්ථා ඇත. එවැනි අවස්ථාවල අසල්වැසි, දන්න කියන සියළුම දෙනා ගොඩවෙදුන් බවට පත්වෙති. ප‍්‍රතිකාරයක් වෙතැයි සිතන බෙහෙත් වට්ටෝරු වලින් උපදෙස් ලැබේ. ගොඩ වෙදකම හොද ප‍්‍රතිකාරයක් වන අතර අසනීපය සුව වී සාමාන්‍ය තත්ත්වයට පත්වීමට ද ඉඩ තිබේ. අත් බෙහෙත් පලක් නැති මොහොතක විශේෂඥ ප‍්‍රතිකාර ලබා ගන්නට සිදුවේ. ගොඩ වෙදකම්වලින් පලක් නැති තැන මුණ ගැසෙන විශේෂඥ වෛද්‍යවරයා, නිසි ප‍්‍රතිකාර නොගෙන රෝගය සගවාගෙන සිටීම ගැන තද අවවාද කරයි. ප‍්‍රතිකාර අරඹන්නේ එයින් අනතුරුවය.

ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය ද අසනීප හා බරපතල රෝග ගණනාවක ලක්ෂණ පෙන්වමින් ගිලන්ව සිටි බව නොරහසකි. පසුගිය කාලය තුළ බලයට පත් ආණ්ඩු අසනීපයෙහි තරම දැනගෙන සිටියේය. නිසැකවම රට සුවපත් කරන බව ප‍්‍රකාශ කර බලය ලබා ගනී. බලය ලබාගත් පසු ප‍්‍රතිකාර ගැන අමතක වෙයි. ආර්ථිකයෙහි තිබුණ ව්‍යාධි දෙස බලන පසු ප‍්‍රතිකාර පහසු නැත. බරපතල සැත්කම් කරන්නට සිදුවේ. සමජයට වේදනාවක් දැනෙන තීරණයක් වන අතර බෙහෙත් තිත්තය. මිහිරි වචන කියා බලයට පත්වන පාලකයෝ නිසි ප‍්‍රතිකාර මග හරිති. ගොඩවෙදකම් වලින් ගැලවෙන්නට මෙතෙක් කල් තැත් දැරූහ. නිසි ප‍්‍රතිකාර කරන බව අගවන ලද නමුත් අවසාන මොහොතේ දී ඒවා පැහැර හරින ලද බව පෙන්වා දිය යුතුය. නිසි ප‍්‍රතිකාර ප‍්‍රමාද කිරීම අවසානයේ දී ආර්ථිකය බරපතල තැනකට පත්ව ඇති බව රෝගියාට පමණක් නොව භාරකරුවන්ට ද වැටැහී තිබේ. දැනට රට තුළ පවතින උග‍්‍ර ආර්ථික ප‍්‍රශ්න රෝගීභාවය උත්සන්න වී ඇති බව තහවුරු කරන එක සාධකයකි.   

ශ‍්‍රී ලංකාවේ ආර්ථිකයෙහි බරපතල ව්‍යාධි දෙකකි. ජාතික ආදායම අඩුය. ආදායම ඉක්මවා වියදම් කරමින් සිටී. විදේශ වෙළදාම අනෙක් රෝගී පැත්ත බව සදහන් කළ හැක. අපනයන ආදායම ඉක්මවා ආනයන වියදම ඉහළය. ආදායම හා වියදම අතර පරතරය පියවා ගැනීමට රට තුළ ණය ගන්නා සහ ඒවා පියවන්නට මුදල් අච්චු ගහන ආණ්ඩු විදේශ වෙළදාමේ දී එනම් ආනයන හා අපනයන පරතරය පියවනු සදහා වානිජ ණය භාවිතා කෙරේ. දෙස් විදෙස් ණය හා ඒවාට ගෙවන පොලියෙන් ශ‍්‍රී ලංකාවේ ආර්ථික දේහය බෙලහීන වී ඇති අතර නොයෙක් රටවලින් ලැබෙන ආධාරවලින් ආරක්ෂා වෙමින් පවතින තත්ත්වයකට ඇද වැටී ඇත.

ආණ්ඩු බාරගන්නා පාලකයන්ට ඉරණමෙන් ගැලවෙන්නට කළ යුතු බරපතල සැත්කම ගැන අවබෝධයක් ඇත. ඡන්දයෙන් දිනන ඔවුහු ආර්ථිකය ගොඩගැනීමට කළ යුතු ප‍්‍රතිකාර පසෙක තබන අතර අවධානය ඊළග ඡන්දයෙන් දිනන උපක‍්‍රම ගැනය.

ආණ්ඩුවේ ව්‍යාධි පෙන්වා හිතමිතුරු රටවල්වලින්  තාවකාලික පෙති ගිලින ආර්ථිකය මෙතැනින් එහාට ජීවත් කරන ක‍්‍රමය ගැන හිතන්නට අවශ්‍යය. අද තීරණයක් ගැනීමෙන් අනාගත පරපුර සුරක්ෂිත වනු ඇති අතර විශාල ප‍්‍රතිසංස්කරණයක් නොකළහොත් එහි වන්දිය ගෙවන්නේ අපගේ දරුවන් බව අමතක කළ යුතු නැත.

ආදායම වැඩිකරගත යුතුව තිබේ. ජාතික ආදායම වැඩි කරන උපාය දෙකකි. එකක් නාස්තිකාර වියදම් හා අනවශ්‍ය සහන ඉතාමත් අඩු කර පරතරය පියැවීම සදහා බදු නංවන්නට සිදුවේ. බදු වැඩි නොකර පවත්වා ගැනීම සදහා තව තවත් කර්මාන්ත හා ව්‍යාපාර ආරම්භ කරන්නට අවස්ථාව ලබා දිය යුතුය. දේශීය හා විදේශීය ආයෝජන වැඩි කළහොත් ඒවායෙන් ලැබෙන ආදායම වාසියකි. විදේශ වත්කම් තරකරගැනීම අනෙක් උපාය මාර්ගයයි. අපනයනය කෙරෙහි නැඹුරුව මෙහි දී ඉතාම වැදගත්ය. අපනයනය කරන්නට සුදුසු දේ රට තුළ නිපදවිය යුතුය. මහා පරිමානයෙන්, තරගකාරී මිලකට උසස්ම තත්ත්වයේ දේ නිපදවිය හැකි පරිසරයක් ඇති කළහොත් අපනයන වෙළදාම ශක්තිමක් කළ හැක. කුඩා රටකට ලෝක වෙළද පොලට ගැලපෙන පරිදි මහා පරිමාන නිෂ්පාදනය පහසු නැත. අවශ්‍ය මෙවලම් හා තාක්ෂණය සදහා විශාල පිරිවැයක් අවශ්‍යය. සිංගප්පූරුව වැනි රටවල් ජාත්‍යන්තර ආයෝජන මත එය ජය ගෙන තිබේ.

ආදායම වැඩි කරන විනිමය උපයන පිලිවෙල සදහා තීරණ ගත යුතුය. ඉන්දියාව, චීනය හෝ වෙනත් රටකින් ලැබෙන සහන ආපසු ගෙවිය යුතුය. මුල්‍ය අරමුදලෙන් ලැබෙන ණය සංචිතයක් පවා ආපසු පියැවිය යුතුය. අපට ඇති රෝගී ආර්ථිකයට වෙනත් රටක ප‍්‍රතිකාර ගැලපෙන්නේ නැත. සැත්කම කළ යුතු අපට වන අතර තිත්ත බෙහෙත් බොන්නට සිදුවන්නේ අප සියළුම දෙනාටය. පාලකයන්ට දොස් තබන අතර දේශපාලන වේදිකාවේ මිහිරි වචන කියන වෙනත් පාලකයෙකු ආයෙමත් වතාවක් පත් කරගැනීම නොකෙරෙන වෙදකමකි. 

සැමට සාධාරණය ඉටුවන සමාජ ක්‍රමයක් පතමු

ප්‍රතිචාරයක් ලබාදෙන්න

2022/03/09 – ලංකාදීප

අග හිගකම් ඇතිවෙන විට වැට කඩොලූ බැදේ. අවහිරතා පැනැවෙන්නේ ඇති නැති පරතරය අනුවය. සාමාන්‍ය ජනතාවට මෙතෙක් හිමිව තිබුණ අවස්ථා පාලනය කරනබව කියැවේ.  පවතින ආර්ථික තත්ත්වය අනුව පාලන විධිවිධාන යෝජනාවෙමින් පවතී. සම්පත් හිගය සලකා අරපිරිමැස්මකින් ක‍්‍රියා කිරීම නරක නැත. පාලන පැනැවීමේ දී සියළුම දෙනාටම සාධාරණ ක‍්‍රම අනුගමනය ඉතාම වැදගත්ය.

ආනයන සීමා පනවා ඇත. වාහන ගෙන්වීම නතර කර තිබේ. විදේශ ගමන් බිමන් සීමා කර ඇති බව පෙනේ. විශ්ව විද්‍යාලයකට ඇතුළුවන අවස්ථාව අහිමි වූ දරු දැරියන්ට විදේශ රටකට ගොස් අධ්‍යාපනය ලැබීමට අවස්ථාව තිබුණි. ඇතැම් අංශ යෝජනා කරන පරිදි පිටරට අධ්‍යාපනය තහනම් කළ යුතුය. ඇපල්, මිදි වැනි දේ ආනයනය කිරීම ද නතර කළ යුතු බව කියැවේ. සුඛෝපභෝගී ද්‍රව්‍ය ආනයනය සම්පූර්ණයෙන්ම තහනම් කළ යුතු අතර ඒවා රට තුළ නිපදවීමට පියවර ගත යුතු බව ප‍්‍රකාශවන තවත් කරුණකි.

පාලනය නරක නැත. ශ‍්‍රී ලංකාවේ ක‍්‍රම අනුව නීතිය හැදෙන්නේ අසරණ පිරිස පැත්තකට තල්ලූකරම්න් බව සදහන් කළ යුතුව ඇත. බලය සහ ධනය ඇති ජන කොටසට කිසිම පාලනයක් බලපාන්නේ නැත.

චන්ද්‍රබාබු නයිදු මහතා මහ ඇමැති වශයෙන් ඉන්දියාවේ අන්ද්‍රා ප‍්‍රදේශය පාලනය කරන කාලයේ එක්තරා ඇමැතිවරයෙකු ප‍්‍රාන්ත ආණ්ඩුවට මේ හා සමාන යෝජනාවක් ගෙන එන ලදී. ප‍්‍රාන්තයේ සිසුන් ඉගෙනගැනීම සදහා විදේශගතවීම තහනම් කළ යුතු බව එහි දී අවධාරණය කෙරිණ. ‘‘දැනටමත් ඔබගේ දරුවන් පිටරටවල ඉගෙනගන්නේ දැයි’’ ප‍්‍රශ්න කළ මහ ඇමැතිවරයා ‘‘එසේ කරගෙන යන අයට අත් ඔසවන්නැයි’’ එවකට පලාත් සභාව නියෝජනය කළ මහජන නියෝජිතයන්ගෙන් ඉල්ලීමක් කළේය. වැඩි දෙනෙකුගේ අත් එසැවිණ. ‘‘පළමුවෙන් ඔබගේ දරුවන් ආපසු කැදවන්න. ඔබ සියළු දෙනා එයට එකගනම් පමණක් විදේශ අධ්‍යාපනය තහනම් කළ හැකි’’ බව එහි දී කියා සිටියේය.

පාලකයන්ට අනුගමනය කළ නොහැකි තීරණ ජනතාවට පමණක් පැනැවීම සුදුසු නැත. සමාජයට ආදර්ශයක් දිය යුතු පාලකයන්ය. ඉහළ පැලැන්තිය තමන්ගේ කැපවීම පෙන්විය යුතුය. ඔවුන් ආරක්ෂාවන අතරවාරයේ මධ්‍යම පැලැන්තියට සහ ඉහළට නගින නොතිත් ආශාවකිස් පසුවන පහල තලයට බාධා පැනවීම සුදුසු නැත.

ආර්ථික ක‍්‍රමයක උස් පහත්වීම් සිදුවේ. ප‍්‍රශ්න පැන නැගේ. සම්පත් සීමා සහිත වන අවස්ථා ඇතිවේ. සංකීර්ණ ගැටළු බව පිලිගත යුතුය. ගැටළු නිරාකරණයට ගත හැකි හොදම පියවර තෝරාගත යුතුය. එම පියවර සමාජයේ හරස්කඩක් නියෝජනය කළ හැකි ගෞරවාන්විත එකක් බවට හැරවීම පාලකයන්ගේ වගකීමකි. නැති බැරි ජන කොටස් විදින පීඩනය නොතකා තීරණගැනීම වරදකි. පංති පරතරය වැඩිකරන, සාධාරණ අවස්ථා අහිමිකරන තීරණ ඉදිරියේ හටගත්තත්ත්ව අමතක කළ යුතු නැත. පසුගිය දශක කිහිපය තුළ පැවැති ගැටුම්, අරගල, ත‍්‍රස්තවාදී ක‍්‍රියා අපට උගන්වන ලද පාඩමක් තිබේ. ඒවායේ අමිහිරි අත්දැකීම් අමතක කළ යුතු නැත.

රටට අවශ්‍ය අලූත් නැගිටීමක් වන අතර සමාජය එකතු කරගෙන ගමන ඉක්මන් කිරීමට ගැලපෙන තීරණ අවශ්‍යය. ආර්ථිකය සක‍්‍රීය කරන්නට පියවර ගත යුතුය. ප‍්‍රතිසංස්කරණ අවශ්‍යය. මෙතෙක් අනුගමනය කරන ලද රාමුව වෙනස් කිරීම නරක නැත. එම තීරණ වලින් උද්දාමයක්, පිබිදීමක් අපේක්ෂා කළ යුතු අතර සමාජ වෛරය ඇවිලවිය යුතු නැත. මැති ඇමැතිවරුන් ඇතුළු ප‍්‍රභූ පැලැන්තියට ලැබෙන වරප‍්‍රසාද ගැන සමාජය තුළ කනස්සල්ලක් තිබේ. දේශපාලන ක‍්‍රමය ගැන පිලිකුලක් ඇත. මහජන නියෝජිතයන් කරන කියන හා හැසිරෙන ආකාරය ගැන ප‍්‍රසන්න හැ`ගීමක් නැත. රටට අවශ්‍ය කරන්නේ එකමුතුවකි. පවතින අවස්ථා අහිමි කිරීම වෙනුවට ඒවා පවත්වාගෙන යන්නට සුදුසු තරමට ගැලපෙන ක‍්‍රමවේදයකි.

තරම නොදැනගෙන වැඩ කලොත් අනතුරක්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

2022/03/02 – ලංකාදීප

යුක්රේනයට ප‍්‍රහාර එල්ල කරන රුසියාව ගැන දෙස් විදෙස් අවධානය යොමු වී ඇත. අසල්වැසි රට, එහි අහිංසක ජනතාව පත්ව ඇති විපත කණගාටුවට කරුණකි. මෙම ගැටුම ගැන විවිධ මත ඇත. ලෝකයේ ප‍්‍රබල රටවල බලහත්කාරය ගැන අලූත් මානයකින් කියැවීමකට අවස්ථාවකි. ලෝක ධර්මතාවය නැවතත් සිහිපත් කරන ලද බව ද පෙන්වා දිය හැකි තවත් පැත්තකි.

අප හැම දෙනාටම තරම ගැන අවබෝධය වැදගත්ය. ඇගිල්ලේ තරමට ඉදිමෙන්නට ජන විඥාණය කියා දී තිබේ. යුතුකම් හා වගකීම් ඇත. අසල්වැසියන් සමග ක‍්‍රියාකිරීමේ දී බලය වෙනුවට ගෞරවය දිනාගත යුතුය. තමන් ගැන පමණක් සිතන සහ බලය ගැන උවමනාවට වඩා තැකීම ඛේදවාචකයකින් කෙළවරවෙයි. පුද්ගලයන්ට පාඩමකි. රටවල් වලට ද පොදුය. දේශපාලන හෝ සමාජ නායකයෝ මෙවැනි සිදුවීම් වලින් අත්දැකීම් ලබාගත යුතුය. බලයේ සිටින හා බලයට එන්නට සූදානම්වන දේශපාලන පක්ෂ යුක්රේන සිදුවීමෙහි ඇතුලාන්තය ගවේශනය කිරීම සුදුසුය.

යුක්රේන ජනාධිපති සෙලෙස්න්කි බලයට පත්වෙන්නේ 2019 දීය. ඉතාම ජනප‍්‍රිය විකට නළුවෙකු වූ හෙතෙම ජනපියත්වය උපයෝගී කරගෙන දේශපාලන පක්ෂයක් පිහිටුවයි. පළමු ඡන්දයෙන්ම අති විශාල ඡන්ද ප‍්‍රමාණයකින් ජනාධිපති ධුරයට පත්වෙයි. පළමු විදේශ සංචාරය සදහා ඔහු බ‍්‍රසල්ස් නගරය තෝරා ගත් අතර ඇමරිකාව ප‍්‍රමුඛ රටවල් සමග සබදතා ඇති කරගත්තේය. නේටෝ සංවිධානයට ඇතුලත්වීමට එකග විය. සෝවියට් දේශයෙන් කැඞී වෙන්වුණ රටවල් වශයෙන් බටහිර සමග තිබුණ පැරණි අත්දැකීම් සැහැල්ලූවෙන් තැකූ යුක්රේන නායකයා අසල්වැසි රුසියාව, එරට ජනාධිපති පුටින් ජාත්‍යන්තරය සමග ගනුදෙනු කරන ආකාරය ගැන නොතකා ක‍්‍රියා කළේය.

ජාත්‍යන්තර දේශපාලනයේ දී පුලූල් දැක්මක් තිබිය යුතුය. බලවත් රටවල අභිමානය, ඔවුන්ගේ සාහසික තීරණ ගැන කල්පනාවෙන් සිටීම සුදුසුය. ජාත්‍යන්තරය සාධාරණ නැත. යුක්රේනයට ප‍්‍රහාර එල්ලවන විට බටහිර, සහ නේටෝ සහාය අපේක්ෂා කළ නමුත් ප‍්‍රතිචාර සැලකීමේ දී අපේක්ෂා කරන ලද තරමට නොවේ. මේවා අත්දැකීම්ය.

කුඩා රටවල් සිය අනන්‍යතාව ආරක්ෂා කරගෙන, සමීපයේ ඇති බලවත් රටවල් සමග ගනුදෙනු කළ යුතුය. අපට ඉහළ නිලධාරීහු සිටිති. ලොකු මිත‍්‍රයෝ ඇත. ධනවත් ඥාතීහු සිටී. ඔවුන් සමග හැසිරෙන ආකාරය එකිනෙකට වෙනස්ය. තරම දැනගෙන කටයුතු කෙරේ. බලවත් පුද්ගලයෙකුට හෝ රටකට අභියෝග කළ හැකි නමුත් එහි සීමාවක් තිබේ. ලෝකයේ නොයෙක් තැන් වලින් එයට උදාහරණ ඇත.

බලවත් රටවලට ද වගකීමක් ඇත. අසල්වැසි කුඩා රටවල් සමග මිත‍්‍රශීලීව කටයුතු කිරීම වැදගත්ය. පුලූල් රාජ්‍ය තාන්ත‍්‍රික සබදතා ඇති කරගත යුතුය. වියට්නාමය, ඇෆ්ගනිස්ථානය සහ තවත් මැදපෙරදිග රටවල් ද, බලවත් රටවලට අමතක නොවන පාඩම් උගන්වා ඇති බව සදහන් කිරීම මෙහි දී වැදගත්ය. මේවා හැදෑරීම පාලකයන් නැඹුරු විය යුතුය. යුතුකම් සහ වගකීම් අමතක වූ පසු එහි පීඩාව විදින්නේ අහිංසක ජනතාවය. යුක්රේන ජනතාවගේ කදුළු වේදනාවේ තරම දක්වයි.

පසුගිය කාලයේ ඉන්දියාව හා ශ‍්‍රී ලංකාව අතර ද නොගැලපුන තැන් තිබුණි. පැරණි යටගියාව ද ඉදිරියේ දී තිබිය යුතු සබදතාවය ගැන ද අලූතින් හිතන්නට පාඩමකි. බැදීම් අවශ්‍යය. තේරුම් ගැනීම වැදගත්ය. අසල්වැසියා භීතියට පත්වන තැන් කොනිත්තා තාවකාලික වාසි ලබාගත හැක. අවසානයේ දී විනාශයක් ඇති කෙරේ.

ජාත්‍යන්තර සබදතා බලවත් ජාලයකි. විවිධ ක‍්‍රම හා නොයෙක් බලවේග අනුව සංකීර්ණ බැදීම් රටවල් අතර ඇති කරගෙන තිබේ. ප‍්‍රබල රටවල ක‍්‍රියාපටිපාටි ඉදිරියේ සෘජුව සිටින්නට උපාය අවශ්‍යය. සූක්ෂම දැක්මක් තිබිය යුතුය. තමන් ගේ ප‍්‍රශ්නවලට අසල්වැසියන්ගෙන් හෝ පිටස්තර රටවලින් උත්තර සොයන අවස්ථාවල ආපසු හැරෙන තැන ඉතාම නිවැරදිව දැනගෙන සිටීම වැදගත් බව මෙහි දී සදහන් කළ යුතු කරුණකි. දේශපාලනඥයන් හා දේශපාලන පක්ෂ අනුගමනය කරන පටු ප‍්‍රතිපත්ති හා   එයින් ලැබෙන තාවකාලික ජනප‍්‍රියත්වය කෙළවර ඇති උගුල්, කිසිසේත් අමතක නොකළ යුතු පැත්තකි. රුසියාවේ බලය සහ බටහිරට නැමෙන්නට යුක්රේනයේ තිබුණ හදිස්සිය දරුණු ගැටුමක් අවුලූවා ඇත. මතුපිටින් පෙනෙන ව්‍යුහයට වඩා ගැඹුරක් ලෝක සිතියමෙහි තිබේ.